12/02/2020
⚠️ අන්තරාය තවමත් පහව නොගිය කොරෝනා
නව කොරෝනා වෛරසයේ උනුසුම ශ්‍රී ලංකාවෙන් කෙමෙන් කෙමෙන් මැකී යන බවක් පෙනෙන්නට තිබෙනවා. මෙරට තුළ නව කොරෝනා වෛරසයෙන් ආසාදිත බවට හඳුනාගත් එකම චීන ජාතික රෝගියා එයින් සම්පූර්ණයෙන්ම සුවය ලැබීමත්, වූහාන් පළාතේ සිරවී සිටි ශ්‍රී ලාංකීය සිසුන් පිරිස යළි දිවයිනට ගෙන්වාගෙන නිරෝධායන ඒකක වල රැඳවීමත්, තව දුරටත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ පිළිබඳව වැඩි අවධානයක් නොදීමත් මීට හේතු වන්නට ඇති.
කොහොම වුණත් ගෝලීය මට්ටමින් නම් මේ ගැටළුව තවමත් විසඳී නැහැ. නව කොරෝනා වෛරසයේ ලෝකය පුරාම සිටින ආසාදිතයන් සංඛ්‍යාව 30,000 ඉක්මවා ගොස් ඇති බව ඊයේ දිනයේදී මාධ්‍ය වල වාර්තා වුණා. මේ අතරින් 630කට අධික සංඛ්‍යාවක් මේ වන විට මිය ගිහින් තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් චීනයෙන් වාර්තා වෙද්දී, ජපානය, තායිලන්තය සහ සිංගප්පූරුව යන රටවල් වලද රෝගීන් 20-30 අතර ප්‍රමාණයක් බැගින් වාර්තා වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ අනතුර තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බවයි.
🛑 නව කොරෝනා වයිරසය කියන තරම් මාරාන්තික ද?
අපි කලින් ලිපියේත් සඳහන් කළා වගේ පසු ගිය දශකයේදී ලෝකයේ පැතිර ගිය සාර්ස් (SARS) සහ ම’ර්ස් (MERS) යන වසංගත දෙකට මුල් වූ වයිරස අයිති වන්නේත් නව වයිරසය අයත් වන කොරෝනා වයිරස පවුලටම බව. සාර්ස් වයිරසයේ මර්ත්‍යතාව, ඒ කියන්නේ වයිරසය ආසාදනය වන මිනිසුන් සංඛ්‍යාවෙන් මිය යන අයගේ ප්‍රතිශතය, 10%ක් පමණ වුණා. ම’ර්ස් වයිරසය සඳහා මේ අගය 37%ක් පමණ ඉහළ අගයක් ගත්තා. ඒත් නව කොරෝනා වයිරසයේ මර්ත්‍යතාවය පවතින්නේ 2%ක් පමණ අඩු මට්ටමකයි.
සාර්ස් රෝගය ශ්‍රී ලංකාව තුළ වසංගතයක් ලෙස පැතිරී ගියා. ඒත් වාසනාවකට ම’ර්ස් රෝගය මෙරට තුළ ඒ තරම් පැතිරී ගියේ නැහැ. නව කොරෝනා වයිරසය ගැන සොයාගෙන තිබෙන විස්තර වලට අනුව එහි පැතිරීමේ හැකියාව සෑහෙන්න වැඩියී. අඩු උෂ්නත්වයක් සහිත, අඩු ආර්ද්‍රතාවයක් සහිත පාරිසරික තත්ව වලදී වයිරසයේ පැතිරීම තවත් වැඩි වෙනවා. හැබැයි අපේ රටේ බොහෝ පළාත් වල පාරිසරික තත්වය මීට වඩා වෙනස්. ඒ නිසා කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම සාපේක්ෂව අඩු ප්‍රවණතාවයක් පෙන්වාවි යැයි විද්වතුන් අපේක්ෂා කරනවා.
🛑 නව කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ
මේ වෛරසය වැළඳුණු අයගෙන් 98%කට විතරම තිබුණු මූලිකම රෝග ලක්ෂණය වුණේ උණයි. ඒ ඇරෙන්නට කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය වගේම පාචනය තත්වයක් විදිහටත් මෙය මතු වෙන්න පුළුවන්. කලාතුරකින් කෙනෙකුට කැස්සත් සමග ලේ පිට වීම සහ මස් පිඬු වල කැක්කුම දකින්න පුළුවන්.
කොහොම වුණත් රෝගීන්ට රෝග ලක්ෂණ පහළ වෙන්නේ වෛරසය ආසාදනය වීමෙන් අඩුම තරමින් සතියකට පමණ පසුවයි. ඒ නිසා මේ සමහර රෝග ලක්ෂණ වෛරසය නිසාම ඇති වන ඒවාද, එහෙම නැත්නම් වෛරසය නිසා අඩපණ වන ප්‍රතිශක්තීකරණ පද්ධතිය මත ක්‍රියා කරන වෙනත් ක්ෂුද්‍ර ජීවීන් විසින් ඇති කරන රෝග ලක්ෂණද කියන එක ගැන තවමත් පැහැදිලි අවබෝධයක් නැහැ.
🛑 කොරෝනාවෙන් බේරෙන හැටි
නව කොරෝනා වෛරසය ඉතා ඉක්මනින් මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ වන බව අපි සඳහන් කළා. ආසාදිත පුද්ගලයෙකුගේ නාසයෙන් හා මුවින් පිට වන කෙළ බිඳිති සහ ස්‍රාවයන් මගින් මේ වෛරස පරිසරයට මුදා හැරෙනවා. ඒ මුදා හැරෙන වෛරස වෙනත් කෙනෙකුගේ නාස් මාර්ගය තුළට ඇතුළු වීමෙන් බොහොම පහසුවෙන් ඒ පුද්ගලයාටත් වෛරසය ආසාදනය වෙන්න පුළුවන්. වැඩිපුර සෙනග ගැවසෙන ස්ථාන වලට යන විට මුඛ ආවරණ පළඳින්න කියලා චීන රජය දැනුවත් කරලා තියෙන්නේ ඒ නිසායි. හැබැයි ශ්‍රී ලංකාව තුළ මේ වෛරසයේ සම්ප්‍රේෂණය ඒ තරම් ලොකුවට සිදු වුණේ නැති නිසා අපේ රටේ එහෙම ආරක්ෂක පියවර ගැනීමේ අවශ්‍යතාවයක් මතු වුණේ නැහැ.
නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණ භාවිතා කරනවාට වඩා නිතර සබන් ගා අත සේදීම වැදගත් බව පසු ගිය කාලයේ මාධ්‍ය වල සඳහන් වුණා. මේක ඇත්ත කතාවක්. ආසාදිතයන් ඇතුළු අපි හැමෝම අවට පරිසරය ස්පර්ශ කරන්නේ අපේ අත් වලින්. ඉන්පස්සේ අපි නොදැනුවත්වම ඒ අත් වලින්ම අපේ මුහුණ, කට, නාසය ස්පර්ශ කරනවා. ඉතින් රෝගීන්ගෙන් නාස් මාර්ගයෙන් පිට වී අවට පරිසරයේ බඩු බාහිරාදිය මත තැන්පත් වෙලා තියෙන වෛරස අංශු බොහොම පහසුවෙන් ඒ හරහා අපේ නාස් මාර්ගයට ඇතුළු වෙන්න පුළුවන්. මුඛ ආවරණයෙන් අපිට ආරක්ෂාව සැළසෙන්නේ රෝගියා අසළදී වුණාට නිතර අත සේදීමෙන් අපට රෝගීන් දැනට නැති, ඒත් වෛරසය තියෙන පරිසරයක පවා ආරක්ෂා වීමට සළස්වනවා.
නව කොරෝනා වයිරසයේ බාහිර ප්‍රෝටීනමය ආවරණයට පිටතින් ලිපිඩ වලින් තැනුණු ස්ථරයක් තියෙනවා. මේ නිසා සබන් යොදා සේදීමේදී පහසුවෙන් වයිරසය අදාළ පෘෂ්ඨයෙන් ඉවත් වී යනවා. වයිරසය ශරීර ගත වීමෙන් වළකින්න නම් සෑම විටම සබන් යොදා අත් සේදීම වැදගත් කියන්නේ අන්න ඒ නිසායි.
චීනයෙන් එන පාර්සල් සහ ලියුම් වලින් වෛරසය ආසාදනය වේවි යැයි අනියත බියක් ඇති කරගන්නට අවශ්‍ය නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා තිබෙනවා. මොකද අජීවී පරිසරය තුළ පැය කිහිපයකට වඩා නොනැසී රැඳී ඉන්න මේ වෛරසයට හැකියාවක් නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් ගෙදර දොරේ භාවිතා වන විෂබීජ නාශක දියර වලින් මේ වෛරසය විනාශ කරන්න පහසුවෙන්ම පුළුවන්.
🛑 කොරෝනාවට ප්‍රතිකාර තියෙනවාද?
නව කොරෝනා වෛරස රෝගයට ප්‍රතිකාර කළ හැකි ඖෂධයක් තවමත් සොයාගෙන නැහැ. මෙය වෛරස රෝගයක් නිසා, ඊට එරෙහිව ප්‍රතිජීවක (antibiotics) භාවිතා කිරීමෙන් ඵලක් නැහැ. ඒත් බොහෝමයක් වෛරස රෝග වගේම මේ රෝගයත් අපේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ සඳහා අවශ්‍ය ප්‍රතිදේහ (antibodies) නිපදවා ගැනීමට ශරීරයට ටික කාලයක් ගත වෙනවා. ඒ කාලය අතරතුර අපේ ශරීරය අතිශය දුර්වල වුණොත් අපිව රෝගය නිසා මිය යන්නට පුළුවන්.
මේ නිසා වෛද්‍යවරුන්ගේ කාර්යය වන්නේ ශරීරය විසින් ප්‍රතිදේහ නිපදවාගෙන වෛරසය මර්දනය කරන තුරු ශරීරය දුර්වල වෙන්නට නොදී, වෙනත් ආසාදන වලින් ආරක්ෂා කරගෙන මේ ක්‍රියාවලියට සහාය සැළසීමයි. (ඩෙංගු වැනි වෛරස රෝග වලදී කෙරෙන්නේත් මේ වගේ දෙයක්) වයසක පුද්ගලයන්, කුඩා දරුවන් සහ වෙනත් රෝග වලින් පෙළෙන්නන් මේ රෝගය නිසා වැඩිපුර මිය යාමට හේතු වන්නේ මේ කාලය තුළ නොසැලී ජීවත් වීමට ඔවුන්ගේ ශරීර වලට නොහැකි වන නිසායි.
කොරෝනා වෛරසය ආසාදනය වීම වැළක්වීම සඳහා ප්‍රතිශක්තීකරණ එන්නතක් නිපදවීම සඳහා මේ වන විට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. චීන විද්‍යාඥයන් විසින් වෛරසයේ ජාන අනුපිළිවෙල ප්‍රකාශයට පත් කිරීමත් සමග ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් ඊට එන්නතක් නිපදවීම සඳහා අඩිතාලම නිර්මාණය කළා. නමුත් මේ එන්නත පළමුව සතුන් සහ දෙවනුව මිනිසුන් යොදාගෙන පර්යේෂණ වලට ලක් කරලා, ආරක්ෂාකාරී එන්නතක් ලෙස වෙළඳ පොළට එන්නට මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්.
සුදු ළුුණු, මුව සෝදන දියර, නියුමෝනියාව වැනි වෙනත් රෝග වලට ලබා දෙන ප්‍රතිශක්තීකරණ එන්නත්, තල තෙල් වැනි සාම්ප්‍රදායික ඖෂධ වලින් මේ වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ලැබෙන්නේ නැතිබව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබුණා.
මේ වැනි වසංගත තත්වයක් පිළිබඳව වාර්තා කරන විට සැම විටම නිවැරදි තොරතුරු වාර්තා කිරීමට ප්‍රධාන ධාරාවේ වගේම සමාජ මාධ්‍ය වලටත් වගකීමක් තියෙනවා. ඒ වගේම ඒ පුවත් කියවන කොට දුටු පමණින්ම විශ්වාස නොකර ටිකක් විමසලා බලලා ඒවා විශ්වාස කරන්නට මහ ජනතාවටත් වගකීමක් තියෙනවා.
අද ලිපියට මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධාන නිල වෙබ් අඩවියෙන් සහ ශ්‍රී ලංකා වෛද්‍යසංගමය විසින් පසුගියදා පැවැත්වූ දේශනයක් ඇසුරින්
උපුටා ගැනීම Science සිංහලෙන් Facebook පිටුවෙන්