16/07/2026
ලක්දිව පැරණි මාංස පරිභෝජනය පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක විග්‍රහයක්.
😍🇱🇰
අතීතයේ අපේ පැරැන්නෝ අනුභව කරන ලද ප්‍රණීත ආහාර පාන පිළිබඳව විවිධ සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රනථවල සඳහන් වේ. රසමසවුළෙන් යුක්ත වූ අග්‍රභෝජනය යනුවෙන් විවිධ සම්භාව්‍ය සාහිත්‍ය කෘති වල සඳහන් වන්නේ එසේය. එයින් අදහස් වන්නේ මස් මාළු ප්‍රණීත ආහාර වේලක කොටසක් බවට පත්විය. විනය ග්‍රන්ථ වල සඳහන් පංචවිධ ආහාර අතර හතරවැන්න මච්ජ (දියෙහි ඇති මත්ස්‍ය සම්පත) ලෙස ද පස්වැන්න මංස (ගොඩබිම් ඇති මස්) යන්න කුදුසික සන්නය අනුව අර්ථ දැක්විය හැකිය. නමුත් නූතනයේ මස් මාංස යන්න පොදුවේ සියළු මස් වර්ග සඳහා භාවිතා
කෙරේ.
සතුන් මැරීම තහනම් කළ මාඝාත සමයක් අපිට ඓතිහාසික වශයෙන් වාර්තා වේ. ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් වරින් වර සත්ව ඝාතනය තහනම් කර ඇති අතර ඒ පිළිබඳව කල්සි ලිපියෙහි සඳහන් කර ඇත. ලංකාවේ ආමන්ඩගාමිණී අභය හෙවත් අඩගැමුණු රජු විසින් වරින් වර සතුන් මැරීම තහනම් කරමින් මාඝාත සමය ලෙස තහනම් කාලයක් නියෝග කර තිබේ.
කංඛාවිතරණි පිතපොත නැමැති පුරාණ සිංහල ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයෙහි "හවුරුද්දකට හමසකට තුන්මසකට යැයි නියම කොටැ සතුන් නොමරන්නට බෙරපියෝ කිරීම මාඝාත සමය නම් වේ" යනුවෙන් සඳහන් වේ. මේ අනුව රජු විසින් මාස දෙකක් හෝ තුනක් තුළ සතුන් නොමරන ලෙස අණබෙර ගසා දැනුවත් කළ බව පෙනේ. මාඝාත සමයේ ද සතුන් මැරීම හා කෑම සම්පූර්ණයෙන් සිදු නොවූ බවටද සාක්ෂි කංඛාවිතරනි ම කියයි. රජදරුවන් විසින් මච්ඡමංස නොකරන්නේ නොකන්නේ යනාදී සමයෙහි සඟවා වලදන්නහට අනාපත්තියි යනුවෙන් සඳහන් කිරීමෙන් පෙනී යන්නේ මේ කාලයේ ද ඔවුන් සඟවාගෙන මස් මාංස අනුභව කර ඇති බවයි.
යම් භික්ෂුවක් විසින් විනය නීතියක් කඩ කරන විට ඒ භික්ෂුව වරදට හසු වෙයි. එය විනය පොත් වල සඳහන් වන්නේ ආපත්තියට පැමිණීමක් ලෙසයි. මෙයින් පෙනෙන්නේ මාඝාත සමයේ ද සතුන් මැරීම සම්පූර්ණයෙන් නතර නොවූ බවයි. මීට කදිම නිදසුන නම් අශෝක රජුගේ කල්සි 1වන ගිරි ලිපිය වේ. කිසිම සතෙකු නොමැරිය යුතු ලෙස සඳහන් වුවත් රජුගේ මුළුතැන්ගෙයි දහස් ගණනක් සතුන් මරා කෑම පිළියෙල කර ඇත. පසුව එය මොණරුන් 2ක් හා මුවෙක් පමණක් ආහාර සඳහා පිළියෙල කිරීමට සීමා වුවද පසුව එයත් තහනම් කර ඇත.
පරම අහිංසාවාදය අනුගමනය කරන්නේ ජෛන ආගම පමණි. ජෛන ආගම අනුව ගිහියන් හා පැවිද්දන් ද මස් කෑම තහනම් වේ. බුදුසමයේ සතුන් මැරීම නොඅනුදන්නා නමුදු මස් කෑම ගිහියන් ට හා පැවිද්දන් ට වළක්වා නැත. මෙයට කදිම නිදසුන නම් බුදුන් වහන්සේ සමඟ වාද කළ දෙව්දත් තෙරුන් උරණ වූයේ දෙව්දත් තෙරුන් විසින් මස් මාංස අනුභව කිරීම සම්පූර්ණයෙන් පැවිද්දන් ට තහනම් කරන ලෙස ඉල්ලා සිටීමයි. බුදුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ. එසේ නොකළ උන්වහන්සේ අනුභව කිරීමට තහනම් කරන ලද මස් වර්ග 10ක් තහනම් කර ඇත. එනම් මිනිස් මස්, අලි ඇතුන්, අශ්ව, බලු, දිවියන්, සිංහයන් ව්‍යාඝ්‍ර, වලස් මස්, පා නැති උරගයින් හා සර්පයින් ආදි සතුන්ගේ මස් වර්ග පැවිදි අයට අනුභව කිරීම තහනම් කොට වදාළහ. මෙය කුදුසික සන්නය හා සද්ධර්ම රත්නාවලිය ආදියෙහි සඳහන් වේ. මේ අනුව ගව මස් කෑම තහනම් නොවන බව පැහැදිලිව පෙනෙන අතර දියේ වෙසෙන මත්ස්‍ය සම්පත ද ආහාරයට සුදුසු බව සඳහන් වෙයි.
මිහිඳු හිමියන් ලක්දිව වැඩම කළ අවස්ථාවේ තිස්ස මහා රජු මුණගැසුණේ නැකැත් කෙළියේ අංගයක් වූ මුව දඩයමේ යෙදෙන අවස්තාවේදී ය. එසේම මහා පැරකුම්බා රජු තම මෙහෙසිය හා ඇමතිවරුන් සමග මුව දඩයමේ ගිය බව මහාවංශය සදහන් කරයි. මෙහිදී විශාල ගෝනෙක් බිසව සිටි තැනට වේගයෙන් දුව එනු දැක හෙල්ලයකින් රජු සතාව මරා දැමූ බවත් මහාවංශය කියයි. මේ මුව දඩයමේ යෙදීම ක්ෂස්ත්‍රීය වංශිකයන්ගේ විනෝදාංශයක් වුවත් ඇතැම් රජවරු බෞද්ධ වුවත් මෙය අත් නොහළ බව මේ සිදුවීම් වලින් වටහාගත හැකිය.
තවත් බොහෝ මස් මාංස අනුභව කර ඇති බව පහත සඳහන් නිදසුන් හා මූලාශ්‍ර වලින් ද හෙළි වේ.
වැද්දන් ගේ දඩයම් මස් - පණ්ඩුකාභය රජු දවස අනුරාධපුර සොහොන් බිමට උතුරින් වැද්දන් සඳහා ගෙවල් පේළියක් ඉදිකල බව මහාවංශය සදහන් කරයි. මහාවංශ ටීකාව පවා ව්‍යාධ ලෙස හැඳුන්වා ඇත්තේ මුවන් සහ ඌරන් දඩයම් කරන වැද්දන් ගැනයි. සද්ධර්මලංකාරයේ ජයම්පතිකා කතා වස්තුවේ සඳහන් වන්නේ රජුන් ද ඇමති වරුන් ද මේ අයගෙන් ප්‍රයෝජන ගෙන ඇති බවයි. සංඝ නම් ඇමතියෙක් මී මස්, හා මස් සහ තවත් බොහෝ මස් වර්ග රැගෙන රජුන් ට යැවූ බව එහි සඳහන් වේ.
සද්ධර්මාලංකාරයේ නේසාද වස්තුවේ රුහුණු ජනපදයේ මාගම විසූ මහා පරිමාණ දඩයම් කළ වෙද්දෙකු හා ඔහු භාවිතා කළ උපක්‍රම ගැන සඳහන් වේ. මෙහිදී ඔහු දීන බල්ලන් හෙවත් දඩයම් බල්ලන් ද භාවිතා කර තිබේ.
විශේෂයන් ම වරයෝගසාරය නම් වෛද්‍ය ග්‍රන්ථය ක විවිධ මස් වර්ග අනුභව කිරීමේ ගුණ අගුණ සඳහන් වේ. මෙයින් පෙනෙන්නේ මස් මාංස අනුභව කිරීම කිසිසේත්ම නතර නොකල බවයි.
පස් වැදෑරුම් ඌරුමස් ව්‍යංජනය - සද්ධර්මාලංකාරයේ සාලිරාජ කතා වස්තුවේ අඹු සැමි යුවලක් ඌරුමස් පිළියෙල කර ඒව දන් දුන් ආකාරය දක්වා ඇත. ඒවා පහත සඳහන් වේ.
1. තෙල්මස - තෙලින් බදින ලද මස්. ඌරු මස් වල ඇති තෙල් සහිත මේද කොටස පමණක් ගෙන පිළියෙල කිරීම.
2. මධුමස - ඌරු මස් මී පැණි යොදා සකස් කිරීම.
3. පෙණමස - සතෙකුගේ පපුවෙන් ගන්නා ලද පෙනහල්ලෙන් සකස් කළ මස් කෑමකි.
4. අඟුරුමස - ගිණි අඟුරු වලින් පුළුස්සා සකස් කළ මස්.
5. සම්භාරමස - විවිධ කුළුබඩු වර්ග යොදා සකසා ගන්නා මස් කරිය. මෙය වර්තමානයේ ද දැකිය හැකිය.
තවත් මස් ආහාරයක් ලෙස පැසිමස ගැන සද්ධර්මාලංකාරයේ සුරනිර්මල වස්තුවේ සඳහන් වේ.
6. පැසිමස - ලුණු ඇඹුල් ආදිය, විනාකිරි වැනි දේ යොදා පැසවන ලද මස් ආහාරයකි.
මුව මස් කෑම - සද්ධර්මාලංකාරයේ නන්දිමිත්‍ර වස්තුවේ මුව මස් තුන් ආකාරයට සකස් කර ඒ. එනම් අඟුරුමස, පෙනමස හා සම්භාර සංයුක්ත මසයි.
වත්තුලපබ්බත කතා වස්තුවේ ශක්‍රයා මිනිස් වෙස් ගෙන පැමිණ රත්හැල් සහල්, දීගේඩියක් හා ගිතෙල් කලයක්, මුවකුගේ පස්ස කකුලක් රැගෙන පැමිණ අඹු සැමි යුවලකට දුන් බවත් ඔවුන් එය පිස භික්ෂූන් වහන්සේට දන් දුන් බවත් සඳහන් වේ.
නන්දිමිත්‍ර යෝධයා පෙර ආත්මයකදී කහවනු තිහක් දී මුව මස් ගෙන පිස, සුවඳ ඇල් සාල් වලින් බත් පිසවා විවිධ ආහාරපාන වර්ග සමඟ විරෝචන නම් රහතන් වහන්සේ නමකට දන් පිළිගන්වා ඇති බව සද්ධර්මාලංකාරයේ සඳහන් වේ.
ගව මස් හා එළු මස්
ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසට අයත් වේවැල්කැටිය සෙල්ලිපියට අනුව මී හරක්, එළ හරක් හා එළුවන් මරා දැමුවන්ට මරණ දඬුවම නියම වෙයි. එසේම සොරාගෙන ගියොත් එය විභාග කොට කිහිල්ලේ හණ තබා හංවඩු ගසා දඬුවම් නියම කළ බවයි. එසේ නොවුනත් පිටින් ගෙනෙන ලද මෙම මස් වර්ග සඳහා දඩ මුදලක් ගෙවිය යුතු බව සෙල්ලිපියේ සඳහන් වේ. මෙයින් පෙනෙන්නේ එකල මස් මාංස අනුභව කිරීම සුලබව දැකිය හැකි අතර එය පාලනය කිරීම සඳහා රජු දැඩි නීති පනවා ඇති බවයි.
මැඩීලිගිරිය ටැම් ලිපියට අනුව නම් මැරුණු සතුන්ගේ මස් කෑම තහනම් නොවේ. එනම් රෝගී වී මැරෙන සතුන් නොව හදිසි අනතුරක දී මැරෙන සතුන් කෑම තහනම් නොවීමයි. මැඩිලිගිරි විහාරයට අයත් රෝහලට මැරුණු කුකුළන් සහ එළුවන් ලබා දෙන ලෙස එහි සඳහන් වන්නේ මේ නිසාය.
විනය අටුවාව ලියූ 5වන සියවස වන විට මෙම මස් වර්ග තහනම් නොවුණි. සමන්තපසදිකා දුතිය පාරාජිකා වර්ණනාවේ එහේ මෙහේ ඇවිදින ගවයෙකු භික්ෂූන් වහන්සේ නමක් මැරුවොත් ඒ ගවයාගේ වටිනාකම දිය යුතු බව පැහැදිලිව සඳහන් වේ. මෙයින් පෙනෙන්නේ අනුන්ගේ ඉබාගාතේ යන ගවයන් විවිධ අය විසින් මරා දමා මස් කෑමට ගෙන ඇති බවයි. මෙයින් භික්ෂූන් වහන්සේලා වැළැක්වීමට මෙසේ නීතියක් පනවා ඇති බව පෙනේ.
එසේම සමන්තපාසාදිකා විනය අටුවාවෙහි සූකර වත්තු වෙහි ඌරන් දඩයම් කිරීමට යොදා ගත් විවිධ උපක්‍රම හා උගුල් ඇටවීම ගැන සඳහන් වේ. ගම් ඌරන් මැරීම ගැන සද්ධර්මරත්නාවලියේ සඳහන් වේ. එනම් ඌරන් ඇතිකර නැති බවත් මේ කියන්නේ කැලේ ඉන්න වල් ඌරන් බවත් පැහැදිලි වේ. එහිම වල් ඌරන් හා කිරි අනුභව කිරීම ශරීරයට අහිතකර බව සඳහන් වෙයි.
සද්ධර්මාලංකාරයේ එන මහා භරණ යෝධයා ගේ කතා වස්තුවේ හාමස් ගැන සඳහන් වේ. මහා භරණ යෝධයා අවුරුදු 12දී තම මිතුරන් සමග කැලෑවට ගොස් හාවන් ලුහුබැඳ කකුලෙන් පයින් ගසා මරා දැමූ බවත් පානීය කතා වස්තුවේ හාවුන් දඩයම් කළ ආකාරය ද දක්වා ඇත. එහි එන ධම්මදින්න ස්ථවිර වස්තුවේ පූර්ණශලා ගමේ සිටුවරයාගේ ගෙදර භික්ෂූන් වහන්සේලා දන් වැළඳු තැන හාමස් කටු ගොඩ ගසා තිබූ බව සඳහන් වෙයි.
වරයෝගසාරය නම් වෛද්‍ය ග්‍රන්ථයේ ඇති විවිධ මස් වර්ග ලංකාවේ ජනතාව අනුභව කළ බව පැහැදිලිව පෙනේ. ඛච්චදේව යෝධයා වල්මීමා දඩයම් කළ ආකාරය ද මහා භරණ යෝධයා ගෝනුන් දඩයම් කළ ආකාරය ද සද්ධර්මාලංකාරයේ ද සඳහන්. සිංහල සන්දේශ කාව්‍යය වලින් අපිට පෙනී යන්නේ වල් මිමා හා ගෝනුන් ඉතා බහුලව සිටි බවයි.
තලගොයි මස් ද අනුභව කළ බව සාක්ෂි තිබේ. දඹුළුත් වැඳ තලගොයනුත් මරාගන්නා සේ යනුවෙන් ප්‍රස්තා පිරුළක් ද තිබේ. සද්ධර්මරත්නාවලියේ කොවුන් බමුණා ගේ කතා වස්තුවේ සඳහන් වේ.
ගව මස් කෑම බහුලව තිබූ අතර පසුව පොළොන්නරු යුගය වන විට එයට සීමා දමා ඇති බව ජාතක අටුවා ගැටපදයෙහි දැකිය හැකිය. මෙරට ජනතාව බලු මස් අනුභව කර තිබේ. බලු මස් අනුභව කිරීම භික්ෂූන්ට තහනම් කොට ඇත එසේම බුත්සරනෙහි දක්වා ඇත්තේ බලු මස් අනුභව කළ ගම් වාසීන් ගැනයි.
මෙසේ මූලාශ්‍ර අධ්‍යනය කිරීම මඟින් අපිට පෙනී යන්නේ අතීතයේ ලක්දිව වැසියන් බොහෝ සෙයින් මස් මාංස අනුභවයි.
Sheikh Irshad Sahabuddeen
MSc Archeology PGIAR University of Kelaniya
ආශ්‍රිත ග්‍රන්ථ
ශිලාලේඛන සංග්‍රහය වෙළුම් 1-4
සෙල්ලිපි වදන් අකාරාදිය - මහාචාර්ය සිරිමල් රනවැල්ල
සද්ධර්ම රත්නාවලිය
සද්ධර්මලංකාරය
වන්සත්තපකාසිනි මහාවංශ ටීකාව
අශෝක ශිලා ලේඛන
මහාවංශය
සමන්ටපසදිකාව
බුත්සරණ
ජාතක අටුවා ගැටපදය, දෙවන වෙළුම
කංකාවිතරණි පිතපොත
හංස සන්දේශය
මයුර සන්දේශය
සිංහල සන්දේශ කාව්‍යය, ද්වීතීක භාගය
ලංකාවේ සමාජ හා සංස්කෘතික ඉතිහාසය - මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි