07/05/2025
මැතිවරණ සාරිය.
මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන කාන්තාවන්ට සාරිය අනිවාර්යයි කියලා චක්‍රලේඛයක් තියෙනවද කියන්න මං දන්නෙ නෑ. එහෙම එකක් තිබුනත් ඒක හදපු එකා ඒක හැදුවෙ මොන මගුලකටද කියලා අහන්න හයවෙනිදා ඡන්ද වැඩ වලට සහභාගී වෙච්ච වෙලාවේ නම් මට හිතුණා.
උදේ හතරට යාර හය පටලවාගෙන රෑ එකොළහ වෙනකම් ඔය මල හත්තිලව්ව පෙරවාගෙන ඉඳලා ඊයේ නම් මගේ හොඳ පණ ගියා. ඇත්තටම කියනවනම් සමහරු ඕක ඇඳගන්න ඇත්තේ ඊටත් කලින්. කට්ටිය නම් හිතාගෙන ඇති ඔය යාර හය පෙරවාගෙන පුටුවක වාඩිවෙලා ඉන්න එක මහ ලොකු දෙයක්ද කියලා. ඒත් අපේ වගේ රටක තියෙන උෂ්ණාධික දේශගුණේ නිසා මේක පෙරවගෙන පුටුවක වාඩිවෙලා ඉන්න එකත් මල වදයක් තමයි.
උඩින් යාර හයක් පටලවගෙන යටින් තව ඇඳුම් දෙක තුනක් ඇඳගෙන පැය හත අටක් ඉන්නවා කියන එක ඇත්තටම ගෑනියෙකුට දඬුවමක් වගේ. තව දෙයක් මේ වෙද්දි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති විදියට කාන්තාවොත් වැඩ කරනවා. දන්න විදියට නම් ඒ අය ඡන්ද මධ්‍යස්ථානයේ නවතින්න ඕනෑ. සමහරවිට සුදුසු නවාතැනක් පිළියෙල කරලා දෙනවත් ඇති. නමුත් මං හිතන්නෙ නෑ උදේ පාන්දරකට හරි හමන් විදියට සාරියක් ඇඳගන්න ඒ තැන්වල පහසුකම් තියේවිය කියලා.
ඊළඟට ඡන්ද ගණන් කරන එක රෑ තිස්සේ ඔය යාර හයත් එක්ක දාඩියෙන් තැම්බි තැම්බි නිදිමරන එක සෙල්ලමක් කියලා කට්ටිය හිතනවා ඇති.
ඊයේ මම ගෙදර එද්දි රෑ එකොළහයි. එච්චර වෙලා ඡන්ද ගණන් කෙරුවද කියලා අහන්න නම් එපා. ඒත් මට එන්න බස් තිබුණේ නෑ. හන්දියෙන් බහිද්දී සාරිය බාගෙට ගැලවිලා. කොණ්ඩ ගෙඩිය ලෙහිලා කොණ්ඩ කැරැල්ලක් මූනටත්ත් වැටිලා. .මං හිටියේ හොඳටම හෙම්බත් වෙලා. .බස් එකෙන් බැහැලා කිලෝ මීටර් භාගයක් විතර මට පයින් යන්න ඕනේ.මම මහත්තයට මගට එන්න කිව්වා. ඒ මං තනියම යන්න බය නිසා නෙවෙයි. ඒ කළුවරේ මාව දැකලා කවුරුහරි මෝහිනියි කියලා බය වුණොත් කියන බයට
ඇත්තටම මේ වගේ රාජකාරියකට සාරිය ඇරෙන්න කාන්තාවන්ට සුදුසු ඇඳුමක් ඇත්තෙම නැද්ද. ඇයි බැරි මැතිවරණ රාජකාරියටත් සුදු ටී ෂර්ට් එකයි කලිසමයි නිල හැදුනුම්පතකුයි ලබා දෙන්න බැරි. ඒක කොච්චර පහසුද. හැදුනුම්පත ටිකක් ලොකුවට හදලා බෙල්ලෙ එල්ල ගත්තහම මිනිස්සු දන්නවනේ මේ ඉන්නේ මැතිවරණ රාජකාරී කරන පිරිසය කියලා. එහෙම නැත්නම් දැන් ඕනෙම ආයතනයක තියෙනවා ආයතනය නියෝජනය කරන ටී ෂර්ට් එකක්. මේ වෙද්දි ඒක පාසැල් වලත් තියෙනවා. ඉතින් සුදු ටී ෂර්ට් බැරි නම් ආයතනයේ ටී ෂර්ට් එකෙන් හරි එන්න අවසර දෙන්න පුළුවන්නේ. ඒ ඇඳුමට චන්ද රාජකාරි හැඳුනුම්පත භාවිත කරන්න පුළුවන්. රජයට වුණත් ඔය නිල හැදුනුම්පත් ටික කාලයක් භාවිත කරන්න පුළුවන් ආකාරයට හදාගන්න මහ ලොකු වියදමක් යන්නේ නෑනේ.
මෙව්වා වෙනස් වෙන්න ඕනෑ දේවල්. රාජකාරිය මනින්නේ ඇඳුමෙන් කියන හනමිටි අදහස දැන් වෙනස් කරන්න කාලෙ ඇවිත්. සාරිය ඔසරිය කියන්නේ අපේ ජාතික ඇඳුම. ඒක රාජකාරියත් එක්ක පටලවා ගන්නේ නැතුව ඔය ඇඳුම අඳින්න ඕනෑ තැන් පැහැදිලිව තීරණය කරගත්තා නම් හොඳ නැද්ද. රටේ ජාතික ඇඳුම රාජකාරිය සඳහා පටලවා ගන්නා මේ මානසිකත්වය වෙනස් වෙන්න ඕනේ.
දැන් ඉතින් සාරි අඳින මහත්තුරුයි රස්සාවකට නොයා සාරිය පෙරවාගෙන ගෙදරට වෙලා බුදියගෙන ඉන්න නෝනා මහත්වරුයි. මේක දැකලා වැලලෙන්න ගනී. හැබැයි ඊයෙනම් මට මේ සාරිය මොන සාපයක්ද මොන කරුමයක්ද මොන මගුලක්ද කියලා දැනුනා
සමහර විට රජයේ සේවකයෙක් විදියට මේ මං සහභාගී වුණ අවසාන මැතිවරණ රාජකාරිය වෙන්න පුළුවන්. ඒත් මේ සාරි මගුලෙන් මිදිලා කාන්තාවන්ට නිලධාරීන් විදියට බොහොම සැහැල්ලුවෙන් රාජකාරියට යන්න හැකි වෙනවා නම් එදාට විශ්‍රාමිකයෙක් විදියට මටත් සතුටු වෙන්න පුළුවන්
ලොකු teacher