18/10/2025
පොඩි දෙන්නට පොල් රොටී හැදුවා උදේ කෑමට, ඒ දෙන්නටත් මං පුංචි කාලෙ ආසා විදියට රොටී කන්න කියලා දුන්නා. අසනීපෙන් නිසා මොනා හරි කවා ගන්න මං මාර උත්සාහයක් ගන්නෙ. දුවට කිසිම රසක් නෑලු, හෙම්බිරිස්සා-කැස්ස.
අපි පුංච් කාලෙ, හැම ඉරිදාම නොවුනට ගොඩක් වෙලාවලට ඉරිදා උදේට තමා උදේ වේලට බත් නොකන්නෙ. ඒ එක දවසක හරි වෙල් ඉස්මත්තෙනුන් එපිටටත් සුවඳ බෙදන් යන විධියට කැන්ද කොළ දෙකකට මැදි කරලා, අම්මා රොටි පුච්චලා ගන්නවා. කැන්ද කොල කඩා ගන්න බැරි වෙන්නනම් ඉතින් හොඳ වැස්ස්ක් පවතින්නම ඕනි, එක්කො රෑ පුරාම වැහැලා තෙත බරිය එක්ක තාමත් ලොකුවට මඩ ගතියක් පොළොවෙ තියෙන්න ඕන. නැත්නම් ඔය ඉබේ හැදෙන ගහ කොළෙනුත් අපිට අඩුවක් තිබ්බෙ නෑ. කැන්ද කොළ නැතිමනම් පොඩි කෙසෙල් කොළ දෙකකට මැදි කරලා තමයි රොටිය හදන්නෙ. මං ආසම ඔය දෙවිදියෙන්ම තැටිය උඩ රොටිය පිච්චෙද්දි ලිපෙන් එන දුමට එක්වුන ඒ පත්‍ර කර වෙන සුවඳ විඳින්න. කෙසෙල් කොළ කඩා ගන්න දුරක දුවන්න ඕනි උනේම නෑ, කුස්සියේ පඩියෙන් අඩි දෙකට වැස්සක උනත් පොඩ්ඩක් තෙමිලා කඩා ගන්න පුළුවන්. ඒකත් ගහට හානි නොවෙන්න, කහත් දුඹුරුත් මිශ්‍රව ටිකක් වියපත් නිසා පහළට පාත්ව වැටුන කෙසෙල් අත්තකින් තමයි ඉතින් බොහෝ වෙලාවට. මට කියලා කඩා ගන්න ගියොත් ටිකක් වෙලා ගියා, මොකද කෙසෙල් කොළේ ඉහළ ඉඳ්න් පහලට ඉරනවට වඩා පහළ ඉඳන් ඉහළට ඉරලා ගන්න ඕනි කියලා අත්දැකීමෙන්ම ඉගෙන ගන්න කල් ගියා.
අපෙ ගෙවල් වල ඉදුනු කෙහෙල් කැනක් ඉතින් ඔය මුල්ලක ගෝනියක් උඩින් කොයි වෙලෙත් තිබ්බෙ අපිට කන්නම ඕනි නිසා නෙමේ, පාඩු නැති මුදලකට විකුණ ගන්න බැරි නිසා. මං නම් ඔය ඇඹුල් කෙසෙල් සුවඳ තියෙන අහලකවත් ඉන්න කැමති නෑ. පුච්ච ගන්න උදවු කර ගත්තු බාගෙට කර උනු කොළෙත් දර ලිපට දාලා, ඒකෙන් එක වරම රන්වන්ව ලිපෙන් එන ගිනි දැල්ලත් බලන්, දෙකට කැඩුවම දුමක් වගේ ඉහළට ඇදෙන රස්නෙන්ම රොටි සුවඳයි, දුම් සුවඳයි දෙකම විඳන් අම්මා ගාවම ඉඳන් හකුරු කෑල්ලක් එක්ක රොටී කන එක කළේ පුරුද්දට නෙවේ. ඒත් ඒ විඳපු පුංචි කාලෙ ගැන තියෙන මතක සුන්දරයි, මං හදන රොටි වලින් ඒසුවඳ නැතත් මගෙ දරුවන්ටත් දිනක අම්මගෙ රොටි ගැන මතකයක් තියෙයි.
#සතිඅග