27/09/2025
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ කැකිරාව ප්‍රදේශයේ කලා වැව අසල පිහිටි අවුකන බුද්ධ ප්‍රතිමාව පුරාණ කලාකෘතියකි. මීටර් 12 ක් උස මෙම ප්‍රතිමාව 5 වන හෝ 8 වන සියවසේදී ඉදිකරන ලද බවට විශ්වාස කෙරෙන අතර, එහි නිශ්චිත මූලාරම්භය පිළිබඳව තවමත් ඉතිහාසඥයින් අතර විවාදයට භාජනය වී ඇත.
මෙම ප්‍රතිමාව තනි ග්‍රැනයිට් පාෂාණ මුහුණතකින් කැටයම් කර ඇති අතර එය ආශීර්වාදය සහ සාමය සංකේතවත් කරමින් "අසීස මුද්‍රා" ඉරියව්වෙන් වැඩ සිටින බුදුන් වහන්සේ නිරූපණය කරයි.
එසේම මෙම ප්‍රතිමාව ඉන්දියානු ගන්ධාර සහ අමරාවතී කලා ආභාෂය පෙන්නුම් කරයි.
අවුකන බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද හිටි පිළිම අතරින් හොඳම එකක් ලෙස සැලකෙනා අතර එය අප රටේ පොහොසත් සංස්කෘතික හා ආගමික උරුමය විදහා දක්වයි.
මෙම ප්‍රතිමාව මුලින් ගල් අත්තිවාරමක් සහ ගඩොල් බිත්ති සහිත විශාල විහාර ව්‍යුහයක කොටසක් ලෙස තිබී ඇත. විහාරස්ථානය දැන් නටබුන් වී ඇතත්, ප්‍රතිමාව කැපී පෙනෙන ලෙස හොඳින් සංරක්ෂණය කර ඇත.
පුරාවෘත්තයට අනුව, ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ ප්‍රවීණ මූර්ති ශිල්පියෙකු සහ ඔහුගේ ශිෂ්‍යයෙකු අතර තරඟයක කොටසක් ලෙස ය. ස්වාමියා අවුකන ප්‍රතිමාව නිර්මාණය කළ අතර, ශිෂ්‍යයා "සසේරුව" දී මීට සමාන ප්‍රතිමාවක් නිර්මාණය කළේය. ඔවුන්ගෙන් ප්‍රතිමාව මුලින්ම නිම කළ තැනැත්තාට ඔවුන්ගේ ජයග්‍රහණය සනිටුහන් කිරීම සඳහා සීනුවක් නාද කිරීමට සිදු විය. ගුරුවරයා තම ප්‍රතිමාව සාර්ථකව නිම කළ අතර, "සසෙරුවෙ"හි ඇති ශිෂ්‍යයාගේ ප්‍රතිමාව නිම නොකළ බව විශ්වාස කෙරේ.
28/01/2024
කන්තලේ වැව
ඉතාම මනස්කාන්ත පරිසරයක පිහිටා ඇති කන්තලේ වැව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් වන අතර මෙහි වර්තමාන අයිතිය මහවැලි අධිකාරිය සතුයි.මෙම වැව II අග්ගබෝධි රජු (ක්‍රි.ව. 604-614) විසින් ඉදිකරන ලද අතර මහා පරාක්‍රමබාහු රජු විසින් තවදුරටත් සංවර්ධනය කරන තිබෙනවා. එය එකල ගංගාතල වාපි ලෙසද හැඳින්විණි.
වාරිමාර්ග කටයුතු සඳහා භාවිතා කරන මෙහි වේල්ල, 1986 අප්‍රේල් 20 වන දින කැඩී යාමෙන් පුද්ගලයන් 120 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. එතැන් සිට එය නැවත ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගෙන තිබෙනවා. මෙම වේල්ල කුඩා ගංගාවක් වන පර්ආරු හරහා ඉදිකර ඇති අතර එය ත්‍රිකුණාමලය වරායේදී කොඩ්ඩියර් බොක්ක වෙත මුදාහැරේ.
1986 අප්‍රේල් 20 වැනි දින අලුයම 03.00 ට වේල්ල කැඩී, පහළ ගම්මාන ජලයෙන් යටවේ තිබෙනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 120-180 ක් පමණ මිය ගිය අතර, නිවාස 1,600 කට වැඩි ප්‍රමාණයක් සහ කුඹුරු අක්කර 2,000 ක් (හෙක්ටයාර් 810) විනාශ වූ අතර, පවුල් 8,000 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්වී තිබෙනවා. මෙම කැඩීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වේල්ල මතින් අමතර බර වාහන ධාවනය කිරීම බවයි පැවසෙන්නේ.
ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය 216 km2 (83 වර්ග සැතපුම්) සහ ඝන මීටර් මිලියන 135 (4.8×109 cu ft) ක ධාරිතාවකින් යුක්තවනවා.
ප්‍රධාන බැම්මේ දිග මීටර් 4267 (අඩි 14000)
බැම්මේ උස මීටර් 16.75 (අඩි 55)
ධාරා ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 200 (වර්ග සැතපුම් 77)
බැම්මේ උඩ මට්ටම මීටර් 64
පෝෂක ප්‍රදේශය වී අක්කර 15200
ජලාශයට යටවන උපර්ම බිම හෙක්ටයාර් 2296 (අක්කර 5700)
ඇරිය හැකි දොරටු සංඛ්‍යාව 10
වානේ දිග මීටර් 45.72 (අඩි 150)
සම්පූර්ණ ජල මට්ටම අඩි 194.5
Walking Deep
Exploration is more important than travel....
28/01/2024
මැදිරිගිරිය වටදාගෙය
ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ පිහිටි මණ්ඩලගිරිය හෙවත් මැදිරිගිරිය වටදාගෙය පොකුණු, ශිලා ලිපි, පිළිම ගෙවල් හා ස්ථූපයකින් සමන්විත මනරම් විහාර සංකීර්ණයක්.
වෘත්තාකාර හැඩැති මෙම වටදාගෙය තනා ඇත්තේ ස්වාභාවික ගල් කුළක් මතයි. ය. වටදාගෙයි වේදිකාව තනා ඇත්තේ ගඩොලින්.මැදිරිගිරිය වටදාගෙය පැරණි වාස්තුවිද්‍යාවේ හා ගෘහනිර්මාණ ශිල්පයේ අද්විතීය නිර්මාණයක්. මෙය භුමි මට්ටමට වඩා ඉහලින් ගල් කුලක් මත ඉදිකර ඇති නිසා එහි ප්‍රෞඩත්වය මනාවට කැපී පෙනෙනවා.
මහා වංශයට අනුව දෙවන සියවසේ අග භාගයේදී කනිට්ඨ තිස්ස රජුත්, හත්වන සියවසේ මුල් කාලයේදී දෙවන අග්බෝ රජුත්, නවවන සියවසේ මැද භාගයේදී දෙවන සේන රජුත් මෙහි ඉදිකිරීම් කළබව සඳහන් වෙනවා.එකොලොස්වන සියවසේදී පළමුවන විජයබාහු රජු මේ විහාරය ප්‍රති සංස්කරණය කල බවද සඳහන් වෙනවා. මේ ස්ථානයේ තිබූ සෙල් ලිපියක් අනුව මෙහි ඉතා දියුණු සිද්ධස්ථානයක් හා දියුණු රෝහලක් තිබුණු බව හෙළිවී තිබෙනවා.
ගණ වනාන්තරයක් මැද සැඟවී තිබුණු මෙම ඓතිහාසික භුමිය 1897 දී H.C.P. බෙල් මහතා විසින් ගවේෂණය කර තිබෙන අතර 1939 දී පුරාවිද්‍යා සංරක්‍ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත්කෙරෙනවා. 1941 දී මේ භුමියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර අද අපිට දකින්නට ලැබෙන සියලු නටබුන් ඒ අනුව සංරක්ෂණ කර තිබෙනවා.
Walking Deep
Exploration is more important than travel....
27/01/2024
දඹුල්ල රජ මහා විහාරය
මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ මහනුවර සිට සැතපුම් 29ක් පමණ දුරින් පිහිටා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම සහ හොඳින්ම සංරක්ෂණය කරන ලද ලෙන් විහාර සංකීර්ණය තමයි දඹුල්ල රජ මහා විහාරය කියන්නේ.
දඹුල්ල රජමහා විහාරයේ භාරකාරීත්වය පහත සඳහන් පන්සල් 4ට හිමියි.
1. පළමු උයන්වත්ත පන්සල
2. දෙවන උයන්වත්ත පන්සල
3. දඹුල්ල මැද පන්සල
4. දඹුල්ල ඉහල පන්සල
ලෙන් 80කට වැඩි ගණනක් ඇති මෙහි උස මීටර් 160ක් පමණ වෙනවා. පිළිම සහ සිතුවම් අඩංගු ප්‍රධාන ලෙන් පහක් මෙහි දකින්නට පුළුවන්.
1. දේවරාජ ලෙන
2. මහා රජුන්ගේ ලෙන
3. මහා අළුත් විහාරය
4. සතරවන ලෙන
5. පස්වන ලෙන
බුදු පිළමවහන්සේ 153කුත් ශ්‍රී ලාංකික රජවරු 3 දෙනෙකුගේ පිළිමත් දේවතා පිළිම 4කුත් මෙහිදී දැකගන්නට පුළුවන්. කළුගල්, ගඩොල්, ලී ආදියෙන් නිමවා ඇති මෙම පිළිම ආදී ශ්‍රීලාංකික නිර්මාණකරුවන්ගේ දක්ෂතා මනාවට පෙන්නුම් කරනවා. ඒ වගේම වර්ග මීටර් 2100ක ප්‍රමාණයක බිතු සිතුවම් මෙහි නිර්මාණය කර තිබෙනවා.ලෙන් සිවිලිම හා ආවරණ බිත්ති සෑම එකකම චිත්‍ර ඇඳ අලංකාර කර තිබෙන සිතුවම් රාශියක් එකවර දැකගත හැකි එකම විහාරය දඹුල්ල රජ මහා විහාරයයි.
ක්‍රි.පූ 137 - 119 අතර අනුරාධපුරයේ රජකම් කළ සද්ධාතිස්ස රජු මේ ලෙන් විහාර සාදා සඟ සතු කර පූජාකළ බවටත් වළගම්බා රජු විසින් ක්‍රි.පූ පළමුවන සියවසේදී මෙම ලෙන් සමූහය විහාරයක් බවට පරිවර්තනය කල බවටත් විශ්වාස කෙරෙනවා. වර්ෂ 1190දී නිශ්ශංක මල්ල රජු විසින් මෙම ලෙන් හී රන් ආලේප කර පිළිම වහන්සේලා 70 නමක් එකතු කර තිබෙනවා.
ශ්‍රී ලාංකික බෞදධයන්ගෙන් නොමද පැසසුමට ලක්ව ඇති මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ සුන්දර ස්ථානයක්. දඹුල්ල නගරයේ සුන්දරත්වය මේ ගිරි ශිකරය මුදුනට ඉතාම හොඳින් දකින්නටත් පුළුවන්. සුන්දර පරිසරයක සුවය විඳින ගමන් සිත සැහැල්ලු කරගන්න මෙතනට එන්නට සංචාරයේ යන ඔයාලා අමතක කරන්න එපා.
Walking Deep
Exploration is more important than travel....
07/01/2024
සීගිරිය
මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මායිමේ පිහිටා ඇති උස අඩි 590ක් (180m) වන සීගිරිය මුහුදු මට්ටමේ සිට මීටර් 350ක් උසින් පිහිටා ඇති කැපී පෙනෙන භූ ලක්ෂණයක් සහිත ලෝක උරුමයක්. සීගිරිය කියන්නේ ඛාදනයට ලක්වූ ගිනිකන්දකින් පිටවී සිසිල් වුණු පාෂාණ වලින් නිර්මාණය වුණු පර්වතයක් කියලයි කියන්නේ. කුවේරයාගේ ආලකමන්දාව ලෙසත් හදුන්වන මෙහි ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයනවා.
අදින් වසර 5500කට පෙර සහ ක්‍රි.පූ 10-09 සියවස්වල පැවති ජනාවාස පිළිබඳ සාධක සීගිරියේ අලිගල නම් කුඩා පර්වතය ආශ්‍රිත කැණීම් වලින් හමුවී තිබෙනවා.
ක්‍රි.පූ 3වන සියවසේදී තනන ලද ලෙන් විහාර සංස්කෘතියට සීගිරියද අයත් වෙනවා. කටාරම් කෙටූ ගල්ලෙන් සහ ශිලා ලේඛන එයට සාක්ෂි දරනවා.
දැනට දක්නට ලැබෙන ප්‍රධාන ඉදිකිරීම් සියල්ල පළමු වන කාශ්‍යප රජුගේ සමයේ (ක්‍රි.ව 477-495) ඉදිකරනු ලැබූ ඒවායි.
කාශ්‍යප රජුගේ අභාවයෙන් පසුව සීගීරිය බෞද්ධ ආරාමයක් බවට පරිවර්තනය වී තිබෙනවා. ඒ අනුව තවත් කටාරම් කෙටූ ගල්ලෙන්, බෝධිඝරය හා දාගැබ ආදී පුජනීය ගොඩනැගිලි ඉදිවී තිබෙනවා.
නැවත 19වන සියවසේදී සීගිරිය උඩරට රාජධානියේ ප්‍රාදේශීය යුධ කඳවුරක් බවට පත්වෙනවා.
1832දී මේජර් ජොනතන් ෆෝබියස් වල් බිහිවී පැවති සීගිරිය නැවත ගවේෂණය කරනවා.
1894දී එච්.සී.ජේ.බෙල් මහතා විසින් සීගිරියේ ගවේෂණ කටයුතු ආරම්භ කරනවා. 1930-40 දශක වල මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා එම කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඒ අනුව සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී 685ක් එතුමා විසින් කියවා ප්‍රකාශයට පත්කරනවා. 1982දී ආරම්භ වූ සංස්කෘතික ත්‍රිකෝණය වැඩසටහන යටතේ අද දක්වා සීගිරියේ පර්යේෂණ, සංරක්ෂණ හා නඩත්තු කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.
සීගිරි බිතු සිතුවම් ක්‍රි.ව 5වන සියවසට අයත් වන අතර කාන්තා රූප 500ක් පමණ මෙහි ඇඳ තිබූ බවට සාධක තිබෙනවා. නමුත් අද වන විට දක්නට ලැබෙන්නේ එයින් 19ක් පමණයි.
එච්.සී.ජේ.බෙල් මහතා ප්‍රකාශ කර ඇත්තේ කාශ්‍යප රජුගේ අන්තඃපුර ලලනාවන් පිදුරංගල විහාරය වැඳීමට යාම මෙමගින් නිරූපණය කරන බවයි.
ආනන්ද කුමාර්වාමි මහතාගේ අදහස මෙමගින් නිරූපණය වන්නේ දිව්‍ය අප්සරාවන් බවයි.
සෙනරත් පරණවිතාන මහතාට අනුව මෙහි කහ පැහැති රූප වලින් විදුලියත් (විජ්ජුලතා) දුඹුරු පැහැති රූප වලින් වැහි වලකුළුත් (මේඝලතා) නිරූපණය කරනවා.
සීගිරි උද්‍යානය දැනට පවතින නටබුන් වූ උද්‍යාන අතර දක්නට ලැබෙන මනස්කාන්ත නිර්මාණයක්. එය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතවනවා.
1. ජල උද්‍යානය
2. ශිලා උද්‍යානය
3. මාලක උද්‍යානය
සීගිරි වැවේ සිට මෙම උද්‍යානය දක්වා ජලය ගෙන ඒමේ තාක්ෂණය හරිම විශ්මයජනකයි. නමුත් මේ වනවිට සීගිරි වැවේ ජලමට්ටම පහත බැස තිබෙන නිසා ජල උද්‍යානයේ වතුර මල් හරියටම ක්‍රියාත්මක වෙන්නේ නෑ. නමුත් අතිතයේ සීගිරි වැවේ ජලමට්ටම පිහිටලා තියෙන්නේ උද්‍යාන මට්ටමට වඩා ඉහළින් නිසා මේ වතුර මල් ඉතා හොඳින් ක්‍රියාත්මක වෙලා තිබෙනවා.
ලෝකයේ සංචාරක ආකර්ශනය දිනා ගත් ස්ථාන අතරින් සීගිරියට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන්නෙත් මේ කියන විශ්මය දනවන ඉදිකිරීම් නිසයි. අපේ රටේ ඉතිහාසය මනාවට කියාපාන සීගිරිය නරඹන්න යන්න ඔබත් අමතක කරන්න එපා.
Walking Deep
Exploration is more important than travel....
15/12/2023
සඳතැන්න පාරිසරික සහ කෘෂි සංචාරක කලාපය
නුවරඑලිය - වැලිමඩ පාරේ ග්‍රෙගරි වැව පසුකරලා වමට හැරී කිලෝමීටර් 2ක් පමණ යනකොට සඳතැන්න පාරිසරික සහ කෘෂි සංචාරක කලාපයට ඇතුල් වෙන්න පුළුවන්. වර්ෂ 1958දී ආරම්භ කරන ලද නුවරඑලිය සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපොළ මෙහි පිහිටලා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මෙහි සමහර කොටස් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතෙන් පාලනය වෙනවා. ඇතුල් වීමට ටිකට් පතක් ගන්න ඕනේ වගේම මේ සංවේදී පරිසර කලාපයේ ඔබට සංචාරය කරන්න විශේෂයෙන් වෙන් කරපු සෆාරි ජීප් රථ යොදාගන්න වෙනවා. සාමාන්‍යයෙන් පුද්ගලයන් 6-8 දෙනෙකුට වගේ යන්න පුළුවන් මේ සෆාරි ජීප් රථවල මිල ගණන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. (රු.5000ක් පමණ). උදේ 7 ඉඳන් සවස 4 වෙනකං සඳතැන්නට අතුළුවෙන්න පුළුවන්.
මුහුදු මට්ටමේ සිට අඩි 6200ක් උසින් පිහිටලා තියෙන සඳතැන්න හෙක්ටයාර 155ක වපසරියකින් යුතුයි. මෙහි ඉදිකර ඇති අට්ටාලය මුදුනට ගියාම අංශක 360ක කෝණයකින් මුළු වටපිටාවම බලාගන්න පුළුවන්. පහත දැක්වෙන ප්‍රධාන කඳු පන්ති 9ක් සඳතැන්නට හරි ලස්සනට පේනවා.
1. පිදුරුතලාගල කන්ද (2524m)
2. කිකිලියාමාන කන්ද (2240m)
3. Great Western කන්ද (2216m)
4. තොටුපොළ කන්ද (2357m)
5. කිරිගල්පොත්ත කන්ද (2395m)
6. Conical Hill (2166m)
7. Single Tree Hill (2105m)
8. හග්ගල කන්ද (2170m)
9. නමුනුකුල කන්ද (2036m)
කුළුහරකුන්, ගෝනුන්, වලස් වඳුරන්, ඕලු මුවන් සහ ශ්‍රී ලංකාවේ කඳුකරයට අවේනික මයිලගොයා, කෝපි කුරුල්ලා, සිතෑසියා සහ දෑ දෙමලිච්චා වැනි පක්ෂීන් මෙහිදී දකින්න ලැබෙනවා.
ඒ වගේම Edible Landscaping නැතිනම් පලතුරු-බෝග තුළින් ගෙවතු අලංකරණය කියන සංකල්පයට අනුව හදලා තියෙන Agro Park එකට ගිහින් තමන්ගේ අතින්ම ගෙදර ගෙනියන්න නැවුම් එළවළු පළතුරු ටිකක් නෙලාගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා.
ඉතින් නුවරඑළියේ ගියොත් ඔයාලත් අනිවාර්යෙන්ම මේ ලස්සන පරිසර කලාපයේ සුන්දරත්වය විඳින්න අමතක කරන්න එපා.
(ඡායාරූප වල අයිතිය මුල් අයිතිකරුවන් සතුයි)
Walking Deep
Exploration is more important than travel......
02/12/2023
දෙනියාය - බුරුස් ගල - පැට්නා
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ඉතාම සුන්දර කුඩා නගරයක් තමයි දෙනියාය කියන්නේ. සිංහරාජ වනාන්තරයෙන් වටවෙලා තියෙන මේ පුංචි නගරය තරමක් සීතල දේශගුණයක් සහිත ප්‍රදේශයක්.
දෙනියාය - මතුරට වැවිලි සමාගමට අයත් එනසල්වත්ත වතුයායේ තමයි පැට්නා නැතිනම් මේ බූරුස් ගල පිහිටලා තියෙන්නේ. මාතර නගරයේ ඉඳන් කිලෝ මීටර් 81.8ක් දුරින් පිහිටලා තියෙන පැට්නා වලට යන්න පැය දෙකකුත් විනාඩි හතලිහක් පමණ ගතවෙනවා. මේ ගමනේදී මනස්කාන්ත තේ වතු, අනෙකුත් එළවළු වගාවන් සහිත බිම් සහ කඳු වලින් වටවුණු සුන්දර පරිසරයක පහස විඳින්නට ඔයාලට පුළුවන්.
පැට්නා වලට ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. මීටර් 10ක් පමණ දිග නොගැඹුරු ජලය සහිත ලිස්සන සුළු ගල්තලාවේ කෙළවර තියෙන්නේ කුඩා ජල තටාකයක්. ඒ නිසාම ගල්තලාවේ ඉහල සිට පහලට ලිස්සා ඒම හරිම විනෝදජනකයි. මැයි ඉඳන් සැප්තැම්බර් වෙනකං මේ ප්‍රදේශයට වර්ෂාපතනය වැඩි නිසා පැට්නා ගොඩක්ම ලස්සන ඒ කාලයේදී කියලයි කියන්නේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය වැඩිපුරම දිනාගත්ත තැනක් නිසා පැට්නා වලට අවුරුද්ද පුරාම ගොඩක් සංචාරකයන් යනවා එනවා. ඉතාම සංවේදී පරිසර පද්ධතියක් තුළ පිහිටලා තියෙන මේ සුන්දර ස්ථානයට යන ඔයාලා අනිවාර්යෙන්ම මෙතන ආරක්ෂා කරගන්නත් කටයුතු කරන්න ඕනේ. මොකද පැට්නා තියන්නේ ලංකාවටම එකයි.....
(ඡායාරූප වල අයිතිය මුල් අයිතිකරුවන් සතුයි)
Walking Deep
Exploration is more important than travel....
29/11/2023
කල්පිටිය - ඩොල්ෆින් පාරාදීසය
වයඹ පළාතේ කල්පිටිය මුහුදේදී ඔක්තෝ්බර් මාසේ මැද ඉඳන් මාර්තු අන්තිම වෙනකං ඩොල්ෆින් මසුන්ව බලාගන්න පුළුවන්. කප්පලඩි වෙරළට නාවික සැතපුම් තුනක් පමණ දුරින් තමයි මේ කාලයේදී මෙයාලා ගොඩක්ම ගැවසෙන්නේ. මේ සඳහාම වෙන්කෙරුණු බෝට්ටු කල්පිටිය වෙරළ තීරයේ තියෙනවා. සාමාන්‍යයෙන් පැය 2-3 ක් මේ බෝට්ටු සවාරිය සඳහා ගතවෙනවා. උදේ පාන්දර 6.30 ට පමණ තමයි මේ බෝට්ටු සවාරි පටන්ගන්නේ. අන්තර්ජාලයෙන් ඔයාලට මේ බෝට්ටු සවාරි ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.
ඩොල්ෆින් මසුන් බලන්න යන්න කලින් එයාලා ගැන විස්තර ටිකක් දැනගෙන යන්නත් අමතක කරන්න එපා.
මහද්වීපික තටක වල ඇති නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල තමයි ඩොල්ෆින්ලා ජීවත් වෙන්නේ. එයිනුත් ඉන්දියන් සාගරයේ ඔවුන්ව බහුලව දැකගන්න පුළුවන්. ශ්‍රීලංකාවේ දකුණු මුහුදේ, වයඹ මුහුදු තීරයේ සහ නැගෙනහිර මුහුදේ වසර පුරාම එක් එක් කාලවලදී ඩොල්ෆින් මසුන් සැරිසරනවා.
ඩොල්ෆින් කියන්නේ ඉතාම සමාජශීලී සතුන් විශේෂයක්. කුඩා සහ විශාල කණ්ඩායම් ලෙස ජීවත් වෙන මෙයාලගේ කණ්ඩායමේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඔවුන් අවට තියෙන ආහාර ප්‍රමාණය අනුවයි. බොහෝ විට එක් කණ්ඩායමක ඩොල්ෆින් මසුන් 1000ක් පමණ සිටිනවා.
සතුන් අතරින් දීර්ඝතම මතකය ඇති සත්වයා වෙන්නේ ඩොල්ෆින් මත්ස්‍යයන්. වඳුරෙකුගේ මොළයට වඩා විශාල මොළයක් තිබෙන මොවුන්ට තම නාසය භාවිතයෙන් මෝරෙකු වුවත් මරා දැමිය හැකියි. පැයට කිලෝමීටර් 160ක පමණ වේගයෙන් නාසයෙන් වාතය පිට කරන මොවුන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. නමුත් ලුණු රස, තිත්ත රස, පැණිරස, ඇඹුල් රස වෙන්කර හඳුනා ගැනීමට පුළුවන්. ඉතා හොඳ දෘෂ්ටි සහ ශ්‍රවණ හැකියාවක් තියෙන ඩොල්ෆින් මසුන්ගේ සම ඉතා හොඳ සංවේදන ඉන්ද්‍රියයක් ලෙස ක්‍රියා කරනවා.
ඩොල්ෆින් මසුන්ට උදර දෙකක් තියෙනවා. එයින් එකක් ආහාර ගබඩා කිරීමටත් අනෙක ආහාර දිරවීම සඳහාත් යොදාගන්නවා. බෙල්ලන් හා කුඩා මාළුවන්ව ඩොල්ෆින් ආහාර වශයෙන් ගන්නවා.ලෝකයේ ඩොල්ෆින් වර්ග 40ක් හදුනාගෙන ඇති අතර බොහෝ වර්ගයන් වදවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. පැයට කිලෝමීටර් 60ක පමණ වේගයෙන් පිහිනා යන මොවුන්ට විනාඩි 15ක් පමණ වතුර යට හුස්ම අල්ලාගෙන සිටින්න පුළුවන්.
ඩොල්ෆින් මසුන්ට ගර්භාෂයක් තිබෙනවා. ක්ෂීරපායි ගණයට අයත් වන ඩොල්ෆින් මසුන් මාස 18ක් පමණ වනතුරු සිය මවගේ කිරි බීමට හුරුවී සිටිනවා. වැඩුණු ඩොල්ෆින් කෙනෙකුගේ මුඛයේ දෙඇන්දේම දත් හතලිස් හතර බැගින් පිහිටනවා. ඒ වගේම දිගින් අඩි 8 සිට 12 දක්වාත් බරින් රාත්තල් 300-400 අතරත් ප්‍රමාණයක් ගන්නවා.
ඩොල්ෆින් නිදාගැනීමට ගත කරන්නේ තත්පර තිහකටත් වඩා අඩු කාලයක්. නින්දේ පළමු අදියරේදී මොළයේ එක් අර්ධයක් යොදාගෙන නිදාගන්න නිසා එක් ඇසක් පමණක් වසා ගෙන නිදාගන්න හැටි නිරීක්ෂණ කරන්න පුළුවන්. නින්දේ දෙවන අදියරේදී තමයි මොවුන් ඇස් දෙකම වසා ගෙන නින්දට යන්නේ.
(ඡායාරූප වල අයිතිය මුල් අයිතිකරුවන් සතුයි)
Walking Deep
Exploration is more important than travel......
22/11/2023
සමනළ වැව වේල්ල
වර්ෂ 1986දී ඉදිකිරීම් ආරම්භ කරන ලද වර්ෂ 1992දී ජාතික ජල විදුලි පද්ධතියට එක්කරන ලද සමනළ වැව ජල විදුලි යෝජනා ක්‍රමය, ජපානය සහ එක්සත් රාජධානිය මගින් ලද මුල්‍ය ආධාර මත ඉදිකරන ලද අතර වාර්ෂිකව ගිගා වොට් 405ක විදුලියක් ජනනය කරනවා. මෙය දැනට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය භාරයේ පවතින අතර මෙම ව්‍යාපෘතිය සඳහා යෙන් මිලියන 74313ක් වැයවී ඇති බවයි පැවසෙන්නේ.
සබරගමුව පළාතේ, බලංගොඩ නගරයේ පිහිටා ඇති සමනළ වැව වේල්ල, උඩ වලවේ ද්‍රෝණියේ, වලවේ ගඟ සහ බෙලිහුල් ඔය එක්රැස් වන දෙමෝය පිහිටි ස්ථානයක ඉදිකර තිබෙනවා.
මුහුදු මට්ටමේ සිට අඩි 1300ක් (මීටර් 400) උසින් ඉදිකර ඇති මෙම වේල්ල උසින් අඩි 361ක්ද (මීටර් 110) දිගින් අඩි 1739ක්ද (මීටර් 530) වෙනවා.
මෙය එකක් මීටර් 14ක් ( අඩි 46) උස, මීටර් 11ක් (අඩි 36) පළල වාන් දොරටු තුනකින් සමන්විතයි.
මෙහි වාන් දොරටු ධාරිතාව තත්පරයට ඝණ මීටර් 3600ක් (තත්පරයට ඝණ අඩි 130,000) වන අතර ජලාශයේ සම්පූර්ණ ධාරිතාව ඝණ මීටර් මිලියන 218ක් (ඝණ අඩි මිලියන 7700) වෙනවා.
වේල්ලේ පරිමාව ඝණ මීටර් 4,500,000 (ඝණ අඩි 160,000,000) ක්.
මෙය ධාරිතාව මෙගාවොට් 62ක් වන ටර්බයින දෙකකින් සමන්විත වන අතර මෙගාවොට් 124ක ජල විදුලියක් මෙමගින් උත්පාදනය කරනවා.
වර්ග කිලෝමීටර් 372 (වර්ග සැතපුම් 144) ක ජල පෝෂක ප්‍රදේශයක් මෙමගින් ආවරණය කරන අතර වලවේ ගඟෙන් පෝෂණය වන ජලාශයක්.
මෙහි උමගේ විෂ්කම්භය මීටර් 4.5ක්ද ( අඩි 15) දිග මීටර් 5159ක්ද (අඩි 16926) වන අතර ජලාශය U හැඩයක් ගන්නවා.
එමෙන්ම එය හෙක්ටයාර 897ක භූමි ප්‍රදේශයක් ආවරණය කරනවා.
සමනල වැව වේල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ඇත්තේ කාර්ස්ටික් (Karstic) භූ විෂමතාවයක්. එනම් හුණුගල්, ඩොලමයිට් සහ ජිප්සම් වැනි ද්‍රාව්‍ය කාබනේට් පාෂාණ දියවීමෙන් සෑදුණු භූමියක්. මෙම වේල්ල, මධ්‍යයේ පාෂාණ පුරවා ඉදිකරන ලද Embankment Dam ගණයට අයත්.
සමනළ වැව වේල්ලේ ජල කාන්දුව
වර්ෂ 1988දී මෙම වේල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අවදියේදී පාරගම්‍ය භූමි ප්‍රදේශයක් හමුවී තිබෙනවා. ජලය මෙම පාරගම්‍ය මාධ්‍යය හරහා ගමන් කිරීම වැලැක්වීමට පිළියමක් ලෙස Curtain Grouting යෙදීම එවකට සිදුකොට තිබෙනවා. නමුත් ජලාශය ජලයෙන් පිරීයමින් තිබියදී වේල්ලට මීටර් 300ක් පමණ පහලින් දකුණු ඉවුරේ ජල කාන්දුවක් ඇතිවී ඇති අතර එමගින් නාය යාමක්ද සිදුව තිබෙනවා. තත්පරයට ලීටර් 2100ක පමණ ජල කාන්දුවීමක් මෙමගින් සිදුවන අතර අද වන තුරුද ඒ සඳහා පිළියමක් යෙදීමට ඉංජිනේරුවන් අපොහොසත් වී තිබෙනවා. මෙයට හේතුව විදියට සැලකෙන්නේ වේල්ල ඉදිකර ඇති භූමියේ පවතින Karstic භූ විෂමතාවයි. මෙම කාන්දුව දැනට ස්ථායීව පවතින බැවින් වේල්ලේ හෝ බලාගාරයේ බල නිෂ්පාදනයට මෙමගින් බලපෑමක් නොමැති බවයි පැවසෙන්නේ. මෙම ජල කාන්දුව හේතුවෙන් සමනල වැව වේල්ලෙන් පහළ ප්‍රදේශ වල කෘෂි කර්මාන්තය සඳහා මුදාහරින ජලයෙන් තුනෙන් දෙකක් ජල කාන්දුවෙන් නිකුත් කරන අතර ඉතිරි තුනෙන් එක වාරි ජලය මුදා හැරීමේ කාපාටය (Irrigational Release Valve) මගින් මුදා හරිනවා.
Walking Deep
Exploration is more important than travel......
21/11/2023
මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය
මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ කොග්ගල නගරයේ, ගාල්ලේ සිට කිලෝමීටර් 15.9ක් දුරිනුයි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු වන මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ උපන් නිවස සහ එහි උද්‍යානය කේන්ද්‍ර කරගනිමින් තමයි මෙය ඉදිකරලා තියෙන්නේ. කුරුළු ජීවින් සහ ශ්‍රී ලංකාවට අවේනික ගස්, වැල්, පඳුරු වර්ග රාශියක් රෝපණය කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද පරිසර පද්ධතියකින් වට වූ මෙම ජන කෞතුකාගාර සංකීර්ණය දැනට මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය යටතේ පවතිනවා.
1890 මැයි 29 වන දින මලල්ගම ග්‍රාමයේ උපත ලද මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ඔහුගේ දෙමාපියන් සහ සහෝදරියන් සමඟ මෙම නිවසේ ජීවත්වූනා. වසර 250ක් පමණ පැරණි මෙම නිවස දැනට අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කර තිබෙනවා. නිවසේ ගෘහ නිර්මාණ ශිල්පය ලන්දේසි සහ ශ්‍රීලාංකික ගෘහ නිර්මාණ ශිල්ප වල එකතුවක්. සුදු හුණු ආලේපිත බිත්ති, හතරැස් ගඩොල් යොදා සකසන ලද ගෙබිම නිවසට අමුතු සිසිලසක් එකතු කරනවා.
1942 දෙවන ලෝක සංග්‍රාම සමයේදී මෙම නිවස බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් පවරා ගන්නා ලද අතර, මලල්ගම සහ එම අවට ගම්මානවල සියලුම ගම්වාසීන්ට පැය 24 ක් ඇතුළත ඔවුන්ගේ නිවාසවලින් ඉවත් වන ලෙසත් නියෝග කර තිබෙනවා. ගුවන් තොටුපොලක් සහ හමුදා කඳවුරක් තැනීම සඳහා බොහෝ නිවාස කඩා දමන ලද නමුත් මෙම නිවස කෙසේ හෝ ඉතුරු වී තිබෙනවා. එසේම බ්‍රිතාන්‍ය ගුවන් හමුදා නිලධාරිනියකගේ නෙත ගැටුණු මෙම නිවස ඇය තම වාසස්ථානය බවට පත්කර ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය හමුදාව ඉවත්වීමෙන් පසු කැලෑවෙන් වැසුණු ගිං පතලිය නමින් හැඳින්වූ මෙම ඉඩම 1962දී එවකට පැවති රජය විසින් මාර්ටින් වික්‍රමසිංහ මහතා වෙත නැවත භාරදී තිබෙනවා.
වසර 86ක් ආයු වළඳා1976 ජූලි 23 වන දින කොළඹ රාජගිරිය නාවල පිහිටි නිවසේ දී මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් මිය යනවා. නිවසේ දකුණු පසින් ඇති තණකොළ සහිත බිම්කඩෙහි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ සහ එම මැතිණියගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සමාධිය දකින්නට පුළුවන්. එතුමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ 1977 මැයි මස 29 වන දිනයි. එසේම එතුමාගේ නිවසෙහි ඔහු සහ පවුලේ උදවිය භාවිතයට ගත් ගෘහභාණ්ඩ සහ වෙනත් දෑ ප්‍රදර්ශනයට එකතු කොට තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ජීවිතයේ වැදගත් මතක සටහන් නිවස පිටුපස ඇති ශාලාවේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙහිදී එතුමාගේ ඡායාරූප, සම්මාන සහ සිහිවටන, රචනා කරන ලද පොත් මාලාවක් දැකබලාගන්න පුළුවන්.
1981දී විවෘත කරන ලද මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය තුල බෞද්ධ කෞතුක භාණ්ඩ, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, කුඹල් කර්මාන්තය සහ ලෝහ ශිල්පයේ ග්‍රාමීය තාක්‍ෂණයේ දියුණුව නිරූපණය කරන කෞතුක වස්තු, ජන නැටුම් සහ ආගමික උත්සවවල විවිධ කෞතුක වස්තු එකතුවක් ප්‍රදර්ශනය කරනවා. පාසැල් සිසුන්ට වඩාත් වැදගත් වෙන මෙම එකතුව ශ්‍රීලාංකීය ජන සංස්කෘතිය මනාවට විදහාපාන වටිනා භාණ්ඩ එකතුවක්. ජාතික උරුමයක් වන මේ කෞතුකාගාරය නැරඹීමට ඔබත් අමතක කරන්න එපා.
Walking Deep
Exploration is more important than travel.......
18/11/2023
මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල් දූව ළමා නවකතාව ඔයාලා හැමදෙනාම කියවලා ඇති. අද Walking Deep යන්නේ ඒ නවකතාවට පාදක උන මඩොල් දූව දූපත බලන්නයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල නගරයේ ඉඳන් මීටර් 250ක් පමණ මාතර දෙසට යද්දී හමුවෙන අතුරු පාරකින් හැරිලා කොග්ගල තොටුපොළට ගිහින් බෝට්ටුවක නැගලා තමයි මඩොල් දූවට යන්න ඕනේ. මඩොල් දූව පිහිටලා තියෙන්නේ කොග්ගල ඔයේ. තොටුපොළේ තියෙන බෝට්ටුවක් සාමාන්‍යයෙන් රුපියල් 2000-3000 අතර මුදලක් මේ ගමන සඳහා දැන් අය කරනවා.
මඩොල් දූව කියන්නේ කඩොලාන සහ කිරල කැලයකින් ආවරණය උන කුඩා දූපතක්. මුල් කාලයේදී අක්කර 3.5ක් පමණ උන මේ දූපත ජලයට ඛාදනය වීම නිසා ප්‍රමාණයෙන් ටිකක් අඩුවෙලා තියෙනවා. මෙහි ඉහළ උද්භීත විද්‍යාත්මක වටිනාමක් තියෙන ශාක වර්ග දකින්නට පුළුවන්.
තොටුපළින් මඩොල් දූවට ගොඩබැස්සම පුංචි අඩිපාරවල් කිහිපයක් හමුවෙනවා. ඒවා දිගේ කැලේ ඇතුලෙන් ඇවිදගෙන යනකොට මඩොල් දූව අභ්‍යන්තරයේ යෝධ සෙක්කුවක් සහ පැරණි ළිඳක් දකින්නට ලැබෙනවා. මේ දූපත පුරා ඇවිදින්න විනාඩි 20කින් වගේ පුළුවන්.
මඩොල් දූවේ ඇවිදලා බෝට්ටුවෙන් ආයේ එන්න කලින් කොග්ගල කලපුවේ සිරි නරඹන්නටත් අමතක කරන්න එපා. කලපුව පුරාම තැනින් තැන ඔයාලට ඉස්සෝ කොටු බලාගන්න පුළුවන් වගේම fish therapy කරන තැන් කිහිපයකට යන්නත් පුළුවන්.
කොග්ගල කලපුවේ දූපත් ඔක්කොම 7ක් තියෙනවා. මඩොල් දූව,ගල් දූව,තලාතු දූව (ආරණ්‍ය දූව), කුරුලු දූව (මයින දූව), කුරුඳු දූව, කත්දූව සහ ගං දූව කියන්නේ ඒ දූපත් ටික. බෝට්ටු සවාරියෙන් මේ දූපත් සමූහය බලනවනම් අය කරන ගන්නා මුදල ටිකක් වැඩිවෙනවා.
ගල් දූව කියන්නේ ගල්වලින් හැදුන දූපතක්.මෙහි වතුර මතුපිට පේන ප්‍රමාණයට වඩා වැඩි ගල්කුළු ගොඩක් වතුර යට දකින්න පුළුවන්ලු.
තාලාතු දූව නැතිනම් ආරණ්‍ය දූව තුල කුඩා පන්සලක් සහ හාමුදුරුවරුන්ට භාවනා කරන්න හදපු කුටි තියෙනවා.
කුරුලු දූව නැතිනම් මයින දූව කුරුල්ලන්ට වෙන්වෙච්ච පාරාදීසයක් වගේ තැනක්.
කුරුඳු දූව කියන්නේ කුරුඳු වගා කරන තැනක්. මෙහි පවුල් 5ක් ජීවත් වෙනවා. ඒ වගේම මෙහි තියෙන සමහර කුරුඳු ගස් අවුරුදු 100ක් විතර පරණයි කියලත් කියනවා.
ඉතින් ඔයාලටත් පුළුවන් කොග්ගල කලපුවේ සංචාරය කරන ගමන් මේ දූපත් වලටත් ගොඩබැහැලා අලුත් අත්දැකීමක් ජීවිතේට එකතු කර ගන්න. ඒ වගේම මේ ගමනේදී රසම රස කිරල බීම එකක් බොන්නත් අමතක කරන්න එපා.
Walking Deep
Exploration is more important than travel......
16/11/2023
දූවිලි ඇල්ල පිහිටලා තියෙන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගරයේ තන්ජන්තැන්න කියන ගමේ.
බෙලිහුල්ඔය ඉඳන් කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරලා, බලන්ගොඩ සහ කහටපිටිය පසුකරලා, කල්තොට පාර ඔස්සේ කල්තොට දක්වා ගමන් කරලා, දූවිලි ඇල්ල පාරට හැරිලා දූවිලි ඇල්ල දිය ඇල්ලට ළඟා වෙන්න පුළුවන්. මේ ගමන කිලෝමීටර් 41.6ක් දුරයි වගේම පැයකුත් විනාඩි දොළහක් පමණ මේ සඳහා ගතවෙනවා.
වලවේ ගඟේ නැගෙනහිර ඇල්ල කියලත් හඳුන්වන දූවිලි ඇල්ල මීටර් 40ක් ( අඩි 130) උසයි.
හෙක්ටයාර් 5537ක් පමණ විශාල ඌව සහ සබරගමුව පළාත් දෙක පුරා විසිරිලා තියෙන රජවක රක්ෂිතයේ තමයි දූවිලි ඇල්ල පිහිටලා තියෙන්නේ. වලවේ ගඟෙන් පෝෂණය වෙන මේ ඇල්ල අයිති වෙන්නේ වියළි කලාපයටයි. ඒ නිසාම වියළි කලාපයට ආවේනික විවිධ ශාක වර්ග මේ අවට දකින්න ලැබෙනවා.
මේ දිය ඇල්ලට ළඟා වෙන්න නම් කුඩා අඩිපාරක් දිගේ මීටර් 500ක් විතර පහළට බසින්න ඕනේ. පුංචි කැලෑවක් මැදින් පඩි 360ක් විතර පහළට බැසගෙන ගියාම අපිට දූවිලි ඇල්ල හම්බවෙනවා. මෙහි ජල මට්ටම වේගයෙන් ඉහල යන නිසා ඇල්ල පහළ ටිකක් අවදානම්. නමුත් දිය ඇල්ලේ ඉහල තියෙන සමහර තැන් වලට බහින්න පුළුවන්.
දිය ඇල්ලේ වතුර වැටෙන්නේ දූවිලි වලාකුලක් විසිරෙනවා වගේ. ඒ නිසා මේ නමත් හරියටම ගැලපෙනවා. වටපිටාවේ ලස්සන විඳින ගමන් දූවිලි ඇල්ලෙන් නාගෙන සුන්දර බලන්ගොඩ - බෙලිහුල්ඔය පැත්තේ ඇවිදින්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම පියසටහන් පමණක් ඉතිරි කරලා මතක සටහන් පමණක් රැගෙන එන්නත් අමතක කරන්න එපා.
Walking Deep
Exploration is more important than travel......