18/09/2021
ප්‍රතිඵල වෙනස් කරන්න, ඇතුලෙන් පුපුරන්න
>>
අපි හැමෝම කැමතියි සාර්ථක මිනිසුන් බවට පත් වෙන්න. කවු ද අකමැති පන්තියේ පලමු වැනියා බවට පත් වෙන්න. කවුරු හරි ඉන්න පුළුවන් ද ආයතනයේ හොදම සේවකයා ලෙස හාම්පුතුන් විසින් හදුනා ගන්නවාට අකමැති ? ව්‍යාපාරයක් කලත්, ඒක කරන්න ඕනේ කිසිවෙකුට දෙවැනි නොවෙන්න. අපි හැමෝටම ඕනේ Average එහෙම නැත්නම් සාමාන්‍ය මිනිසුන් ලෙස අපේ කතාව නිම කරන්න නෙවෙයි. අපිට උවමනාව තියෙන්නේ පිරිසක් අතර සුවිශේෂි කෙනෙක් වෙන්න. ඒත් හැමෝම පන්තියේ පලවෙනියා වෙන්න උත්සාහ කලාට හැමෝටම පලවෙනියා වෙන්න බෑ. ඒක ගෞරවය හිමිවෙන්නේ පන්තියේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා විතරයි. රැකියා ආයතනයක වුණත් හොදම සේවකයා විදියට තෝරා ගන්නේ බොහෝ විට එක සේවකයෙක් පමණයි. මේ ලිපිය කියවන ඔබටත් ජීවිතේ පසුතැවීම් තියෙන්න පුළුවන් ලෝකය ඔබට සලකන ආකාරය ගැන. ඔබ පන්තියේ පහු බැහැලා නම්, ඔබ අදක්ෂයෙක් විදියට හංවඩු ගැහිලා ඉන්න පුළුවන්. රැකියා ස්ථානයේ දි ඔබගේ දක්ෂතා පවතින්නේ දුර්වල මට්ටමක නම්, ඔබ වගකීමක් භාර දෙන්න බැරි කෙනෙක් විදියට පරිපාලනය විසින් හදුනාගෙන ඉන්න පුළුවන්. ඔබ ව්‍යාපාරයක් කරලා එතරම් සාර්ථකත්වයක් නැතිනම්, අල්ලපු කඩේ මනුස්සයා ඔබට වඩා වේගයෙන් ඉස්සරහට යනවා පේනවා නම්, ඔබ ඇත්තටම මනසින් බිදිලා ඉන්න පුළුවන්. එහෙනම් අද අපි මේ කියන දේ වඩාත් වැදගත් වෙන්නේ ඔබට.
ඔබ පහුබැහැලා නම් ඒකේ අදහස ඔබ නරකයි කියන එක නොවෙයි. පලවෙනියා නොවෙන, හොදම සේවකයා නොවෙන කිසිවෙක්, පලමුවැනියා විමට නුසුදුස්සන් නොවෙයි. ඇත්තම කතාව ඔබට වඩා අනාගතය දකින, සැලසුම් තනන මිනිසුන්ට ඔබ පරාජය වෙනවා විනා, මේකෙන් කියවෙන්නේ යම් දිනෙක ඔබට ඔවුන් අබිබවා යාමට නොහැකි බව නොවෙයි. හැබැයි ඒ වෙනස ඇති කරන්න පුළුවන් ද? වෙනස ඇති කරන්න පටන් ගන්නේ කොතැනින් ද කියන එකයි බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නය. ලෝකයේ විශිෂ්ඨ මිනිසුන් කියන්නේ කාට ද? ඔවුන්ගේ විශිෂ්ඨත්වය උපතින් අරන් ආපු එකක් ද? කිසිසේත්ම නෑ. අසාමාන්‍ය අභියෝගයන්ට මුහුණ දීලා ජයගත්තු මිනිස්සුන්ටයි අපි විශිෂ්ඨයෝ කියන්නේ. ඒ ශක්තිය ඔවුන්ට ආවේ කොහෙන් ද? ඒක ආවේ ඔවුන්ගේම ඇතුලතින්.
අපි ඔබට ඇතුලතින් පුපුරන්න කියන්නේ ඇයි? හරිම සරළයි. බිත්තරයක් උදාහරණයකට ගත්තොත්, ඒකට පිටතින් පහර දුන්නොත් වෙන්නේ බිත්තරය ඇතුලේ තියෙන ජීවය විනාශ වෙන එක. හැබැයි ඒක ඇතුලතින් පුපුරණවා නම් ඒකේ අදහස කුමක් ද? ජීවයක් උපත ලබනවා කියන එක. ජීවිතේ දි අපේ හැකියාවන් උපයෝගී කරගනිමින් නැගිටිනවා කියන්නෙත් මේ හා සමාන සංසිද්ධියක්. බාහිර ලෝකයේ උපකාර මත පමණක් යැපෙමින් අපි නැගිටින්න හදනවා නම් අපි ඇතුලේ තියෙන ශක්තිය අපිට කවදාවත් වටහාගන්න ලැබෙන්නේ නෑ. නමුත් අපි ඇතුලෙන් උත්සාහ ගන්නවා කියලා කියන්නේ අපේ ඇතුලේ තියෙන ජීවය අපි හදුනා ගන්නවා කියන එක. මිනිස්සු උදව් අරගෙන ජීවිතය ජය ගන්න හදන හැම වෙලාවකම ඇතුලේ තියෙන ශක්තිය සැඟවෙනවා. නමුත් තනිව නැගී සිටින්න උත්සාහ කරන සෑම විටෙකම ඇතුලේ තියෙන ශක්තිය හඳුනා ගන්නවා. තමන් හිසට තම අතමය සෙවණැල්ල නම් ඔබගේ ශක්තියම ඔබව රැක ගැනීමට ඔබ යොදා ගන්නවා.
මේ කතාවට වඩාත් සාධාරණයක් එක් කරන්න මම තෝරා ගන්නේ බල්ගේරියාවේ දරුවෙක්ව. ඔහු නමින් නායිම් සුලෙයිමනොව්ග්ලු. ඔහු අනික් අයට වඩා ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා දරුවෙක්. මේ නිසාම නායිම් බොහෝ සෙයින් කුඩා කාලයේ දී සද්ධන්ත බල්ගේරියානු ළමයි ඉදිරියේ පීඩාවට පත් කෙරෙනවා. කොට ජීවිතයක්. ඔහු ඇත්තටම හිටියේ ඇතුලතින් බිද වැටිලා. ඊට අමතරව ඔහු තුර්කි සම්භවයකින් පැවත එන්නෙක් වීම ගැටළුව දෙගුණ තෙගුණ කලා. නායිම්ගේ යොවුන් කාලේ එළඹෙද්දී, ඒ කිව්වේ 1980 විතර කාලේ දි බල්ගේරියානු ආණ්ඩුව තුර්කි සම්භවයක් සහිත මිනිසුන්ට තරමක් වෙනස්කම් කරන කාලේ. තුර්කි කොටා ලෙස යහළුවන්ගේ උසුළු විසුළුවලට ගොදුරු වූ නායිම්ට තිබ්බේ මේ එල්ලවන අපහාස මකාලීමට නම් තමන් ඇතුලෙන්ම ඊට පිලිතුරක් සොයා ගැනීමේ බරපතල උවමනාවක්. නායිම් මේ සඳහා තෝරා ගන්නේ බර ඉසිලීමේ ක්‍රීඩාව. මිටි අයට බර එසැවීමේ දී ලැබෙන විශේෂ වාසියක් තිබෙනවා. ඒ පොලවේ සිට කිසියම් බරක් ඉහලට ඔසවද්දි ඔවුන්ට ඒක අරගෙන යන්න වෙන්නේ උස ක්‍රීඩකයෙකුට වඩා අඩු දුර ප්‍රමාණයක්. නායිම් නැගිට්ටේ තමන්ගේ තිබ්බ දුර්වලකම ශක්තියක් බවට පත් කරගනිමින්. 1988, 92, 96 ඔලිම්පික් තරගාවලි තුනේදීම ඔහු තුර්කිය නියෝජනය කරමින් පිට පිටම රන් පදක්කම් 03 ක් දිනුවා. 1987 වසරේ ඉදන් සෑම දෙවසරකටම වරක් ඔහු ලෝක ශූරතාවයේ රන් පදක්කම පස් වතාවක් ම දිනුවා. තමන්ගේම ලෝක වාර්තා 46 වතාවක් බිද දැමුවා. නායිම්ගේ පිපිරීම ඇතිවුණේ ඇතුලෙන්. ඒ පිපිරීම තමන්ට අතුල් පාරක් ගහපු බල්ගේරියාවට කනේ පහරක් කරන්න නායිම්ට හැකිවුණා.
ඔබටත් වෙනසක් කරන්න නම් වෙනස් වෙන්න ඕනේ ඇතුලෙන් නායිම් වගේ. බාහිර ලෝකයෙන් ඔබට එන ඇනුම් බැනුම්, අපවාද සියල්ල පවතින්නේ ඔබ වෙනස් වෙනතාක් පමණයි. ඔබගේ දෙමව්පියන් ඔබ අධ්‍යාපනයට උනන්දු නොවන දරුවක් බවට චෝදනා කරනවානම්, ඔබ අධ්‍යාපනයට උනන්දු වනතෙක් ඒ චෝදනාව පවතිනවා. ඔබ නොසැලකිලිමත් සේවකයෙක් බව චෝදනාව නම්, ඔබ නොසැලකිලිමත් වනතෙක් එම චෝදනාව පවතිනවා. ඔබ අදක්ෂයි කියලා කිසිවෙක් කියනවා නම්, ඔබ ඔබව පුහුණුවේ නොයොදවන තෙක් ඔබ අදක්ෂයෙකු ලෙසම පවතිනවා. ඒ නිසා ලෝකයෙන් එන ලේබල් භාර ගන්නව ද නැද්ද කියලා තීරණය කල යුතුව තිබෙන්නේ ඔබ විසින්මයි. ඔබ දෙමව්පියන්ගෙන්, ආයතන ප්‍රධානීන්ගෙන්, හිත මිතුරන්ගෙන් උනත් හොදක් අහන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබගේ වෙනස ඔවුන්ට දැනෙන්නට ඕනේ. කෙනෙක් කියන්න පුළුවන් කොච්චර හොදට කලත් මේ අයගෙන් නම් හොදක් නෑ කියලා. ඒත් හිතන්න, හොදින් වැඩ කරද්දිත් කෙනෙක් බොරුවට දෝෂාරෝපණය කරන එක උනත්, කල හැකි සීමාවක් තිබෙනවා.
ඒ නිසා ඇතුලතින් පුපුරන්න. ජවහර්ලාල් නේරු, ඉන්දියාවේ හිටපු අගමැතිවරයා කියනවා වරක් ඔබව පරාජය කරන්න පුළුවන් ඔබගේ පරමාදර්ශ සහ අරමුණු ඔබටම අමතක උනොත් විතරයි කියලා. අද පටන් ඇතුලතින් වෙනස් වෙන්න. මතක තියා ගන්න. කිසිවෙකුට ඔබ පරදවන්න බෑ. ඔබ පරදින්නේ, ඔබට වෙනස් වෙන්න ඕනේ බව ඔබටම අමතක උනොත් විතරයි. ඒ නිසා ඇතුලතින් පුපුරන්න. සුබ දවසක්.
භාතිය අර්ථනායක
අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු.