31/05/2026
🇯🇵..... සුන්දර ජපානයේ තතු..... 🇯🇵
🌸 මල් සැරසිල්ලක් ද? නැත්නම් ජීවන දර්ශනයක් ද? - ජපන් "いけばな" (Ikebana) කලාව 🌸
අපි සාමාන්‍යයෙන් මල් බඳුනක් සරසන්නේ; තියෙන උපරිම මල් ප්‍රමාණය එකතු කරලා, බඳුන පිරෙන්න, හැඩ වැඩ දාලා....හැබැයි ජපානයේ "いけばな" (Ikebana - 生け花) කලාව ඊට වඩා හාත්පසින්ම වෙනස්!
"いけばな" කියන වචනයේ තේරුම "මල්වලට ජීවය දීම" කියන එකයි. 7 වැනි සියවසේ විතර බෞද්ධ පූජාවන්ගෙන් ඇරඹුණු මේ කලාව, අද වෙද්දී මුළු ලෝකයම මවිත කරපු අතිශය ආධ්‍යාත්මික සෙන් (Zen) කලාවක් බවට පත්වෙලා තියෙනවා. 🎋
🌸 ඇයි いけばな මෙච්චර විශේෂ?
බොහෝ මල් සැරසිලි කලාවන්හි අවධානය යොමු කරන්නේ මල්වල "ලස්සන" ගැන විතරයි. හැබැයි いけばな කලාවේදී මලක් වගේම, ඒකට ගන්නා අත්ත, කොළය, පොහොට්ටුව, බඳුන වගේම ඒ හැමදේම අතර තියෙන "හිස් අවකාශය" (Empty Space) පවා කලාවේ කොටසක්!
මෙහි ප්‍රධානතම රීතියක් වෙන්නේ රේඛා 3ක් ඔස්සේ සැකැස්ම නිර්මාණය කිරීමයි:
1. අහස (Shin - Heaven) 🌌
2. මිනිසා (Soe - Human) 👤
3. පොළොව (Hikae - Earth) 🌍
මේ අංග තුන එකතු වෙලා මිනිසා, සොබාදහම සහ විශ්වය අතර තියෙන සමතුලිතතාවය සහ බැඳීම මල් සැරසිල්ලක් හරහා සංකේතවත් කරනවා.
🧘🏽♀️ ඉවසීම සහ සිත නිවීම,
いけばな කියන්නේ හදිසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය එක්තරා ආකාරයක භාවනාවක්. එක අත්තක් තියන්න ඕනේ කොයි පැත්තටද, මලක් ඇල කරන්න ඕනේ කුමන කෝණයකින්ද කියලා ඉතාමත් ඉවසිලිවන්තව සහ අවධානයෙන් තීරණය කරන්න ඕනේ.
🍂සොබාදහමේ තියෙන අසම්පූර්ණ බව (Imperfect beauty) අගය කරන්න いけばな අපිට කියා දෙනවා. සම්පූර්ණයෙන්ම පිපුණු මලකට වඩා, හෙට පිපෙන්න තියෙන පොහොට්ටුවක සහ වියළී වැටෙන්න ආසන්න කොළයක තියෙන සුන්දරත්වය මේ කලාව ඇතුළේ දකින්න පුළුවන්.
කාර්යබහුල ජීවිතේ අතරමං වෙලා ඉන්න අපිට, හිත නිහඬ කරගන්න, සොබාදහමට ලංවෙන්න කියාදෙන අපූරු පාඩමක් තමයි いけばな කියන්නේ! ❤️
ඔබත් ඔබේ නිවසේ මෙවැනි නිදහස්, චාම් මල් සැරසිල්ලක් කරන්න කැමතිද? අදහස් කියාගෙන යන්න. 👇✨