17/04/2026
අද කාලේ සෝෂල් මීඩියා පැත්තේ පොඩ්ඩක් රවුමක් ගැහුවොත්, නැත්නම් යාළුවෙක් එක්ක සෙට් වුණොත් අනිවාර්යයෙන්ම ඇහෙන දෙයක් තමයි මේක.
"අරයට කෙනෙක් ඉද්දිත් තව කෙනෙක් එක්කත් ඉන්නවලු", "අරූ බැඳලා ළමයිනුත් ඉඳගෙන අර කෙල්ලත් එක්ක වටරවුම් ගහනවාලු." වටේ යනව ලු...
ලව් කරද්දි නම් මේක ගොඩක් අයට වෙනවා...
හොඳටම ආදරේ කරන, ලස්සන පවුල් ජීවිත ගත කරන මිනිස්සු පවා එකපාරටම "හොර ගෑනු" හරි "හොර මිනිස්සු" හරි පස්සේ යන්න පටන් ගන්නේ ඇයි? මේක නිකම්ම නිකං ආශාවකට කරන දෙයක්ද, නැත්නම් මේක පිටිපස්සේ අපි නොදකින දෙයක් තියෙනවද? අපි ඇත්තම කතා කරමු.
ආදරේ කියන්නේ හරි ලස්සන හැඟීමක් වුණාට, ඒක පිටිපස්සේ දුවන්නේ අපේ මොළේ තියෙන රසායනික ක්‍රියාවලියක්.
අලුත් කෙනෙක්ව අඳුරගන්නකොට, මුලින්ම මැසේජ් කරනකොට, හොරෙන් හම්බවෙනකොට අපේ මොළේට දැනෙන "කික්" එකට ප්‍රධානම හේතුව තමයි ඩොපමයින්. මේක හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙනවා වගේ වැඩක්. තමන්ගේ සහකරු එක්ක කාලයක් යද්දී මේ ඩොපමයින් වෙනුවට "ඔක්සිටොසින්" කියන බැඳීම සහ නිස්කලංක බව ඇතිකරන හෝමෝනය තමයි වැඩිවෙන්නේ. හැබැයි සමහරුන්ට ඒ සාමකාමී බව එපා වෙනවා. එයාලට ආයේ අර "ඩොපමයින් කික්" එක ඕන වෙනවා. අන්න ඒ ත්‍රාසය හොයාගෙන තමයි අලුත් කෙනෙක් පස්සේ යන්නේ. සරලවම මේ යන්නේ ලව් කිරීමකට වඩා මේ ෆීල් එක ගන්න...
මේක පරිණාමීය ජීව විද්‍යාවේ (Evolutionary Biology වල එන තියරියක්. සරලවම කිව්වොත්, එකම සහකරු එක්ක කාලයක් ඉද්දී ලිංගික ආකර්ෂණය අඩුවෙලා ගිහින්, "අලුත්" කෙනෙක් දැක්කම ආයෙමත් ඒ ආකර්ෂණය සහ උත්තේජනය ඇතිවෙන එකට තමයි මේක කියන්නේ. හැබැයි මේක සත්තුන්ට අදාළ වුණාට, මොළේ දියුණු මනුස්සයින්ට මේක "නිදහසට කරුණක්" කරගන්න බැහැ. එහෙම උනොත් එහෙම සත්තුයි අපි අතර වෙනසක් නැති වෙනව...
ගොඩක් වෙලාවට පිට යන්නේ ඇඳේ ප්‍රශ්න නිසාම නෙවෙයි, ඔලුවේ ප්‍රශ්න නිසයි.
තමන්ට කොච්චර හොඳ කෙනෙක් හිටියත් සමහරුන්ට තියෙනවා හීනමානයක්. "මට තාමත් වෙන කෙල්ලෙක්ව/කොල්ලෙක්ව ටෝක් කරගන්න පුළුවන්ද?", "මගේ පෙනුමට තාමත් කට්ටිය අකර්ෂණය වෙනවද?" කියලා බලන්න එයාලට ඕනි. ඒ ලැබෙන අවධානය එයාලගේ ඊගෝ එක බූස්ට් කරනවා. අලුත් කෙනෙක්ගෙන් ලැබෙන ඒ "වැලිඩේෂන්" එකට මේ අය මාරම කෑදරයි.
තහනම් ගහේ ගෙඩි කෑම කිව්වත් හරි, හැංගිලා, හොරෙන් කරන දේවල් වලට මිනිස්සුන්ගේ පුදුම ආසාවක් තියෙනවා. සමාජෙන් තහනම් කරපු දෙයක් කරනකොට දැනෙන ත්‍රාසය, අර නිකම් සාහිත්‍යට බේස්ඩ් උන ලව් ටයිප් එකේ රොමැන්ස් එකක් විදිහට එයාලා හිතින් මවාගන්නවා. ඇත්තටම එයාලා ආදරේ කරන්නේ අර අලුත් මනුස්සයාට නෙවෙයි, ඒ "හොරෙන් කරන එකේ" තියෙන ෆීලින් එකටයි.
පොඩි කාලේ ඉඳන් හැදුණු වැඩුණු විදිහ අනුව සමහරුන්ට ස්ථාවර ආදරයක් දරාගන්න අමාරුයි. ආදරේ වැඩි වෙනකොට, බැඳීම වැඩි වෙනකොට එයාලා බය වෙනවා. ඒ බයට එයාලා කරන්නේ තමන්ගේම සම්බන්ධය කඩාකප්පල් කරගන්න එක. ඒකට ලේසිම ක්‍රමේ තමයි පිට යනව කියන එක.
මේවා නිදහසට කරුණු නෙවෙයි: යථාර්ථය!
අපි බයොලොජි ගැන කතා කළා, සයිකොලොජි ගැන කතා කළා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනි දේ තමයි: මනුස්සයෙක්ට මොළයේ පූර්ව කණ්ඩිකාවක් (Prefrontal Cortex) තියෙනවා. ඒකෙන් තමයි තීරණ ගන්නේ, හරි වැරැද්ද තේරුම් ගන්නේ, ආවේග පාලනය කරන්නේ.
ඒ නිසා "මගේ හෝමෝන වැඩ කළා", "මට කම්මැලි හිතුණා" කියන ඒවා බොරු කතා. වටරවුම් ගහනවා කියන්නේ 100% ක්ම දැනුවත්ව ගන්න තීරණයක්. ඒකෙන් පෙන්නන්නේ ඒ මනුස්සයාගේ තියෙන චරිතයේ දුර්වලකම මිසක් වෙන මුකුත් නෙවෙයි.
තමන්ගේ සහකරු එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම්, කම්මැලි කමක් දැනෙනවා නම් ඒක කතා කරලා විසඳගන්න ඕනි. එහෙමත් බැරිනම්, කෙළින් කතා කරලා වෙන් වෙන්න ඕනි. ඒක තමයි කොන්දක් තියෙන, මානසිකව මුහුකුරා ගියපු මිනිස්සුන්ගේ විදිහ. එහෙම නැතුව එක්කෙනෙක්ව ගෙදර තියාගෙන, තව කෙනෙක් එක්ක හොරෙන් රූම් ගානේ යන එක, මැසේජ් කරන එක "මොඩර්න් රිලේෂන්ශිප්" නෙවෙයි, ඒක පට්ටම නිවටකමක්.
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි: ආදරේ කියන්නේ හැඟීමක් වුණාට, ලෝයල්ටි කියන්නේ තීරණයක්. ඒ තීරණේ ගන්න බැරි අය ආදරේ කරන්න එන එක, තමන්ටත් අනුන්ටත් කරන ලොකුම අපරාධයක්!
Rusiru Galagoda
Lecturer in psychology | IMBS Green Campus
MPhil (Reading)
BA (Hons) Psychology
University of Sri Jayewardenepura