13/08/2021
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඇසුරින් අලින්ගේ නීතිමය ආරක්ෂාව.
ශ්‍රී ලංකාවේ වන සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම නීත්‍යනුකූලව රජය සතු වේ. එම නීත්‍යානුකූල වගකීම ඉටුකිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරදූර කාර්යයක් වේ.
ඒ සඳහා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එම වගකීම 1937 අංක 2, 1942 අංක 31, 1944 අංක 12, 1945 අංක 12 (469 වන අධිකාරිය ) දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සහ 1949 අංක 38 (සංශෝධන ), 1964 අංක 44 (සංශෝධන ), 1970 අංක 01 (සංශෝධන ), 1993 අංක 49 (සංශෝධන ), 2009 අංක 22 (සංශෝධන ), යනාදී පනත් මගින් පවරා ඇත. එමෙන්ම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් වනජීවී රක්ෂිත වලින් බැහැර පෙදෙස්වල වනජීවී සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත හරහා අලින්ට විශාල නීතිමය ආරක්ෂාවක් ලබා දෙයි. විශේෂයෙන්ම මෙම පනතේ දෙවන කොටසේ (part 2) 12 -29 වන වගන්ති දක්වා අලින්ගේ නීතිමය ආරක්ෂාව සඳහා යම් යම් ප්‍රතිපාදන දැකිය හැකිවේ. 12 වන වගන්තියේ සඳහන් වූයේ නීති විරෝධී ලෙස අලියෙකු දඩයම් කිරීම, වෙඩි තැබීම, තුවාල කිරීම හෝ අල්වා ගැනීම තහනම් බවයි. නමුත් මේ ප්‍රතිපාදනය හරහා නීත්‍යානුකූල ලෙස අලි අල්ලා ගැනීම සඳහා අවසර දුන්නාද යන්න සැක පහළ වේ.
13 (1) (a) උපවගන්තිය අනුව ජාතික රක්ෂිතයකට ,කිසියම් පුද්ගලයකුට හෝ නිවසකට, භෝගයකට, වගාවකට හෝ වෙනත් දේපළකට අලින්ගෙන් හානි වන ඕනෑම විටෙක අලි පලවා හැරීමට හෝ අල්වා ගැනීමට බලපත්‍ර ලබාගත හැකිය. 13 (1) (b) උප වගන්තිය අනුව ජීවිතයට හෝ දේපළවලට බරපතළ අනතුරක් ඇති බව අධ්‍යක්ෂකවරයාට පෙනී යන ඕනෑම අවස්ථාවක කොන්දේසි වලට යටත්ව බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් ලබා දී ඇත. 14 වන වගන්තියේ සඳහන් වූයේ කිසියම් අලියෙකු වතු යායකට හෝ වගා කළ ඉඩමකට බරපතළ හානි කරන විට හා දේපලවලට හානි කරන බවට අධ්‍යක්ෂවරයාට පෙනී යන විට එවැනි අලියෙකු හෝ ඇතෙකු ලුහුබැඳ යාමට, වෙඩි තැබීමට මරා දැමීමට හෝ රැගෙන යාමට බලපත්‍ර නිකුත් කළ හැකි බවයි.
1990 පමණ කාලයේදී අලි ඇල්ලීමට මෙම බලපත්‍ර යොදාගත් අතර 1981 පමණ කාලයේදී අලින් මැරීම සඳහා ද එවක සිටි අධ්‍යක්ෂවරයා බලපත්‍ර නිකුත් කර තිබුනි. මෙම 14 වන වගන්තියට මුවාවී දඩයක්කාරයකුට අලියෙක් නරක අලියෙක් බව හුවා දක්වමින් වුවද මරාදැමීමේ හැකියාවක් තිබුණි.
පසුව 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතින් ප්‍රධාන ප්‍රඥප්තියේ 12වන වගන්තිය ප්‍රතියෝජනය කළ අතර 14 වන වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී. ඒ අනුව සංශෝධිත 12 වන වගන්තියේ සඳහන් වන්නේ ජාතික රක්ෂිත භූමියකින් හෝ අභය භූමියකින් පිටත යම් ප්‍රදේශයක් තුළ යම් ඇතෙකු දඩයම් කිරීම, වෙඩිතැබීම, මැරීම, තුවාල කිරීම හෝ අල්ලා ගැනීම කිසිවෙකු විසින් නොකළ යුතු බවයි. ප්‍රඥප්තියේ 22 (අ) උප වගන්තිය අනුව කිසිම කෙනෙකුට අලියෙකු හිමිකර ගත නොහැකි අතර භාරකරු ලෙස පමණක් බලපත්‍ර ලබාගත හැකිය .එහිදී වාර්ෂිකව ගාස්තු ගෙවීමින් බලපත්‍ර අලුත් කරවා ගත යුතුය. නීති විරෝධී අලි රජයට පවරා ගත හැකි අතර වාර්ෂිකව බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ විට ද එම අලි රජයට පවරා ගත හැකිය. ඒ වගේම 2009 සංශෝධන පනතින් 22 (අ) උපවගන්තිය ට තවත් අලූත් උප වගන්තින් 4 ක් හඳුන්වා දෙන ලදී .
(1) ලියා පදිංචි අලියෙක් ගැබ්ගත් බව දැනගත් වහාම ඒ ගැන අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දිය යුතුය.
(2) අලින්ගේ උපතක් ,ගබ්සාවක් හෝ මල පැටියෙක් සිදුවී දින හතක් ඇතුළත ඒ පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දිය යුතුය.
(3) ලියාපදිංචිය අලියෙකු මියගිය විට මළකුණ බැහැර කිරීමට පෙර ඒ පිළිබඳව වාර්තා කළ යුතුය.
(4)ලියාපදිංචි කර නැති අලියෙකු නීතිවිරෝධීව අල්ලාගත් අලි ලෙස අනුමාන කරනු ලබයි. එම අලින් පොදු දේපල සේ සලකනු ලැබේ . එබැවින් 1982 අංක 12 දරන පොදු දේපල වලට එරෙහිව වූ වැරදි පනතේ විධිවිධාන එම අලින් සම්බන්ධයෙන් අදාළ විය යුතුය .
22 (7) උපවගන්තියට අනුව හීලෑ අලියෙකු ලග තබාගැනීමට ලියාපදිංචි බලපත්‍රයක් අවශ්‍ය වේ. 19 වන වගන්තිය අනුව අලියෙකු අපනයනය සඳහා අධ්‍යක්ෂ ජනරාල්ගේ බලපත්‍රයක් ලබාගැනීම අවශ්‍ය වේ. 24 වන වගන්තිය අනුව ඇත්දළ හෝ ඇත්දත් භාරයේ ඇති අය ඒවා ලියාපදිංචි කළ යුතු අතර එසේ නොකර ඒවා ලග තබා ගැනීම නීති විරෝධී වේ .
ප්‍රධාන ප්‍රඥප්තියේ ප්‍රතිපාදන මත බොහෝ කූට ලේඛන මත අලි ජාවාරම ශ්‍රී ලංකාව තුළ සිදුවිය. නමුත් 2009 සංශෝධන පනත හරහා තරමක් එම දුර්වලතා මඟහරවා ගැනීමට සමත් වූ බැවින් එම සංශෝධන පනත සාධනීය පනතක් ලෙස හඳුනාගත හැකි වේ.
© Voice for Climate Change
#අලිඇතුන්