18/03/2026
🚨 පෝලිම්වල සතුටින් සිටින කියුබානුවන්ගේ අනාගතය !
පසුගිය සදුදා දිනයේ සිට කියුබාව විදුලි බලය නොමැති තත්වයට පත්ව ඇති අතර අගනුවර වන හවානා ඇතුළු සියළු ප්‍රදේශයන් අදුරු රාත්‍රියන් බවට පත්ව ඇත.
මාස තුනක කාලසීමාවක් තුල කිසිදු තෙල් නැවක් කියුබාව වෙත පැමිණ නොමැති වීම හේතුවෙන් විදුලි අර්බුදය උත්සන්න වී ඇත. එසේම කියුබාවේ විදුලි පද්ධතියේ යටිතල පහසුකම් ඉතා පැරණි යල්පැනගිය තත්වයට පත්ව තිබීමද මෙම විදුලි අර්බුදය සදහා හේතුවී ඇත.
විදුලි අර්බුදය සමග ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගනන් ඉහළ යෑම,ජල හිගය ඇතුළු විශාල ගැටළු ප්‍රමාණයකට කියුබානු ජනතාව මේ වන විට මුහුණ දී ඇත. පීඩනයට පත්ව ඇති කියුබානු ජනතාව කියුබානු රජයට එරෙහිව වීදි බැස විරෝධතා දක්වන වීඩියෝ දර්ශණ විදෙස් මාධ්‍ය පසුගිය සතියේදී වාර්තාකර තිබුණි.
තෙල් හිගය සදහා මූලිකවම වෙනිසියුලාවේ පාලනය වෙනස් වීම බලපා ඇති බව සදහන් වේ. නිකොලොස් මදුරෝව පසුගිය ජනවාරි මාසයේදී ඇමරිකානු ආරක්ෂක අංශ විසින් අත්තඩංගුවට ගෙන ඇමරිකාවට රැගෙන යාම සමග මදුරෝගේ පාලනය විසින් කියුබාවට ඉතා අඩු මිළ ගනන් යටතේ ලබාදුන් තෙල් සැපයුම් නතර වීම තෙල් හිගය සදහා මූලික හේතුව බවට පත්ව ඇත. වාර්තාවන්හි දැක්වෙන ආකාරයට කියුබාවේ දිනක තෙල් පරිභෝජනයෙන් (බැරල් 35,000) හරි අඩකට ආසන්න ප්‍රමාණයක් වෙනිසියුලාව විසින් සපයා ඇති බව වාර්තාවන්හි දැක්වේ. එසේම, ඇමරිකාව විසින් කියිබාවට තෙල් සැපයුම් ලැබීම නැවැත්වීම සදහා තෙල් සපයන රටවල් වලට නව බදු පනවන බවට තර්ජනය කර ඇත.
ඇමරිකාව කියුබානු පාලන තන්ත්‍රය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ජනාධිපතිවරයා සදහන් කර ඇත. කෙසේ නමුත් කියුබාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර ඉරාන ගැටළුව විසදා ගතයුතු බව ඔහු පසුගිය දිනක සදහන්කරන ලදි.
මෙවන් පසුබිමක, කියුබාන ජනාධිපති Miguel Diaz - Canel ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට මූලික පියවරයන් ගනිමින් සිටින බව ප්‍රකාශ කර ඇත.
විදෙස් විශ්ලේෂකයන්ට අනුව ඇමරිකාව කියුබානු පාලන තන්ත්‍රය සහමුලින් වෙනස් නොකර ඇමරිකාවට විශ්වාස කල හැකි මට්ටමේ පුද්ගලයකු බලයට පත්කර ගැනීමට බලාපොරොත්තු වන බව අනුමාන කෙරේ. එය ඇමරිකාව විසින් වෙනිසියුලාවේ නව පාලනයක් පිහිටවූ ආකාරයට සමාන ආකාරයක් විය හැකි බව අනුමානයන්හි දැක්වේ.
රාවුල් කස්ත්‍රෝගේ මුණුබුරා වන Raul Guillermo Castro (අවුරුදු 41) පිළිබදව ඇමරිකාව උනන්දුවකින් පසුවන අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පසුගිය දිනකදී ඔහු සමග රහස් දුරකථන සංවාදයක නිරත වී ඇති බව Axio මාධ්‍ය ආයතනය විසින් පලකල ලිපියක සදහන් වේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝගේ දෙමව්පියන් කියුබාවේ සිට සංක්‍රමණය වූ යුවළක් වන අතර රූබියෝ සමාජවාදී මතවාදයන්ට දැඩි විරුද්ධත්වයක් දක්වන්නකු බව ප්‍රකට කාරණාවකි.
- SL Knowledge Bank