29/02/2016
කොළඹ රාජකීය ප්‍රදර්ශනය හා රාජකීය අනාවැකිය
1952 වර්ෂයේ පෙබරවාරි 23 වෙනිදා කොළඹ තුරග තරග පිටියේදී සමාරම්භ වූ කොළඹ කර්මාන්ත ප්‍රදර්ශනය නිදහසින් අනතුරුව මෙරට පැවති සුවිශේෂිතම ප්‍රදර්ශනයයි. ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටිවලින් සමන්විතව මහත් උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද, මෙම ප්‍රදර්ශනය ලක් ජනයා අතර වඩාත් කතාබහට ලක් වූයේ එය විවෘත කිරීම සඳහා එංගලන්තයේ මහ රජුගේ දියණිය එළිසබෙත් කුමරිය මෙරටට පැමිණිමට සිටි බැවිනි. අනපේක්ෂිත අයුරින් එතුමියට ප්‍රදර්ශනය විවෘත කිරීමට මෙරටට ළගාවීමට නොහැකි විය. එවකට දෛවඥයකු විසින් එළිසබෙත් කුමරිය, ලක්දිවට නොඑනා බැවු ස්ථිරව කියා තිබූ බැවින් මෙම සිදුවීමට මහත් ප්‍රචාරයක් හිමි විය.
කොළඹ කර්මාන්ත ප්‍රදර්ශනය පිළිබඳ මතකයන් ජනතාවගෙන් ගිලිහී ගියද කොළඹ මහනගර සභාවට යාබද වට රවුමේ පිහිටුවා තිබෙන සිහිවටනය ඒ පිළිබඳව මතකයන් නිතිපතා අවදි කරවයි.
නිදහසින් අනතුරුව රජයේ ප්‍රතිපත්ති මාලාවෙහි දේශීය කෘෂිකාර්මික සංවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් හිමි වුණි. 1950දී ලක්ෂපාන ජල විදුලි බලාගාරය පිහිටුවීමත් සමඟින් දේශීය කර්මාන්ත අංශයටද නව පනක් ලැබුණි. මෙකල හඳුන්වා දුන් ප්‍රධාන සංවර්ධන වැඩසටහන් දෙකක් වන 1951-1957 හය අවුරුදු සංවර්ධන සැලසුමද , සය අවුරුදු ආයෝජන වැඩසටහනද (1954-1959) කෘෂිකර්මාන්තයට කර්මාන්තවලට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා වැඩි අවධානයක් යොමු කළේය. පෞද්ගලික අංශයද සංවර්ධන ක්‍රියාදාමයෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කෙරිණි.
වර්ෂ 1950 ජනවාරි 9 වෙනිදා කොළඹ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන්ගේ සම්මේලනයේදී, එවකට මුදල් අමාත්‍ය ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් දකුණු හා අගිනිදිග ආසියාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා සුවිශේෂී එකමුතුවක අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. ජයවර්ධන මහතාගේ අදහස පෙරදැරිව වර්ෂ1951 දී කොළඹ ක්‍රමය (Colombo Plan) බිහිවන්නේය.
අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ මඟපෙන්වීම යටතේ කොළඹ ක්‍රමය මඟින් මෙරට ආර්ථිකයට සමාජ සංවර්ධනට අවශ්‍ය ආධාර උපකාර හා විශේෂඥ දැනුම ලබාගැනීම අරමුණු කරගෙන තිබිණි. කොළඹ කර්මාන්ත ප්‍රදර්ශනය සංවිධානය වන්නේ මේ යටතේය. එවකට ලංකාවේ සංවිධානය කරන ලද විශාලතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මෙයයි. කොළඹ ක්‍රමයේ ආරම්භක සාමාජිකයන් වන ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, ඉන්දුනිසියාව, ලාඔසය, මාලදිවයින, පකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, වියට්නාමය යනාදී රටවල ප්‍රදර්ශන කුටිවලින්ද සමන්විත අති දැවැන්ත සැනකෙළියක් බවට පත්විය. හයවන ජෝර්ජ් රජුගේ වැඩිමහල් දියණිය වන එළිසබෙත් කුමරිය විසින් මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමට අදාළ සියලු කටයුතු සූදානම් කර තිබිණි. පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල සංචාරයක නිරත වූ එතුමියගේ දිනපොතෙහි පෙබරවාරි 23 වෙනිදා මෙම විවෘත කිරීම සඳහා සහභාගී වීම ස්ථිර කර තිබූ අතර, ප්‍රදර්ශනය වඩාත් රාජකීය ස්වරෑපයක් ගත්තේ එබැවිණි.කුමරිය සංචාරය යෙදෙන අතරතුර ලංකාවේ නක්ෂත්‍රකරුවෙක් අරුම පුදුම අනාවැකියක් පල කළේය. ඔහුගේ අනාවැකියට අනූව කොළඹ ප්‍රදර්ශනයට එළිසබෙත් කුමරිය නොපැමිණෙයි. සංවිධායක කමිටුව එතුමියගේ පැමිණිම අපේක්ෂාවෙන් සියලු කටයුතු සුදානම් කරයි. පුවත්පත් මාධ්‍ය විසින් මෙම ආරංචිය සඳහා විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නේය. දිනෙන් දින ගතවෙයි. නක්ෂත්‍රකරු පුන පුනා තම මතය ප්‍රකාශ කරයි.
1952 පෙබරවාරි 6 වෙනිදා බ්‍රිතාන්‍යටත් එහි යටත් වැසියන්ටත් අසන්නට ලැබුණේ ඉතාමත් දුක්ඛදායක ආරංචියකි. කිරුල දැරූ හයවන ජොර්ජ් රජු ස්වර්ගස්ත වී තිබුණේය. “එලිසබෙත් කුමරිය බ්‍රිතාන්‍ය රජකමට පත් වෙයි. ලංකාවට එමින් තිබූ රැජින කෙන්යාවේ සිට ආපසු යයි.” 1952 පෙබරවාරි 7 වෙනිදා දිණමිණ පුවත්පත එසේ සඳහන් කර තිබිණි. අනාවැකිය සඵල විය. ඔහු ලෝකයේ අග්‍රගන්‍ය අනාවැකි පල කරන්නෙක් බවට පත් විය.
“විවිධ රටවල් අතර ඇති ආර්ථික තත්වය හා සංස්කෘතිය පිළිඹිබු කෙරෙන කොළඹ ප්‍රදර්ශනය යනුවෙන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ප්‍රචලිත වී ඇති ජත්‍යන්තර මහා ප්‍රදර්ශනය අද පෙ.ව.10.30ට ලංකාවේ ආණ්ඩුකාර තැන්පත් සෝල්බරිසාමි විසින් විවෘත කරනු තබනවා ඇත. 1952 පෙබරවාරි 23 දිණමින ප්‍රදර්ශනය විවෘත කිරීමට සමගාමීව ස්ථාපිත ස්මාරකයේ මෙසේ සඳහන් වේ. මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ ලංකාවේ අග්‍රාමාත්‍ය තැන්පත් අතිගරු ඩී.එස්.සේනානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 1950 ජනවාරි මාසයේදී කොළඹ ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමතිවරුනගේ මහා සම්මේලනය ඉදිරිපත් කළ දකුණු හා අග්නිදිග ආසියාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ඇති වූ කොළඹ ක්‍රමය සම්බන්ධයෙනි.
සංවිධායක මණ්ඩලය
මුදල් ඇමති, ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, මංමාවත් හා කර්මාන්ත ඇමති ගරු සර් ජොන් කොතලාවල මැතිතුමා, ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන ඇමති සර් ඔලිවර් ගුණතිලක මැතිතුමා.
ප්‍රදර්ශනයට සහභාගි වූ ජනසංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම නිසා මාර්තු මාසය දක්වා එය දීර්ඝ කිරීමට සංවිධායක මණ්ඩලයට සිදු විය.
කොළඹ ක්‍රමය ප්‍රදර්ශනය නිමිති කොට ගෙන තැපැල් දෙපාර්තමේන්තුව මඟින් වටිනාකම් ශත 5 හා ශත 15 බැගින් වූ නව තැපැල් මුද්දර දෙකක් 1952 පෙබරවාරි 23 වෙනිදා නිකුත් කරන ලදී.මුද්දරයේ දෙපසින් 1931-1952 වර්ෂද මධ්‍යයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නිරූපනය කරන සෙංකෝලයද කෘෂිකර්මාන්ත හා කාර්මික සංවර්ධනයේ සිතුවමින්ද මුද්දරය සකසා තිබුණි.1931 වර්ෂයෙන් නිරූපනය කරනුයේ සර්වජන ඡන්ද බලය හිමිවීමයි.
ප්‍රදර්ශනයේ සාර්ථකත්වය හමුවේ ලෝකයම ලංකාව ගැන කතා කිරීමට පටන් ගත්තේය.රජ කුමාරියක් වශයෙන් මෙරටට පැමීණිමට බලාපොරොත්තු වූ එලිසබෙත් කුමරිය රැජිනක් වී සිය මව් රටට ගියාය. 1952 මාර්තු 23 රටම හඩවමින් මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් අභාවප්‍රාප්ත වූයේ කොළඹ ක්‍රමය ප්‍රදර්ශනය පටන් ගැනීමේ සිට අවසානය දක්වා ජනතාවට කථා කිරීමට මාතෘකා සපයමිනි.