24/08/2026
👉 ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
👉 අදින් වසර 108කට පෙර එනම් 1918 පෙබරවාරි 01 වැනිදා මහනුවර දී මෙලොව එළිය දුටු ඇගේ නම මිනෙට් ද සිල්වාය.
👉 ඇගේ පියා, ශ්‍රී ලංකාවේ ප්‍රකට නීතිඥයෙකු හා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ ජෝර්ජ් ඊ. ද සිල්වා ය. මව, කාන්තා ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් කළ ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිනියක වූ ඇග්නස් ද සිල්වා ය.
👉 කුඩා කල සිටම ආනන්ද කුමාරස්වාමි වැනි සංස්කෘතික දැවැන්තයන්ගේ ඇසුර ලබමින් පෝෂණය වූ ඇය, එදවස පිරිමින්ට සීමා වී තිබූ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රය තෝරා ගත්තේ සැබෑම අභියෝගයක් ලෙසිනි. මුම්බායි නුවරින් මූලික අධ්‍යාපනය ලබා, පසුව බි්‍රතාන්‍යයේ සුප්‍රකට Architectural Association School of Architecture වෙත ගිය ඇය, එහි අධ්‍යාපනය ලබා Royal Institute of British Architects හි ලියාපදිංචි වූ ප්‍රථම ආසියාතික කාන්තාව බවට පත් වූවාය.
👉 1948දී ලංකාව නිදහස ලබන විට, මිනෙට් ද සිල්වා ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වී සිටියාය. නූතන ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ ලෝක ශිඛරය ලෙස සැලකුණු CIAM (Congrès Internationaux dz Architecture Moderne) සංවිධානයට තේරී පත් වූ පළමු ආසියාතික කාන්තාව වූයේද ඇයයි. ලෝ කොර්බුසියර්, වෝල්ටර් ග්‍රෝපියස් සහ පැබ්ලෝ පිකාසෝ වැනි කලා හා ගෘහ නිර්මාණ ලෝකයේ දැවැන්තයන් සමඟ එකට හිඳ අදහස් හුවමාරු කරගත් ඇය, බටහිර අදහස් ඒ අයුරින්ම කොපි නොකර, තමන්ගේ රටේ පසට ගැළපෙන පරිදි ඒවා නැවත අර්ථකථනය කිරීමට තරම් දැක්මක් ඇති තැනැත්තියක වූවාය.
👉 ඇය බටහිර අනුකරණය එකහෙළා ප්‍රතික්ෂේප කරමින් නූතනත්වයට ශ්‍රී ලාංකේය අභිමානය එක් කළාය. 1951දී මහනුවර නිර්මාණය කළ කරුණාරත්න නිවස හරහා කඳු බෑවුමක ස්වාභාවික පරිසරයට කිසි අයුරකින් හානි නොකර ගොඩනැගිල්ලක් තනන්නේ කෙසේදැයි ඇය ලෝකයට පෙන්වා දුන්නාය. එහි ජෝර්ජ් කීට්ගේ බිතුසිතුවම් මෙන්ම ස්වාභාවික ආලෝක රටාද අඩංගු විය.
👉 1952දී කොළඹ ඉදි කළ පීරිස් හවුස් මගින් මහලින් උසස් කළ ටෙරස්, ‘මැද මිදුල‘ සහ කබොක් ගල් භාවිත කරමින් උෂ්ණ කලාපීය නිවසකට නවීනතම ආදර්ශයක් දුන් ඇය, 1957 දී සේනානායක ෆ්ලැට්ස් නිවාස සංකීරණය හරහා මහල් නිවාස සංකල්පයට නූතන භාවයක් එකතු කළාය.
👉 එපමණක් නොව, 1958දී මහනුවර ඇරඹි වටපුළුව නිවාස යෝජනා ක්‍රමය හෙවත් ”88 Acres” ව්‍යාපෘතිය ආසියාවේ ප්‍රථම ජන සහභාගීත්ව නිවාස ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එකතු විය. එහිදී රජයේ සුළු සේවකයන්ගේ සිට ඉහළ නිලධාරීන් දක්වා විවිධ ජාතීන්ට අයත් ජනතාවගේ අදහස් විමසමින්, භූමියේ හැඩයට ගැළපෙන පරිදි අඩුවියදම් ගෙවල් 250ක් සැලසුම් කිරීමට ඇය සමත් වූවාය. පසුව 1982දී මහනුවර සාම්ප්‍රදායික උළු වහලවල් සහ විවෘත මණ්ඩප භාවිත කරමින් ඇය නිර්මාණය කළ මහනුවර සංස්කෘතික මධ්‍යස්ථානය ඇගේ තවත් අග්‍රගණ්‍ය නිර්මාණයකි.
👉 මිනෙට්ගේ ගොඩනැගිල්ලක් යනු හුදෙක් බිත්ති හතරක් නොව, දේශීය කලාගාරයකි. ඇය තමන්ගේ ගොඩනැගිලි අලංකාර කිරීමට දුම්බර රටා පැදුරු, දඹුළු පැදුරු, ලී කැටයම්, බතික්, මැටි භාණ්ඩ සහ අතින් වියන ලද රෙදිපිළි සෘජුවම භාවිත කළාය. ඇය ගොඩනැගිලි සැලසුම් කරන අතර, ගැමි හස්ත කර්මාන්ත කරුවන්ටද ස්ථිර ජීවනෝපායක් උදා කර දුන්නාය.
👉 විසිවැනි සියවසේ මැද භාගයේ, ගොඩනැගිලි හදන මේසන් බාස්වරුන් මෙහෙයවීම කාන්තාවකට ලෙහෙසි පහසු වූයේ නැත. පිරිමි ආධිපත්‍යය පැවති ක්ෂේත්‍රය තුළ ව්‍යාපෘති අහිමිවීම් සහ වෘත්තීය නොසලකා හැරීම් ඇයට අඩුවක් නැති වුවද, ඇය සිය අසමසම හැකියාවෙන්ම ඒ සියල්ලට පිළිතුරු දුන්නාය. ඇය ලියූ The Life and Work of an Asian Woman Architect නම් ස්වයං චරිතාපදානය, ආසියානු කාන්තා ගෘහ නිර්මාණ ශිල්පිනියකගේ අභියෝගාත්මක අත්දැකීම් ලෝකයට හෙළි කළ ඓතිහාසික ලියවිල්ලකි.
👉 කාලයේ වැලි තලාවෙන් යටපත් කිරීමට තැත් කළද, මෑත දශකවලදී ලෝක ගෘහ නිර්මාණ විද්වතුන් සහ ජාත්‍යන්තර කෞතුකාගාර මිනෙට් ද සිල්වාගේ නිර්මාණ නැවත නැවතත් හදාරන්නට පටන් ගෙන ඇත.
👉 1998 දී ජීවිතයෙන් සමුගත් මිනෙට් ද සිල්වා අපට කියා දුන්නේ සැබෑ නවෝත්පාදනය යනු පිටරටින් එන අදහස් ඒ අයුරින්ම කොපි කිරීම නොව, තමන්ගේ රටේ පස, පරිසරය සහ සංස්කෘතිය අවබෝධ කරගෙන ඒවා නවීන ලෝකයට ගැළපෙන ලෙස නැවත අර්ථකථනය කිරීම බවය.