බුත්තල දුටුගැමුණු ජාතික පාසල, වැල්ලවාය මොණරාගල මහා මාර්ගයේ මධ්‍යය වන බුත්තල නගරයෙහි කේන්ද්‍රව පිහිටා ඇත. ඔරලෝසු කණුවෙන් උතුරු දෙසින් පිහිටි බෝධි වෘක්ෂය අසලින් ඇරැඹෙන්නේ පාසල් මාවතයි. වර්තමානයේ දී මෙම පාසල වට කොට සිව් දෙසින් ම වාහන ගමන් කරන මාර්ග පිහිටා ඇති අතර, පාසලෙහි ඉතිහාසය දෙසට මදක් හැරෙමු.
පාසලේ ඉතිහාසය වර්ෂ 1919 දක්වා දිවෙන්නකි. 1919 දී 20' x 20' ප්‍රමාණයේ ගොඩනැගිල්ලකින් (පිදුරු සෙවිලි කළ
) මෙම පාසලෙහි ආරම්භය සනිටුහන් විය. ඒ එවකට බුත්තල ප්‍රදේශයේ මතුවූ පාසලක අවශ්‍යතාවය නිසාවෙයි. ඒ අනුව පිරිමි සිසුන් 25 දෙනෙකුගෙන් "සමභාෂා පිරිමි පාසල" ලෙස ඇරැඹුණු මෙම පාසලෙහි පසු කලක ඇතිවූ ගින්නකින් ඒම පිදුරු සෙවිලි කල පන්ති කාමරය ගිනිබත් විය. ඒ නිසාවෙන් වෙනත් ස්ථානයකට ගෙන ගිය මෙම පාසල පසුව 1922 දී නැවතත් මෙම ස්ථානයේම (වර්තමානයේ පිහිටි ස්ථානයේ ම) ස්ථිර ගොඩනැගිලි සමග පිහිටුවන ලදි.
පාසලේ ආරම්භක විදුහල්පතිතුමන් අලහකෝන් මැතිඳුන් ය.
පාසලේ ඉතිහාසය හැදෑරීමේදී එවකට ලිඛිත මූලාශ්‍ර වල හිඟයක් ඇති අතර, වාචික මූලාශ්‍ර පදනම් කරගෙන මෙතෙක් ගමන් මග හෙළි කෙරුණි. 194 වන දශකයේ සිට ලිඛීත මූලාශ්‍ර දක්නට ඇත.
වර්ෂ1938 දී "සමභාෂා පිරිමි පාසල" - "මිශ්‍ර පාසලක්" බවට පත් කළ අතර ශිෂ්‍ය සංඛ්‍යාව ඒ වන විට සටහන් වූයේ 58 ක් ලෙසිනි.
පාසලේ ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන තවත් සාධකයක් වන ඵලක ඇසුරෙන් ද පාසල පිළිබඳව බොහෝ කරුණු කිව හැකි ය.
බොහෝ කලක් පුරාවට නැටුම් කාමරය ලෙස භාවිතා කළ, වර්තමානයේ ඉංග්‍රීසි මාධ්‍ය ගොඩනැගිල්ලෙහි ඇති ඵලකය, මහසෙන් ශාලා හා නන්දිමිත්‍ර ශාලා වල ඇති ඵලක ආදිය පාසලේ ඉතිහාසයේ දී සිදුවූ වැදගත් වෙනස්කම් පෙන්වා දෙයි.
1948 දී "මිශ්‍ර පාසල" - "කනිෂ්ඨ විද්‍යාලයක්" ලෙසින් උසස් කල බවත්, ඒ සඳහා ඉදි කළ නව ගොඩනැගිල්ල විවෘත කිරීම 1951.03.10 දින නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා අතින් සිදුව ඇති බවත්, එතුමාගේ අත් අකුරින් ලොග් සටහන් පොත් අංක තුන(03) හි තබන ලද සටහනෙන් හා අත්සනෙන් සනාථ කරයි. "බදුල්ල/බුත්තල රජයේ මහා විද්‍යාලය", "මො/බුත්තල ගාමිණී මහා විද්‍යාලය", "මො/දුටුගැමුණු මහා විද්‍යාලය" ලෙසින් විවිධ අවස්ථා වලදී වෙනස් වෙමින් පැමිිණි නාමය 1992.03.01 වන දින "මො/ දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලය" ලෙසින් උසස් කෙරිණි. ඉන් නොබෝ කලක් යන්නට මත්තෙන් 1993.10.20 දින මෙම පාසල "මො/ දුටුගැමුණු ජාතික පාසල" ලෙසට උසස් කරන ලදී.
සංවර්ධනය යනු භෞතික, මානව, මූල්‍යමය, ආධ්‍යාත්මය යනාදී විවිධ පැතිකඩයන්ගෙන් සිදු වන සමස්ථ ක්‍රියාවලියක එකතුවක් වන අතර, පාසලේ සංවර්ධනය ද මෙකී සියලු අයුරින් කලින් කල විවිධ සීඝ්‍රතාවලින් සිදු විය.
භෞතික සංවර්ධනය හා මානව සංවර්ධනය සැලකූ කල, මුල් භාගයේ ඉතා සෙමින් සංවර්ධනය වී ඇති මෙම පාසල වර්තමානය වන විට 2500 ක ට ආසන්න සිසුන් පිරිසක් (ප්‍රාථමික විද්‍යාලය වෙන් කළ පසුව)ද, 130 ක ට ආසන්න ගුරු පිරිසක්ද, 15ක ට අධික අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ද සිටින, දිවයිනේ ප්‍රමුඛ පෙළේ මිශ්‍ර පාසල් අතරින් අනන්‍ය වූ තැනක් හිමිකරගත් විද්‍යාලයකි.
පාසල අද පවතින ස්ථානය දක්වා ගෙන ඒමේදී පාසලේ කටයුතු කල, කරන විදුහල්පතිවරැන් හා ගුරුවරුන් ගේ නොමද කැපවීම අගය කළ යුතු ම ය. පාසලේ සංවර්ධන අවධි වල ස්වර්ණමය යුග කිහිපයක් ඉතිහාසයේ සටහන් වේ. පාසලේ ලොග් සටහන් පොත ඊට සාක්ෂි දරයි.
මෑත කාලීනව වැඩිම කාලයක් පාසලේ විදුහල්පති ධූරය දැරූ විදුහල්පති වරුන් දෙදෙනෙකු ලෙස 1991.09.16 සිට 2010.01.23 දක්වා විදුහල්පතිතුමන් ලෙස විද්‍යාලයට සේවය කළ එම්.ඊ. දයානන්ද මැතිතුමාත්, 2010.04.26 දින සිට මේ දක්වා කටයුතු කරමින් සිටින ආර්.එම්. සෙනෙවිරත්න මැතිතුමාත් නම් කල හැකිය.
දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් අතර ඉදිරියෙන් සිටින පාසලක් ලෙසින් දුටුගැමුණු ජාතික පාසල දැක්විය හැකි අතර, පාසලෙන් බිහිවූ කීර්තිමත් ආදිශිෂ්‍යයින් රැසක් වර්තමානයේ දී විවිධ රැකියා වල නිරත වන අතර ඒ අතර විදුහල්පතිවරු, ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු ආදී විවිධ වෘත්තිකයින් සිටිති.