28/09/2025
"දැන් ඉතින් අතාරින්නත් බෑ අල්ලගෙන ඉන්නත් බෑ. හරියට වලිගය අල්ලා ගත්තා වගෙයි."
මේ කියමන දිහා ඕන පැත්තකින් බලන්න පුලුවනි. පවත්වාගෙන යාමටත් නොහැකි, අත්හරින්ටත් බැරි වැඩකට සම්බන්ධ වීම ගැන කියවෙන පිරුළකි.
ආදි කාලේ මිනිසුන් දෙදෙනෙක් කැලයක් මැදින් යද්දී, ගසක මුලක් අස්සෙන් දමාගත් වල්ගය ඇතිව නිදන කොටියකු දක්නට ලැබිණ.මිනිසුන් දෙදෙනා අතරින් එකෙක් කොටි වල්ගය තරයේ අල්ලාගෙන ඔහු අත තිබුණු කෙටේරියෙන් කොටියාට පහර දෙන ලෙස අනෙකාට කීය.
” කොටියා දිහා බලනකොට මට අපේ මාමාව මතක් වුණා.මූ හරියටම අපේ මාමා වගේමයි. මට නම් බෑ මූ මරන්න ” යනුවෙන් දෙවැන්නා යෝජනාවට එකඟ නොවූයේ ය.
” එහෙනම් කෙටේරිය මා අතට දියන්, වල්ගය උඹ අල්ල ගනින්” යයි කියා කොටි වල්ගය අල්ලා ගැනීම දෙවැන්නාට බාර කොට පළමුවැන්නා කෙටේරිය අතට ගෙන,
” ඉතින් මාමලා බෑණලා ඕනැ එකක් කර ගනිල්ලා ” යයි කියම්න් යන්න ගියේය.
- රෝහණ බැද්දගේ -
_________________
ප්‍රස්ථාව පිරුළු යනුවෙන් අප හඳුන්වන්නේ තැනට ගැලපෙන ආකාරයට විවිධ අවස්ථාවන්හිදී විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් යොදා ගැනීමයි. මෙය යම් විටෙක උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගැනීම දැකගත හැකිය. මේ නිසා සිදුවන්නේ භාෂාවේ රසය ඉහළ යාමයි. ලෝකයේ දියුණු භාෂාවල ලක්ෂණයක් නම් විවිධ අර්ථ රසවත්ව ඉදිරිපත් කිරීමට ඇති හැකියාවයි.
ප්‍රස්තාව යනු අවස්ථාවයි. වෙලාවයි. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ ප්‍රස්තාව යන්නට අවස්ථාව, වෙලාව අධිකාරිය, පටන් ගැන්ම ‘විවාහය’ යන අර්ථ ද දී තිබෙන අතර, පිරිවුඵ (පාරිවට්ට) යන්නට ඒ වෙලාවට පමණක් ප්‍රයෝජනය ගෙන පසුව හිමියාට භාරදෙනු පිණිස ඉල්ලාගත් දෙය (තාවකාලික දෙයක්) ලෙස පැහැදිලි කර තිබේ. මේ අනුව බලන විට සුදුසු අවස්ථාවට ප්‍රයෝජන ලබාගැනීම සඳහා අනුන්ගෙන් ලබාගත් වැකි යන්න ප්‍රස්තාව පිරුළු යන්න සුදුසුම ආසන්න අර්ථය බව දැක්වීමට පුළුවන.
යම් වචනයක හෝ වාක්‍යයක අර්ථය වඩාත් කැපී පෙනෙන පරිදි ඉස්මතු කර දැක්වීමට සිංහල සම්ප්‍රදායේ යම් යම් යෙදුම් යොදා ගනී. මේවා යුගල පද, ඉඟි වැකි, ප්‍රස්තාව පිරුළු වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එදා සිංහලයා මෙන්ම අද සිංහලයා ද මේ ප්‍රස්තාව පිරුළු උපයෝගී කරගනිමින් තමන්ගේ අදහස වඩාත් කැපී පෙනෙන පරිදිත් වඩාත් අලංකාරවත් වන පරිදිත් අදහස් ඉදිරිපත් කිරීමට යොදා ගනී. ජාතක පොත් වහන්සේ, සද්ධර්ම රත්නාවලිය ඇතුළු සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවල ද පිරුළු බහුලය. මෙම ප්‍රස්තාව පිරුළු ලේඛනයේදී මෙන්ම ව්‍යවහාරයේදීත් එක සේ භාවිත කළ හැකිය
මේ ගැන කතා කිරීමට මම සිංහල පිරුළු කෝෂය කෘතියේ කතුවර රෝහණ බැද්දගේ ඇමතුවෙමි:
“සමහර පැරණි සිංහල පොත්වලත් පිරුළු බහුලව අඩංගුයි. මට සිංහල පිරුළු ගැන හොයන්න හිතුණේ ඒවායේ රසවත් බව වර්තමාන පරපුරට කියා දීමටයි. සිංහල පිරුළු කෝෂය කියන නම මට යෝජනා කළේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ නායක හාමුදුරුවෝ. ආචාර්ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ. මෙහි ආකාරාදි පිළිවෙලට පිරුළු ඇතුළත් කර තිබෙනවා. දැන් පරම්පරාවට පිරුළු ගැන උනන්දුවක් නෑ. ඔවුන්ටත් මේ පොතෙන් ලොකු දැනුමක් ලබාගන්න පුළුවන්.
පිරුළු කියමන් අතර කොතැනින් බැලුවත් හමුවන්නේ අගනා රසවත් කියමන්. ගෘංගාරය, කරුණාව, හාස්‍යය ආදී නොයෙක් රස භාවයන් එහි පිරී පවතිනවා. සමහර පිරුළකින් දිග කතන්දරයක් කෙටි කර අපට පවසනවා. අපේ ලේඛකයන් කිහිප දෙනකුම පිරුළු ගැන මෙයට පෙර උනන්දු වී තිබෙනවා. ටී.ඇස්. ධර්මබන්ධු විසින් පිරුළු මිණ නමින් ග්‍රන්ථයක් ලිව්වා. ඩේවිඩ් කරුණාරත්න ලියූ සිංහල සාහිත්‍ය විශ්වකෝෂයෙත් පිරුළු රාශියක් ඇතුළත් වෙනවා.”
අපේ පුරාණ ලේඛකයන් පිරුළුවලට දැක්වූ උනන්දුව සද්ධර්මාලංකාරය, බුත්සරණ, සුභාෂිතය, ලෝවැඩ සඟරාව, කාව්‍යශේඛරය ආදී ග්‍රන්ථවලින්ද හෙළි වේ. වර්තමාන සමාජයේ බහුතරයක් දෙනා මේ කෘති සුදු ද කළු ද කියාවත් නොදැන සිටීම කනගාටුවකි. අද සමහරු පොතක් කියවන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් එබී බලන්නා සේ ය.
මේ පොත ගැන ප්‍රස්තාවනාවක් සපයන ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ පවසති:
“පිරුළු භාවිතයෙන් භාෂාව විචිත්‍රවත් වෙයි. භාෂාවේ ඕජෝ ගුණය වැඩෙයි. ප්‍රකාශකයාගේ පාණ්ඩිත්‍යය ප්‍රකට කෙරෙයි. භාෂාවෙහි අර්ථ ප්‍රතීතිය වැඩිදියුණු වෙයි.
බැද්දගේ මහතා මෙහිලා අකාරාදි පිළිවෙලින් පිරුළු පෙළගස්වයි. එබැවින් එය කෝෂ ග්‍රන්ථ ගණයට ගැනෙන කෘතියකි. තමා ඇසූ දුටු පිරුළු දහස් ගණනක එකතුවෙන් සිංහල පිරුළු කෝෂය මැයෙන් එතුමන් අතින් ඉදිරිපත් වන මෙම කෘතිය සිංහල පිරුළු පිළිබඳව මෙතෙක් කර ඇති විශාලතම එකතුව විය හැකිය. මෙය භාෂාව හදාරණ ආධුනිකයන්ට මෙන්ම භාෂා පර්‌යේෂකයන්ට ද ඉතා වැදගත් කෘතියකි. අනූ වියට පා තබා තිබියදීත් මෙවන් ශාස්ත්‍රීය සේවාවක් ඉටුකිරීමට තරම් ආත්ම විශ්වාසය හා කැපවීමක් පැවතීම එතුමන්ගේ සුවිශේෂී ලක්ෂණයකි.
රෝහණ බැද්දගේ ශූරීහු ගරුමිකමින් ද කවිකමින් ද භාෂා පටුත්වයෙන් ද සාහිත්‍ය නිසේවනයෙන් ද සමාජ සංස්පර්කයෙන් ද පරිකල්පන ශක්තියෙන් ද ...... කුළුගන්වන ලද පිරිපුන් ජීවිත පරිඥානයකින් යුත් අසීමිත චරිතයකි.”
රෝහණ බැද්දගේ තම පොත ගැන මෙසේ ද සඳහන් කළේය:
“සිංහල පිරුළු කෝෂය පොත පිරුළු කියවා රසවින්දනය සඳහා පමණක් නොව ජීවිත පරිණතිය උදෙසා වැදගත් වන උපදේශ ග්‍රන්ථයක් ලෙසත් සලකන්න පුළුවන්. අනාදිමත් කාලයක පටන් අපේ සිංහල ජනතාව කඩපාඩමින් රැගෙන ආ ජන කවියෙන් කී උපමා උපදෙස් හා පිරුළු ඇතුළත් රසවත් කියුම් ගැන ද මෙහි සඳහන් කර තිබෙනවා.”
මේ පොතේ බස්වහර රසවත්ය. සරලය. පිරුළුවල අර්ථය දැක්වීමේදී ජන කතා, ශ්ලෝක, ජන කවි, සම්භාව්‍ය කෘතිවල කවි ආදියත් දැක්වීමෙන් කෘතියේ රසය ඔප්නංවා තිබේ.
කුසුම්සිරි විජයවර්ධන