20/08/2026
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන
ඇසිදිසි විදුමඟ පාසල් නිර්මාණ තරගාවලිය - 2026
පාසල් ශිෂ්‍ය ප්‍රජාවේ මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය සම්බන්ධ නිර්මාණකරණය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ඇසිදිසි විදුමඟ පාසල් නිර්මාණ තරගාවලිය’ සඳහා නිර්මාණ කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.
මෙම තරගාවලිය වඩාත් පුළුල් කරමින් 2026 වර්ෂයේදී තරග 10ක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම තරග කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ හා විවෘත යන වයස් කාණ්ඩවලින් පැවැත්වේ. (ඒ අනුව ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගය හැර අනෙකුත් තරග අදාළ වයස් කාණ්ඩ එකකින් හෝ කිහිපයකින් හෝ පැවැත්වේ.) ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගය පාසල් ගුරුවරුන් සඳහා පමණක් පැවැත්වේ.
කනිෂ්ඨ : 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා
ජ්‍යෙෂ්ඨ : 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා
විවෘත : 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා (ඇතැම් තරග විවෘත කාණ්ඩයෙන් පමණක් පැවැත්වේ.)
මෙම තරග සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පැවැත්වේ. (ඇතැම් තරග සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ද, ඇතැම් තරග භාෂා මාධ්‍යය නොසලකා විවෘත මාධ්‍යයෙන් ද පැවැත්වේ.)
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නියමිත තරගවලට රජයේ / අර්ධ රාජ්‍ය / පෞද්ගලික / ජාත්‍යන්තර පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහභාගී විය හැකි අතර, පාසල් ගුරුවරුන් සඳහා නියමිත ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගයට රජයේ / අර්ධ රාජ්‍ය / පෞද්ගලික / ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන්ට සහභාගි විය හැකිය.
එක් එක් තරග සඳහා ඒ ඒ තරගවලට අදාළ පරිදි වයස් කාණ්ඩ හා භාෂා මාධ්‍යය වශයෙන් වෙන් වෙන්ව ජයග්‍රාහකයන් (ප්‍රථම, දෙවැනි, තෙවැනි ස්ථාන සහ කුසලතා සහතික) තෝරා ගන්නා අතර එම ජයග්‍රාහකයන් සඳහා වටිනා සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමේ.
වැඩි විස්තර සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.
https://dgi.gov.lk/contact/asidisi-vidumaga-school-creative-competition---2026n