31/07/2026
🔘 මිතුරු ඇසුරේ සිදුවන අනවශ්‍ය විහිළුවක් නිසා වූ දේ ...
(යොවුන් වියේදී හෝ යහළුවන් අතරේදී "ෆන් එකට" කරන දේවල් තමන්ගේ පරලොව ජීවිතයට අඳුරු සෙවනැල්ලක් වන අයුරු.)....🔺🔺🔺🔺
━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━
බුදුරජාණන් වහන්සේ ජේතවන විහාරයේ වැඩවසන කාලයේ, විශාලා නුවර අම්බසක්ඛර නම් මිථ්‍යාදෘෂ්ටික ලිච්ඡවී රජෙක් රාජ්‍යය කළා. ඔහු කර්මය, කර්මඵලය, පරලොව සහ දන්දීමේ පින පිළිගත්තේ නැහැ.
ඒ දවස්වල විශාලා නුවර එක්තරා වෙළෙන්දෙකුගේ කඩය ඉදිරිපිට මඩ වළක් තිබුණා. එයින් මිනිසුන් බොහෝ දුක් වින්දා. ඒ ගැන කම්පා වූ සිල්වත්, කෝප නොවෙන, මෘදු වචන ඇති වෙළෙන්දා, දුගඳ නැති සුදු ගව හිස්කබල් ගෙනැවිත් මඩ වළට දමා පාර සකස් කළා.
දවසක් මේ වෙළෙන්දා සෙල්ලමට වගේ නාමින් සිටි යහළුවෙකුගේ ඇඳුමක් සඟවා තබා, පසුව ඔහුට දුන්නා. කාලයකට පසු, මොහුගේ බෑණා කෙනෙක් සොරකම් කළ බඩුවගයක් මොහුගේ කඩයේ සඟවා තිබියදී අසුවී, දෙදෙනාම රජු වෙත ඉදිරිපත් කෙරුණා.
රජු වෙළෙන්දාගේ හිස ගසා දැමීමටත්, බෑණාව උල තැබීමටත් නියෝග කළා. මියගිය වෙළෙන්දා භූමාටු දෙවියෙක් වී උපන්නා. ගව හිස්වලින් පාර හැදූ පිනට සුදු දිව්‍ය අශ්වයෙකුත්, ගුණ වර්ණනා කළ පිනට සිරුරෙන් දිව්‍ය සුුවඳත් ලැබුණා. නමුත් අන් අයගේ ඇඳුම සැඟවූ පවට නිරුවත් වුණා. ඔහු තමන්ගේ අතීතය බලා, උල තබා සිටින බෑණා ගැන අනුකම්පාවෙන් අඩරෑට එතැනට ගොස් "පින්වත ජීවත් වෙන්න, ජීවත්වීම ශ්‍රේෂ්ඨයි" කියා දිනපතා කිව්වා.
━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━
දිනක් අම්බසක්ඛර රජු ඇතු පිට යන විට එක්තරා ගෙයක සිටි ලස්සන ස්ත්‍රියක් දැක ඇයට සිත බැඳුනා. ඔහු සේවකයෙකු යවා ඇය විවාහක තැනැත්තියක් බව දැනගත්තා.
ඇයව ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස රජු ඇගේ සැමියාව තමන්ගේ සේවයට ගත්තා. රජුට බියෙන් ඔහු සේවයට ආ පසු, රජු ඔහුට දිනක් කිව්වා, "යොදුන් තුනක් ඈතින් තියෙන පොකුණෙන් අරුණුවන් මැටි සහ රතු උපුල් අදම අරන් වරෙන්, නැත්නම් තොගේ හිස ගසනවා" කියායි.
ඔහු ගිය පසු, හිරු බැසීමට පෙර නගරයේ සියලු දොරටු වසන ලෙස රජු දොරටුපාලයාට නියෝග කළා.
මරණ බියෙන් වේගයෙන් ගිය ඒ පුරුෂයා උදෙන්ම පොකුණ ළඟට ගියා. ඒ පොකුණ ආරක්ෂා කළ අමනුෂ්‍යයා මොහු කෙරෙහි අනුකම්පා කර, අවශ්‍ය මැටි සහ රතු උපුල් ලබා දී අතුරුදහන් වුණා.
ඔහු හිරු බැසීමට පෙර නගර දොරටුව ළඟට ආවත්, දොරටුපාලයා බලෙන්ම දොර වැසුවා.
ඇතුළු වීමට නොහැකි වූ ඔහු, දොරටුව අසල උල තබා සිටි පුරුෂයාට තමන් වේලාවට පැමිණි බවට සාක්ෂි වන ලෙස කිව්වා.
එවිට උල තැබූ පුරුෂයා කිව්වා, "මම මරණයට කැපවූ අයෙක්. රෑට මෙතැනට එන මහා ඍද්ධිමත් ප්‍රේතයාගෙන් සාක්ෂි ඉල්ලන්න" කියායි. මොහු මැදියම් රෑ පැමිණි ඒ ප්‍රේතයාව සාක්ෂිකරු කරගත්තා.
━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━
පසුදා උදේ රජු මොහුට දඬුවම් කිරීමට හදද්දී, තමන් වේලාවට ආ බවත් ඊට සාක්ෂියක් ඇති බවත් ඔහු කිව්වා. රජු ඒ ගැන සෙවීමට රාත්‍රියේ රහසේම එතැනට ගියා. එතැනට ආ ප්‍රේතයා "ජීවත් වෙන්න, ජීවිතය ශ්‍රේෂ්ඨයි" කියනු රජුට ඇසුණා.
රජු ප්‍රේතයාගෙන් ඇසුවා, "කිසිදු සැපයක් නැති, ලෙයින් තැවරුණු, අද හෙට මැරෙන මේ උල තැබූ තැනැත්තාට ජීවත් වෙන්න කියන්නේ ඇයි?" කියා.
ප්‍රේතයා කිව්වා, "මොහු මගේ බෑණා. මොහු මියගියහොත් කළ පව් නිසා මහ නරකයේ උපදිනවා. ඊට වඩා උල උඩ තැවෙමින් හෝ ජීවත් වීම යහපත් නිසයි මම එසේ කිව්වේ" කියා.
ප්‍රේතයාගේ අදහස දැනගත් රජු, ඔහුගෙන් තවත් කරුණු ඇසීමට අවසර ඉල්ලුවා.
ප්‍රේතයාද ඊට කැමති වී රජුට කරුණු පැහැදිලි කිරීමට සූදානම් වුණා.
රජු කිව්වා, "මම ඇසින් දකින දේ විශ්වාස කරනවා. ඔබ කියන දේ මම අදහනවා" කියා. ප්‍රේතයාද රජුට ධර්මය පැහැදිලි කිරීමට එකඟ වුණා.
රජු ඇසුවා, "ඔබ පැමිණි මේ ලස්සන අශ්ව රථය ලැබුණේ කෙසේද?" කියා.
ප්‍රේතයා කිව්වා, "මම පෙර ආත්මයේ මඩ වළක් ගව හිස් දමා පිරවූ පිනෙන් මේ අශ්ව රථය ලැබුණා" කියා.
රජු ඇසුවා, "ඔබේ සිරුර බබළන්නේ සහ සුවඳ විහිදෙන්නේ ඇයි? නමුත් ඔබ නිරුවත් ඇයි?" කියා.
ප්‍රේතයා කිව්වා, "මෘදු ලෙස කතා කළ පිනෙන් සිරුර බබළනවා. ගුණවතුන්ගේ ගුණ කියූ පිනෙන් සුවඳ විහිදෙනවා. යහළුවෙකුගේ ඇඳුමක් සඟවා කළ විහිළුව නිසා මම නිරුවත් වුණා" කියා.
සෙල්ලමට කළ පවටත් මෙසේ දඬුවම් ලැබේ නම්, සොර සිතින් සහ දුෂ්ට සිතින් පව් කරන අය මරණින් පසු නිරයට යන බවත්, පින් කරන අය සුගතියේ උපදින බවත් ප්‍රේතයා පැහැදිලි කළා.
නමුත් රජු කර්මඵල විශ්වාස නොකර වෙනත් සාක්ෂි ඉල්ලුවා.
ප්‍රේතයා කිව්වා, "මිනිසුන් කරන කුසල් අකුසල් අනුවයි දෙව්ලොව, නිරය හෝ උස් පහත් කුලවල උපත ලබන්නේ. දෙවියන් සැප විඳිද්දී, කර්මය නොපිළිගන්නා අඥානයෝ දුකට පත්වෙනවා" කියා.
රජු ඇසුවා, "ඔබ සත්‍ය දන්නේ නම්, තාමත් නිරුවත්ව දුක් විඳින්නේ ඇයි?" කියා. ප්‍රේතයා කිව්වා, "මට පින් අනුමෝදන් කිරීමට නෑයන් නැති නිසා" කියා.
රජු ඇසුවා, "ඔබට වස්ත්‍ර ලබාදීමට මම කුමක් කළ යුතුද?" කියා.
ප්‍රේතයා කිව්වා, "කප්පින නම් රහතන් වහන්සේට මා උදෙසා වස්ත්‍ර පූජා කර පින් අනුමෝදන් කරන්න. එවිට මට වස්ත්‍ර ලැබේවි" කියා.
රජු ඒ හිමියන් වසන තැන ඇසුවා.
ප්‍රේතයා කිව්වා, උන්වහන්සේ 'කපිනච්චානා' ප්‍රදේශයේ වැඩවසන බව.
රජු වහාම ගොස් වස්ත්‍ර පූජා කිරීමට සූදානම් වුණා.
ප්‍රේතයා කිව්වා, "දැන් උන්වහන්සේ දෙවියන්ට බණ කියන වේලාවයි. සුදුසු වේලාවක තනිවම හමුවෙන්න" කියා.
රජු සුදුසු වේලාව බලා වස්ත්‍ර යුගල අටක් ගෙන කප්පින හිමියන් වෙත ගියා.
කප්පින හිමියන් ඇසුවා, "පෙර දන් නොදුන් ඔබ අද මෙසේ දන් දෙන්නේ ඇයි?" කියා. රජු සිදුවූ සියල්ල කියා වස්ත්‍ර පූජා කර ප්‍රේතයාට පින් දුන්නා.
එසැනින් ප්‍රේතයා ලස්සන දිව්‍ය වස්ත්‍ර හැඳ අශ්වයා පිට නැඟී රජු සහ හිමියන් ඉදිරියේ පෙනී සිටියා. කර්මඵල ඇසින් දුටු රජු, තවත් පව් නොකරන බවට තීරණය කළා.
ප්‍රේතයා රජුට ධර්මයේ හැසිරෙන ලෙසත්, උල තබා සිටින පුරුෂයාව නිදහස් කරන ලෙසත් කියා පිටව ගියා.
රජු නගරයට ගොස් රාජ සභාවේ අනුමැතියෙන් උල තබා සිටි පුරුෂයාව නිදහස් කර වෙදකම් කළා.
පසුව කප්පින හිමියන් වෙත ගිය රජු, පව් කළ කෙනෙකුට එයින් මිදිය හැකිදැයි ඇසුවා. උදාර පින්කම් කිරීමෙන් මිදිය හැකි බව කියූ හිමියන්, රජුව තිසරණයේ සහ පන්සිල්හි පිහිටෙව්වා. රජු පසුව සෝවාන් වුණා. සුවපත් වූ අනික් පුරුෂයා මහණ වී රහත් වුණා.
මහා කප්පින හිමියන් සැවැත් නුවරට ගොස් මේ පුවත බුදුරජාණන් වහන්සේට සැලකළා. බුදුරජාණන් වහන්සේ මෙය මුල්කරගෙන ධර්මය දේශනා කළ අතර, එය බොහෝ දෙනාට යහපත පිණිස පැවැතුණා.
අම්බසක්ඛර ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.