තුන් හෙළයේ සිංහල පන්තිය

තුන් හෙළයේ සිංහල පන්තිය

Share

'අ' යන්න කියන්න ලොවට ම ඇහෙන්න ශ්‍රී ලංකවේ අද්විතීය සිංහල විෂය වත්පොත් පිටුව

Photos from තුන් හෙළයේ සිංහල පන්තිය's post 04/11/2024

මිණි වන් කවි ලියූ මිණිවන්
"""""""""""""""""""""""""""""""""""""
නිර්මාණකරණය පිළිබඳ ප්‍රශස්ත කුසලතා ප්‍රකට කළ නිර්මාණවේදියකු වූ මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නයන් නිර්මාණ ලෝකයට ප්‍රවේශ වූ ප්‍රථම කලා මාධ්‍යය වූයේ කවියයි. 1969 වර්ෂයේ මුද්‍රිත, පද්‍ය නිර්මාණ අර්ධ ශතකයකින් සමන්විත වූ 'ඡායාමාත්‍ර' නම් ප්‍රථම කාව්‍ය සංග්‍රහය ම කවියාගේ ස්වලක්ෂණ විශද කිරීමට සමත් විය. ස්වකීය නිසර්ග ප්‍රතිභා ශක්තිය, අත්දැකීම් කෙරෙහි දක්වන සංවේදීතාව, උසස් නිර්මාණ සේවනය, නිරන්තර නිර්මාණ කරණය, සුඛනම්‍ය කරගත් සමාජ හා ජීවන දර්ශනය වැනි හේතු සම්පත් නිසා මෙරට නූතන කවීන්ගේ නාමාවලියට ඔහු ද ඇතුළත් වෙයි.

භාවගම්‍ය මාධ්‍යයක් ලෙස කවිය උපයෝගී කරගත් මිණිවන් පී. තිලකරත්නයන්ගේ කවි, කවියා සමඟ අනන්‍ය වෙයි. උසස් ජීවන පරමාර්ථ හා පුරුෂාර්ථ සහිත චරිත ලක්ෂණවලින් හෙබි ඔහු තුළ ලැගුම් ගත් 'කවියා' ද අව්‍යාජ පරමාර්ථගවේෂී කවියෙක් විය. කාව්‍යානුභූතිවලින් සහ ජීවිතාර්ථවලින් සුපෝෂිත කවියකුට ඉටුකළ හැකි නිර්මාණාත්මක මෙහෙවර ප්‍රබලය. විවිධ විෂය කෙරෙහි ව්‍යාප්ත වූ ඔහුගේ අත්දැකීම් ක්ෂේත්‍රය පෘථුලය. දෙස් විදෙස් සිද්ධි හා චරිත නිරීක්ෂණය කිරීමෙන් ද මානව විද්‍යා හා සමාජ විද්‍යා පර්යේෂකයකු වශයෙන් ද දේශීය සම්භාව්‍ය සාහිත්‍යය හා නූතන සාහිත්‍යය ද, විදේශීය සාහිත්‍ය කලාදිය ද සේවනය කිරීමෙන් ලද පෝෂණය ඔහුගේ නිර්මාණවලින් පිළිබිඹු විය.

විශේෂයෙන් රුසියානු සාහිත්‍යය පිළිබඳ වූ පර්යේෂණාත්මක අවබෝධය කවියකු, කෙටිකතාකරුවකු හා නවකතාකරුවකු වශයෙන් ද ඔහු සන්නද්ධ කළේය. ඔහුගේ කවි ශක්තිය, ප්‍රබන්ද කථා කලාවේ දී ඔහු පළ කළ රූපණාත්මක කුසලතාවට ද හේතු සාධක විය. මිණිවන් පී. තිලකරත්නයන්ගේ කාව්‍ය නිර්මාණවලින් වඩාත් කැපී පෙනෙන ලක්ෂණ වන්නේ උපහාස ගර්භ හාස්‍ය රසය සහ පුද්ගල සමාජ සද්භාවය පිළිබඳ සාධනීය ආකල්පයයි. ඔහු විසින් රචිත පද්‍ය සංග්‍රහ සහ ආඛ්‍යාන කාව්‍යය පිළිබඳ විචාරාවලෝකනයකින් ඔහුගේ කවියෙහි ස්වරූපය හඳුනාගත හැකි වේ.

කාව්‍ය රචනය සඳහා ඔහු නිර්මාණාවේශය ලබාගන්නේ කොළඹ කවියෙනි. 1982 වර්ෂයේ දී පළ වූ 'පමා නොවී එමි අකුරට' නම් නවකතාවේ සරණපාලගේ චරිතයට මුවා වී ප්‍රතිනිර්මාණය කොට ඇත්තේ ඔහුගේ ළමා කාලය පිළිබඳ සත්‍යයයි: සිකුරාදා දිනවල ඉස්කෝලේ පැවැත්වෙන කවි මඩුවෙහි ඇතැම් විට වැඩියෙන් ම හිටිවන කවි කීවේ බුවනපාල ය. කවි මඩුවේ දී වැඩිය කවි කීවේ නැතත් කවි හැදීමට නම් සරණපාල බුවනපාලටත් වඩා හපන් බව ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් ම දැන සිටියහ. කවි මඩුවල දී මහ හයියෙන් ඇද පැද ආඩම්බරයෙන් කී බොහෝ කවි ඔහුට රචනා කොට දුන්නේ සරණපාලය.

සිය ළමා වියෙහි සිට කොළඹ කවියෙන් ආභාසය හා ආවේශය ලැබූව ද එහි අනුකාරකයකු නොවීම ඔහුගේ විශේෂත්වයකි. නිරූපිත අත්දැකීමට උචිත පරිදි සඳැස් හා නිදහස් කාව්‍ය ආකෘති සංයෝජනයෙන් මිණිවන් පී. තිලකරත්නයන්ගේ කාව්‍ය රීතිය සංස්කරණය වී තිබේ.

හැටේ දශකයේ අවසාන භාගයේ සහ හැත්තෑව දශකයේ සිංහල කවියේ වස්තු විෂය, ජීවන හා සමාජ දර්ශනය සමාජවාදී නැඹුරුවකින් සන්නද්ධ විය. තිලකරත්නයන්ගේ 'ඡායා මාත්‍ර' කාව්‍ය සංග්‍රහය පළ වන්නේ 1969 වර්ෂයේදීය. මිණිවන් පී. තිලකරත්න හා සාහිත්‍ය ලෝකය නම් ග්‍රන්ථයෙහි මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් සමඟ සිදු කළ පිළිසඳරෙහි ඡායා මාත්‍ර කාව්‍ය සංග්‍රහයේ නිර්මාණ පසුබිම පිළිබඳ කවියා මෙසේ පවසා ඇත:

'1967 දී එංගලන්තයේ සිට ආපසු ආ විගසම මා ආරම්භ කළේ කවි ලිවීමටයි. ඒ කාලයේ දී එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, අයර්ලන්තය වැනි යුරෝපීය රටවල් මෙන් ම ඊජිප්තුව, සෙනෙගාල්, දකුණු අප්‍රිකාව වැනි අප්‍රිකානු මහාද්වීපයේ රටවල් කිහිපයකත් සංචාරය කිරීමෙන් ලබාගන්නා ලද අත්දැකීම් සම්භාරයක් මගේ සිතේ තැන්පත් වී තිබුණා. මගේ ඡායාමාත්‍ර නම් මුල් ම පද්‍ය සංග්‍රහයට විදේශීය පසුතලයක් සහිත නිර්මාණ ගණනාවක් ඇතුළු වීමට හේතු වූයේ එය විය හැකියි... නිදසුන් හැටියට අටවිසි රූප, ගලවන නැටුම, වල්ලබ කුමරුට තෑග්ගක්, දුම්රිය වැරදීම, බම්බිනෝ, ඒත්තු ගැන්වීම වැනි රචනා නම් කරන්නට පුළුවනි.

'අටවිසි රූප' නම් රචනයට මුල් වී ඇත්තේ මා දුටු ලන්ඩනයේ රාත්‍රි සමාජ ශාලාවක දර්ශනයක්. එහි එන ගලවන නැටුම හැඳින්විය හැක්කේ සංගීතමය තාලයකට අනුව නළඟනක විසින් තමන් ඇඳ සිටින ඇඳුම් ආයිත්තම් එකින් එක ගලවා කරනු ලබන නැටුමක් පිළිබඳ විස්තරයක් ලෙසිනි.' (54 - 55 පිටු)

කවියා විප්‍රවාසයේ දී ලැබු අත්දැකීම් සහෘදය සහානුභූති බවට පත් කරමින් පරිකල්පනය කිරීමට යොමු වී ඇති අයුරු ඒ නිර්මාණවලින් ගම්‍ය වේ. ඡායාමාත්‍ර පද්‍ය සංග්‍රහයෙහි ඇතුළත් 'බත් කැවිල්ල' නම් නිර්මාණය සඳහා විෂය වී ඇත්තේ සිංහල සමාජයෙහි දරුවන්ගේ ඉඳුල්කට ගෑමේ චාරිත්‍රයයි. කවියා සාම්ප්‍රදායික අනුකරණාත්මක චාරිත්‍රවල ව්‍යාජය උත්ප්‍රාසයට ලක් කරන්නේ මෙසේය:

කිරිබත් කැටයක් දෙසට ද ගිජු ලෙස ඔබෙ ඇහැ දුවන්නෙ
ඉදිරියෙන්ම තබා තිබෙන පෑන ඇයි ද සිත් නොගන්නෙ
පොතක තිබෙන පිටු පෙරළල, පෑනෙන් එහි ඉරක් ඇඳල
මතු උගතෙක් වන සලකුණු පෙන්වන්නකො අපට පුතේ

(ඡායාමාත්‍ර, 66 - 67 පිටු)

සිය බිරියට යටහත් පහත් නිවට නියාලු ගැමියකුගේ චරිත ස්වභාවය සදය උපහාසයට ලක් කරන; 'කපුරුහාමිගේ කන්නලව්ව' නම් නිර්මාණය කාව්‍ය ආකෘතිය සහ කාව්‍යෝක්ති අතින් ජන කවි රීතියෙන් ලත් පෝෂණය පිළිබිඹු කරන්නකි. බිරිය විසින් තමා ගේපැලෙන් එළියට දමා දොර වසා ගනු ලැබු කල්හි තමා ද ගෙතුළට ගන්නා ලෙස සැමියා කන්නලව් කරන ආකාරය නිරූපණය කොට ඇත්තේ චිත්තරූප උපදවමිනි:

ලිඳක් කපන්නේ ඉන් දිය බොන්ටයි
පැලක් තිබෙන්නේ එහි ලැග ඉන්ටයි
හමක් එළන්නේ එහි සැතපෙන්ටයි
ලියක් සිටින්නේ පහස ලබන්ටයි

වාද කතා මම මතු නොකියන්නේ
බේද වෙන්ට කිසිදා නොසිතන්නේ
හාද කතා හැම විට තෙපලන්නේ
මා ද අනේ පැල ඇතුළට ගන්නේ

(ඡායාමාත්‍ර, 73 පිට)

කාව්‍ය නිර්මාණයක ව්‍යංග්‍යාර්ථ විවිධය. අසීමිතය. කවියා මේ නිර්මාණයෙහි දී සිය බිරියගේ නපුරුකම් දන්නා මේ සන්සුන් ගැමියා රළු පරළු ඇය සමඟ නොගැටී සිත සියුමැලි වෙන කවියේ උදව්වෙන් ඇය හීලෑ කරගන්නා තන්වැසියකු සේ හැඟී යන්නට ද යෝග්‍ය වදන් ඉඟි සපයයි.

'ඡායාමාත්‍ර' කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් 'සුචරිතවාදියාගේ මංගල රාත්‍රිය' නම් නිර්මාණය ව්‍යාජ සද්භාවය උපහාසයට ලක් කරන නිර්මාණයකි. සිය මධු සමය ගෙවන දිනයෙහි දී මනාලයා තම සැතපුණු අවයව' දෙස සරොසින් නොබලන ලෙසත්, රාගයෙන් තොර වූ ප්‍රේමය ම උදාර වන බවත් මනාලියට පවසයි. එහෙත් සිය මංගල රාත්‍රියේ ප්‍රථම හමුව පිළිබඳ සිහින දකින ඇගේ සිත්හසර කවියා නිරූපණය කරන්නේ සියුම් උපහාසය දනවන කාව්‍යෝක්ති ඇසුරෙනි:

පිසුමට වන් කලට
රස්මි නොම දෙන ගින්නෙහි
ඇති හොඳ දකින්නට
මගේ දෑසට නම් පුරුදු නැත
නම කන්තක වුව ද
නොදුවන අසු දඬු කඳකි
සසල විය යුතු තැන
නිසල බව මම අගය නොකරමි

(ඡායාමාත්‍ර, 35 පිට)

මේ නිර්මාණයෙහි ලා උපයුක්ත විරිත ගී විරිත් ප්‍රකාරයකි. එමඟින් සම්භාව්‍ය ගී කාව්‍යවල ඇතුළත් මධුපාන, රතික්‍රීඩා වැනුම් සිහියට නැ‍‍ඟේ. එහි දී පාත්‍රයෝ සක්‍රිය ලෙස ජීවිතාස්වාදය ලබති. එහෙත් වාර්තමානික මනාලයාගේ මංගල ශයනෙහි ශීලය, නිශ්ක්‍රිය භාවය උත්ප්‍රාසය දනවයි.

'ඡායාමාත්‍ර' කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් අඩ සියයක් වූ කාව්‍ය නිර්මාණවල විවිධත්වයක් සහ විචිත්‍රත්වයක් දක්නට ලැබේ. ඇතැම් නිර්මාණවල දී කවියාගේ භාවාතිශය භාවය නිසා ඇති වන වාක් ප්‍රපංච නිසා නිර්මාණයේ සංක්ෂිප්තතා ගුණය ගිලිහී යන අවස්ථා ද නැත්තේ නොවේ. 'ඉවත් කිරීම' වැනි නිර්මාණ ඊට නිදසුන් කළ හැකිය.

1971 වර්ෂයේ දී පළ කෙරුණු මේ කාව්‍ය සංග්‍රහය කාව්‍ය නිර්මාණ 26කින් සමන්විතය: එහි නිර්මාණ පසුබිම පිළිබඳ කවියා මෙසේ සඳහන් කරයි:

'මේ පද්‍ය සමූහය රචනා කිරීමේ දී මා වඩාත් වෑයම් කළේ ජීවිතයේ අහුමුලු ලෙස සැලකිය හැකි ස්ථානවලින් ම වස්තු සපයා ගැනීමටයි.'

මෙහි දී කවියා පෙම් යාදිනි ගැයීමෙන් මෙන් ම සටන්පාඨ ලිවීමෙන් ද වැළකී සිටියි. හැත්තෑව දශකයේ බොහෝ කවීන්ගෙන් මිණිවන් පී. තිලකරත්නයන් වෙනස් වන්නේ ද ඔහු සාර්වත්‍රික අත්දැකීම් කෙරෙහි දක්වන විශේෂ අවධානය නිසාය.

වාණිජ අර්ථ ක්‍රමය නිසා මිනිසා මුදල කෙරෙහි ආකර්ෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස පුරුෂාර්ථවල ද විපර්යාසයක් සිදු විය. දේශ භක්තිය ජාතික උරුමය වැනි සංකල්ප වාණිජත්වය තුළ ගිලී යන ආකාරය පිළිබඳ උපහාසාත්මක දෘෂ්ටියකින් රචිත නිර්මාණයකි 'කෞතුක භාණ්ඩ වෙළඳසැල.'

අවුරුදු දෙදහස් පන්සිය ගණනක්
ගලන ගඟක් සේ නොකැඩී දිව ආ
ඉතිහාසයෙ හැම යුගයක් පාසම
පිළිබිඹු කරනා කෞතුක භාණ්ඩ
අප ළඟ දැන් විකුණන්ට තියනවා
පිටරටවල සිට එන මහතුන් හට
විශේෂ මිලකට අපි විකුණන්නේ
අපේම සේවක මහතුන් නෙක තැන
ඇවිද ඇවිද එක් කරපු අනගි බඩු
අපේම නිදහන් සොරුන් ලවා අපි...
දාගැබ් බිඳවා රැස්කොට ගත් බඩු
මෙහි තොග ගණනින් ගන්ඩ තිබෙනවා
ඉපැරණි වෙහෙරක ධාතු ගර්භයේ
තැන්පත් කොට තිබූ මේ ලොහො බුදු රුව
රාත්තලක් රුපියල් පහ තරමේ
සාධාරණ මිලකට අපි දෙනවා...
සමහර ඉපැරණි කෞතුක භාණ්ඩ
අපේ ම වඩුවන් මෙහි සාදනවා

කවියා සමකාලීන ව්‍යාපාරිකයා මුදලට ගිජු වීමේ ප්‍රතිඵලයක් ලෙස උදාවෙන ජාතික සංස්කෘතික ව්‍යසනය පිළිබඳ සහෘදයා ඥානනය කරවන්නේ උපහාසාත්මක ස්වරයෙනි.

ලංකා සමාජය හා සංස්කෘතිය පිළිබඳ විවිධ අධ්‍යයනය නිරත වූ කවියා එමඟින් ලද සියුම් අනුභූති ස්වකීය කාව්‍ය නිර්මාණ සඳහා ද වෙසෙසින් පාදක කරගෙන ඇත. විවාහ මංගල්‍යයෙන් පසුව සිදුවන 'දෙවෙනි ගමන' නම් චාරිත්‍රය මනාලියගේ පාරිශුද්ධිය තීරණය වන සංසිද්ධියකි. විවාහයේ පැවැත්ම තීරණය වන්නේ; රිදි නැන්දාගේ නිර්දේශය අනුවය. මේ චාරිත්‍රය එක් අතකින් යහපත් ප්‍රතිඵල ද තවත් අතකින් අයහපත් ප්‍රතිඵල ද ලබා දෙන සංකීර්ණ ප්‍රපංචයකි.

කවියා වඩාත් මේ සිද්ධියෙහි උත්ප්‍රාසයක් දකින්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය සිය පරමාදර්ශය කරගත් බෞද්ධ සිංහලයා මේ චාරිත්‍රය පිළිබඳ දක්වන අන්තගාමී ආකල්පයෙහිය.

'ජේත්තුවට ඇද බැඳ ගෙන
ආරිය සිංහල සිරිතට
කැවුං කොකිස් කද බැඳගෙන
නෑදෑයින් රැස්කරගෙන
රිදී නැන්ද පෙරටුව ගෙන
චකිත බවක් හිතින් රැගෙන
ඊයේ කටයුතු මනින්ට
අද ආවා දෙවෙනි ගමන...
එකිනෙකාගෙ මූණු බලන්
තේ මේසෙට වාඩි උණත්
දෙමහල්ලෝ කැවිලි තුළින්
එක පාටින් සිහින දකිති
වෙනදා සුර පුර ද
නිවන් පුරය ද පතනා
ඔවුන් අද පතන්නේ
බෙහෙවින් කුඩා පැතුමකි...
සුදු පිරුවටේ සුද අඩු වී තිබීයන්
පච්චවඩං සලකුණු එහි පෙනීයන්...

(එසේ හෙයින් කියන ලදී, 43, 44 පිටු)

වසරෙන් වසරට සස්‍ය සම්පත් ලබන, ගොවියකුගේ ද වසරෙන් වසරට දරු සම්පත් සදන ගැමියකුගේ ද චරිත දෙක තුලනාත්මකව නිරූපණය කෙරෙන 'ගොවීන් දෙදෙනෙක්', පැවිදි වී සිටිය දී පැවිද්දට නුහුරු, උපැවිදි වූ පසු ගිහිගෙට නුහුරු ප්‍රස්තුතයට නොගැළපෙන චරිත ස්වරූපය විශද කරන 'නුහුරු', රජුන්ගේ අන්තඃපුරයෙහි පවත්නා නිරන්තර අසන්තෘප්තිය, බේදය හා අසාධාරණය අවධාරණය කෙරෙන 'එසේ හෙයින් කියන ලදී' වැනි අගනා නිර්මාණ ඇතුළත් මේ කාව්‍ය සංග්‍රහය පාඨකයාගේ අගනා කාලය අර්ථවත් කරන්නකි.

පද්‍ය නිර්මාණ සතිසකින් පරිමිත 'සංකල්ප රූප' කාව්‍ය සංග්‍රහය 1974 වර්ෂයේ දී පළ විය. එහි ප්‍රවේශ ප්‍රකාශයෙහි මෙසේ සඳහන් වෙයි.

මෙහි එන පද්‍ය සඳහා විවිධ විරිත් තෝරාගන්නා ලද්දේ ඒවාට වස්තු වී ඇති කරුණුවල ස්වභාවය ද සැලකිල්ලට ගනිමිනි. ශ්‍රව්‍ය කාව්‍ය සඳහා කුමන ආකාරයක හෝ විරිත් අවශ්‍ය බව පුන පුනා කිව යුත්තක් නො වේ. ගද්‍යයෙන් පද්‍ය වෙන් කොට හඳුනා ගැනීමට උපකාරී වන්නේ ද එය බැවිනි.

(සංකල්ප රූප - ප්‍රවේශය)

පරාර්ථ චර්යාව, පරිත්‍යාගශිලී භාවය වැනි සාරධර්ම අබිබවමින් ස්වාර්ථකාමය හා අධිපරිභෝජනය වැනි විචලනයන්ට බඳුන් වෙමින් වෙනස් වෙන සමාජය හා එහි ගතිලක්ෂණ මෙහි දී කවියාගේ විශේෂ අවධානයට පාත්‍ර වේ. ඒ හැරුණු විට, සංස්කෘතික සංකල්ප, ගතානුගතික චාරිත්‍ර වාරිත්‍ර පුද්ගල මනෝභාව ආදි තේමා කෙරෙහි ද සාවධාන වී ඇත.

'බල්ලා' නම් හිසින් ලියන ලද පද්‍ය නිර්මාණය සඳහා යොදාගන්නේ මුල අග එළිසමය සහිත වියත් කාව්‍ය ආකෘතියයි. බුද්ධ කාලීන භාරතයෙහි සුනඛව්‍රතය හෙවත් 'බලුතව' තපස් ධර්මයකි. එසේ තපසට ලක්ෂ්‍ය කරගෙන ඇත්තේ බල්ලාගේ අල්පේච්ඡතාවයි. එය නිකෙලෙස් ගුණයකැයි නුවටුවෝ සිතූහ. අමාවතුරෙහි දිගම්බර දමනය ඇසුරු කරගනිමින් රචිත මෙම නිර්මාණය ද කවියා වඩාත් රුචි කරන උපහාසයම සංයෝජනය වූවකි.

සොල්ලා වලග තම ළැදිකම පාන නිති
දල්ලා කට ද දැඩි ඉක්මන් ගමන් ඇති
ගිල්ලා වුව ද කැලි කසළ ද ලෝබ සිතී
බල්ලා සතුව ඇත ගුණ මිනිසුන්ට නැතී

රූමත් බලු ළඳක් දුටු විට වට පිටක
රාදොස් නිසා වහ වැටෙමින් හනි හනික
රෑ ද දවාල ද සිහි නැතිවෙයි විටක
රෝගය එයයි. නැත අන් නුගුණක් මතක

(සං. රූ. 78 පිටු)

සොබා දහමෙහි අරුමය අඟවන 'මදටිය මල' නම් නිර්මාණය ලොව ඒ ඒ වස්තු හා බැඳුණු සත්‍යයක් හෙළි කරන චමත්කාර ජනක නිර්මාණයකි.

පිළිවෙළට කලට වෙලාවට වැඩ කිරීම, සිය සේවයට මුල් තැන දීම වැනි ගුණාංග මිණිවන් පී. තිලකරත්නයන්ගේ චරිතයෙහි ද කැපී පෙනෙන ලක්ෂණයෝ වෙති. එසේ නොවන විට ඔහුගේ විරෝධය මතු වේ. 'සබාවෙන් අවසරයි' නම් නිර්මාණය එබඳු විරෝධාකල්ප ප්‍රකාශයකි. කාලය පිළිබඳ සාවධාන නොවී හරසුන් කතාවක් පවත්වන කථිකයාට සබාවෙන් එල්ල වන විරෝධය පිළිබඳ කවියාගේ සෝපාහාස කථනයයි මේ.

සබාව : මේ කදිම සැන්දෑවේ
පළමුව කිව යුත්තෙ
දෙවනුව කිව යුත්තේ
තුන්වෙනිව කිව යුත්තෙ
ඉඳගනිංඩෝ!

කථිකයා : ඔරලෝසුවට මා පිටුපා සිටිය හෙයින්
නොම දත්තෙමි කොතෙක් කාලය...

සබාව : ඔර්ලෝසුව නොවෙයි බලපන් කැලැන්ඩරේ
නවත්තපන් අග මුල නැති කතන්දරේ.

(සංකල්ප රූප, 29, 30 පිටු)

නිරූපිත භාව අවස්ථාවන්ට අනුරූප පරිදි භාෂාවේ ප්‍රකාශන ස්වරූපය හැසිරවීම කවියාගේ රීතියෙහි එක් ලක්ෂණයකි. ඔහු ප්‍රකාශනය ද රූපණය ද යෝග්‍ය පරිදි භාවිත කරයි. මේ නිර්මාණ සංග්‍රහයෙහි ඇතුළත්, තොටියා නැති තොටුපළ, විරුද්ධත්වය, වෙන් නොකළැකි අඹුසැමියෝ, පොතේ ගුරාට පාඩමක් වැනි නිර්මාණ ද කවියාගේ විවේචනාත්මක දෘෂ්ටිය පිළිබිඹු වන විශේෂ නිර්මාණ ලෙස හැඳින්විය හැකිය. ඇතැම් පද්‍ය රචනාවලදී සහෘදයාගේ ග්‍රහණය කරගැනීමේ ශක්තිය පිළිබඳ කවියා තුළ පවතින සැකය නිසාදෝ ප්‍රමාණය ඉක්මවා පැහැදිලි කිරීමට යෑමෙන් නිර්මාණාත්මක අගය ක්ෂය වී යන බව ද හැඟී යන්නට අවකාශ තිබේ.

මිණිවන් පී. තිලකරත්නයන්ගේ ආඛ්‍යාන රූපී කාව්‍යයක් වන වේග - ආවේග රචනා වී ඇත්තේ 1975 වර්ෂයේ දී ය. වෙලාවට වැඩ කිරීම සංවර්ධනයේ සහ ප්‍රගතියේ සාධකයකි. එහෙත් මෙරට වෙලාවට ම වැඩ සිදු වන්නේ නැකත් අනුගමනයේ දීය. සාමාන්‍ය වේලාව පිළිබඳ දක්වන සැලකිල්ල අල්පය. එහෙත් මේ කාව්‍යයෙහි කථා නායකයා වන දේවසේන වෙලාවට වැඩ කිරීමේ සිරිත අකුරට ම අනුගමනය කරන්නෙකි. ඔහුට උදේ නවයට රැස්වීමකට සහභාගි වීමට ඇරියුම් ලැබී තිබේ. සැලසුම් කළ පරිදි ඔරලෝසුවේ සීනුව නාද වුව ද දැඩි නිදිමත නිසා උදයෙන් ම අවදි වීමට නොහැකි වෙයි. ඔහු අවදි වන්නේ අටයි විස්සට ය. සූදානම් වූ පසු හැතැක්ම දහයේ ගමනට ඇත්තේ විනාඩි විස්සකි. දේවසේන වෙනදා රිය පදවන රටාව නූණත් ඇතැම් විට මාර්ග නීති අකැමැත්තෙන් වුව ද නොතකා හරිමින් දැඩි මානසික කායික පීඩනයක් විඳිමින් නමයට විනාඩියකට පෙර උත්සව ශාලාවට යයි. සංවිධායකයෙක් ඔහු පිළිගෙන, මෙසේ පවසයි:

වෙලාව හරියන් එනවා
තව විනාඩි දෙකයි ඇත්තේ
මහත්මයා නම් හරියට
කිරි ගහකට ඇන්න වගෙයි
තවත් කථික පස් පොළක්ම
එනවා අද රැස්වීමට
නමුත් ඉතින් ඒ හැමෝම
වැඩ කටයුතු බහුල අයනෙ

සංවිධායක තැන පවසන ආකාරයට අනෙක් පස් දෙනාම කටයුතු බහුලැති මහ වැදගත් මහත්තුරුය දේවසේන සබාවෙහි අසුන්ගෙන නවයත් පසු වී විනාඩි විස්සක් ගෙවී ඇත. වේලාවට ම පැමිණි ඔහු වැඩ නැති නිකමකු වී ඇත.

නවය දහය වී ඉන් පසු
දහය එකොළහත් වූ පසු
කවුද කෙනෙක් හෙමින් හෙමින්
වේදිකාව දෙසට ඇදේ...

සිය පමාව පිළිබඳ මඳකුදු පසුතැවිලි නොවන ඔහු ඉදිරි පෙළේ ලොකු අසුනක වාඩි වෙයි. සංවිධායකයෝ ද දෙකට තුනට නැමී වැඳ පුදා ඔහු පිළිගනිති.

කාල ගුණය පිළිබඳ මිස
ඔවුන් මුවින් හෝ ඔහුගෙන්
පමාවීම ගැන කිසියම්
වචනයකුදු පළ නොවීය...

සබාවෙ වැඩ ගජරාමෙට කෙරෙන අතර කවුරුන්දෝ තම හිස අතගාමින් කිසිවක් සොයන බව දේවසේනට දැනෙයි. දේවසේන අතක් යවා හිස අතගාන්නාගේ ඇඟිල්ලක් අල්ලා ගනියි. එවිට ඔහුට දිස් වන්නේ 'ඇතුළු හදා'ගේ මුව ගැබයි. ඉක්බිත් 'ඇතුළු හදා' දේවසේනගේ දෙකනට පැදි පෙළක් ගයයි:

මට මෙතරම් වද ගෙන දුන්
ඔබෙ හිස අතගාමින් දැන්
සෙව්වා මිස ඇද්දැයි අන්
කළා නොවෙයි කිසිවක් අන්

වෙලාවට ම ආපු පවින්
ඔබ නිකමෙකු උනා සැනින්
පමා වෙවී ආපු පිනින්
වීර බවක් ලබපි ඔවුන්

* * *

දේවසේන කිසි දින වත්
නොම කළ සේ නඟා දොහොත්
ඇතුළු හදාගේ හිතවත්
උපදෙස් කෙරුවා වනපොත්

කාව්‍යය සමාප්ත කරන්නේ සහෘදයා තුළ කණස්සල්ලක් සහ කම්පනයක් ඇති කරවමිනි. අපිළිවෙළට වැඩ කරන සමාජයක පිළිවෙළට වැඩ කරන මිනිසා නිකමකු වී අවමානයට ලක් වී අවසානයේ ඔහු ද ඒ අපිළිවෙළ සමාජය තුළ ම ගිලී යන අයුරු කවියා උපහාසාත්මක ලෙස ගම්‍ය කරයි. නීතිය, රීතිය නොතකන සමාජයක අවනීතිය අගයන විට වැරැදි ක්‍රමය නිසි ක්‍රමය බවට පත් වීමේ ඛේදවාචකය කවියා ප්‍රබල ලෙස නිරූපණය කර ඇත.

සමස්තයක් වශයෙන් සමාලෝචනය කිරීමේ දී මිණිවන් පී. තිලකරත්නයන්ගේ නිර්මාණ සමකාලීන කවීන්ට වඩා වෙනස් මඟක් ගත් නිර්මාණ බව පෙනී යයි. එසේ ම ඔහුගේ කවි බස ද වියත් වහරින් ද ජන වහරින් ද, දිවි වහරින් ද, මුසු වහරින් ද සංකලනය වූ භාෂා විලාෂයකි. ඔහුගේ කවිවලින් ප්‍රබල ලෙස මතු වන උපහාසය මුසු හාස්‍ය රසය කවියාගේ අනන්‍යතා ලක්ෂණයකි. ඇතැම් විට ඒ පද්‍ය නිර්මාණවල ප්‍රබලතාව මෙන් ම දුබලතාව ද රැඳී ඇත්තේ මේ සුවිශේෂ ලක්ෂණය මතය.

ඔහුගේ අවසාන පද්‍ය කෘතිය 1996 වර්ෂයේ දී ඉංග්‍රිසියෙන් පළ කළ The Lustre of life නම් කෘතියයි. 1995 වර්ෂයේ ඇමෙරිකාවේ සිටිය දී එය රචනා කොට ඇත 'ජීවිතයේ දිස්නය' යන අරුත ඇති මේ කාව්‍ය සංග්‍රහයට පද්‍ය රචනා 54ක් ඇතුළත් වේ. ඔහු සඳහන් කරන ආකාරයට, නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර ම හැදෑරු Diploma in Creative Writing නම් පාඨමාලාවේ කොටසක් හැටියටයි. 1997 වර්ෂයේ භාෂා දින උත්සවයේ දී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් මේ කෘතියට සම්මාන හා ත්‍යාගයක් ද හිමි වී ඇත.

මහාචාර්ය දර්ශන රත්නායක _________________________________________________
සාහිත්‍ය ලෝකයේ සැබෑව දුටු ලේඛකයා
''''''''''''''''''''' '''''''''"''''''''''' ''''''''''''''''' ''''''' ''''''''''''''''''''''''
දැනට තාරුණ්‍යයේ අග කඩඉම ගෙවමින් මැදිවියට ආසන්නව සිටින අපේ පරපුරේ ශාස්ත්‍රවන්තයන් හට මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නයන්ගේ ශාස්ත්‍ර සම්ප්‍රදානය පරිහරණය කිරීමේ දුලබ අවස්ථාව ලැබිණි. එතුමා සම්පාදනය කළ ‘රුසියානු සාහිත්‍යය හා වර්තමාන සිංහල නවකතාව හා කෙටිකතාව’ යන කෘතිය, ප්‍රබන්ධ හැදෑරූ අපේ අත්පොතක් වූයේ ය. උසස් පෙළ සඳහා සූදානම් වූ අපේ තරුණයන් අත එකල රුසියානු නවකතාව හෝ කෙටි කතාවක පරිවර්තනයක් නොගැවසුණේ කලාතුරකිනි. රුසියානු ජනයාගේ සිතුම් පැතුම් හා සංවේදීකම් අපට ඒසා හුරු වී පැවතිණි.

“පොදුවේ ගත් කල රුසියානු ජාතිකයාටත් ලාංකිකයාටත් මුහුණ පාන්නට සිදුවූයේ එක හා සමාන අත්දැකීම් පන්තියකට යයි කිව යුතු ය. රුසියානු සාහිත්‍යයෙහි මෙසේ පිළිබිඹු වී ඇති සමාජය ගැන පරීක්ෂා කරන විට එය බොහෝ දුරට ලාංකික සමාජයට සමාන බව පෙනී යයි” යනුවෙන් පෙර උක්ත ග්‍රන්ථයේ මිණිවන් පී. තිලකරත්න සඳහන් කරයි. වර්තමානයේ අපට හමුවන ලාංකේය සමාජයේ සුසමාදර්ශ පරිවර්තනයේ (Paradigm Shift)‍ මුල් අවස්ථාව මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නයන්ගේ නිරීක්ෂණයට ලක් ව තිබිණි.

“ලාංකික සමාජයේ එක් කොටසක් මෙසේ සියලු සීමාවන් ඉක්මවා ඉංග්‍රීසීන්ගේ සංස්කෘතිය වැලඳගත් අතර තව කොටසක් සීමාවේ අනෙක් කෙළවර නතර වී සිටියහ. ඔවුන්ගේ ද එක ම සිහිනය වූයේ කෙසේ හෝ ඉංග්‍රීසි පිළිවෙළට ජීවත්වූ උසස් යැයි සම්මත සමාජයට ඇතුළුවීම ය. මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න මේ අදහස් දක්වන්නේ, පියදාස සිරිසේනගේ ප්‍රබන්ධයෙන් නිරූපණය වන සිංහල සමාජය හා ශ්‍රී බෝයෙඩොෆ්ගේ ‘ගෝර් ඔට්උමා’ කෘතියේ කියවෙන රුසියානු සමාජය අතර සංලක්ෂණ සසඳමිනි. ආර්ථික ඉතිහාසඥ ඩබ්.ඩබ්. රෝස්ටොව් (W.W. Rostow) සිය ‘The stages of Economic Growth’ හි, හඳුන්වන සාම්ප්‍රදායික සමාජයෙහි සිට ඉහළ මහ පරිභෝජන අවධියට‍ (The age of High Mass Consumption) යන පිය ගැට අතර, රුසියානු සමාජයත් ශ්‍රී ලාංකේය සමාජයත් සමාන යාන්ත්‍රණයක පසුවුණු බව මහැඳුරු තිලකරත්න ගේ ඒ නිරීක්ෂණ අනුව වටහා ගත හැකි වේ. රුසියානු නවකතා කෙටිකතා කියවන වර්තමාන පාඨකයකුට වුව ද ජීවිතයේ සියලු සිද්ධි හා මනුෂ්‍ය සිතුම් පැතුම් පිළිබඳ අසාරත්වය වහා කෙටූ අකුණු එළියක් සේ වැටහී යයි.

“කන්දෙන් ලන්දට”කෘතිය හිටපු ජතාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට පිළිගන්වමින්....

“ලොවේ ඇති කිසි දෙයක හරයක් හෝ ස්ථිරත්වයක් නැත” යන අදහස රුසියානු සමාජය තුළ ද සංසරණය වන්නට ඇත්තේ යුරෝපයේ බලපෑමට වඩා ආසියාවේ බලපෑම අනුව යයි. මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න ‘රුසියානු ලේඛකයන්ගේ දෘෂ්ටිය හා පෙරදිග දර්ශනය’ යන පරිච්ඡේදයේ අවධාරණය කරයි. රුසියානු සාහිත්‍යයට පිටුතල සැපයූ දයලෙක්තික භෞතිකවාදය (Dialectic Materialism) තුළ ලෝකයත් එහි ද්‍රව්‍යවාදී තත්ව හා එහිම සංවර්ධනයේ ‍‍උපරිඵලයක් වූ විඥානයත් ද්වන්ධාත්මක විඝටන ක්‍රියාවලියක් බව අවධාරණය වෙයි.

රුසියානු ප්‍රබන්ධ රචකයන් අතර, මුනිවර ලේඛකයකු වූ ලියෝ තෝල්ස්තෝයි, මිනිස් ජීවිතයෙහි වූ මායා කාරී ස්වභාවය හැර අබිනික්මන් කළේ, ඔහු සියලු ආගම් තුළ වූ දාර්ශනික හරයන් විමසීමෙහි ඵලයක් නිසා යැයි මහැදුරු තිලකරත්න මෙහි දී විස්තර කරයි. තෝල්ස්තෝයි විසින් පසුකාලයේදී ලියන ලද ‘තාපසවරුන් තිදෙනා’ යන කෙටිකතාවේ කියැවෙන්නේ ද කැලෑවේ වල්කලා වලින් නිමැවුණු හැඳිවත හැර ලෞකික වූ කිසි දෙයක් අතරපත් නොකර ධ්‍යාන භාවනාවේ යෙදී ඍධිබල ලබාගත් තව්සන් තිදෙනකු ගැන ය.

මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න රචනා කළ කෙටිකතා සමහරක ද, සවිඥානක ව හෝ අවිඥානක ව රුසියානු සාහිත්‍යයේ ප්‍රස්තුතවල ඡායාව පතිත වී ඇතැයි ද හැ‍ඟේ. නිදසුනක් ලෙස, ඔහුගේ ‘අද හුඟක් දිග දවසක්’ (1972) නම් කෙටිකතා සංග්‍රහයේ එන ‘ලෙඩා බැලීම’ නම් කෙටිකතාවේ ප්‍රස්තුතය සලකමු. එක් රෝගියකුට ප්‍රතිකාර කරනු රිසි පවුලේ පිරිස, තම ඊනියා නම්බුව රැක ගැනීම සඳහා පෞද්ගලික රෝහල් වෙත ගොස් දුෂ්කරතා වැලඳ ගනිති. ලෙඩා බැලීමට එන පිරිස, හොඳ නම ගැනීමට සිතා, නිදා සිටින රෝගියා පවා අවදි කොට කථා කරති. මේ නිසා ම ලෙඩාගේ තත්ත්වය අසාධ්‍ය වෙයි.” මෙය එක්තරා ආකාරයකින් ලියෝ තෝල්ස්තෝයි ගේ ‘ඉවාන් ඉලිචිච්ගේ මරණය’ නම් කෙටිකතාව හා සමාන බව මගේ හැඟීම වෙයි. ඉවාන් නමැති රෝගියාගේ තත්ත්වය යහපත් කිරීමේ ඊනියා පෙළඹීමකින් කටයුතු කරන ඔහුගේ බිරිය රෝගියාට නොයෙක් අණපනත් පනවයි.

අසල් වැසියන්ට ඈ අඟවන්නේ තමා අතිශය කැපවීමෙන් සැමියාට සාත්තු සප්පායම් කරන බවයි. ඒත් ඇගේ අණපනත් හා නිතර කරන පුහු ක‍ෑකොස්සන් නිසා කලකිරෙන රෝගියා බේත් හේත් පවා නොගෙන කැමැත්තෙන් මරණය වැලඳ ගනියි‍. මධ්‍යස්ථ ලෙස හා උපේක්ෂාවෙන් ජීවිතය ගෙවන්නාටම විපත් පැමිණෙන බව, ‘ස්ථාන මාරුව’ නම් කෙටි කතාවේ මුඛ්‍ය පුවත අනාවරණය කරයි. අවිටික් ඉෂාකියන්ගේ ‘සතුට පරමධනයයි’ යන කෙටිකතාවේ හරය ද මීට සමාන වේ. තම ඉඩම්කඩම් හා ධනය ද අනුන්හට පරිත්‍යාග කළ මැදහත් මිනිහෙකුට අවසානයේ හිර ගත වන්නට පවා සිදු වන අයුරු ඉන් ධ්වනිත ය. රුසියානු නවකතා හා කෙටිකතාවලට සම සිංහල නවකතා කෙටිකතා ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නයන්ගේ ‘රුසියානු සාහිත්‍යය හා වර්තමාන සිංහල නවකතාව හා කෙටිකතාව’ ග්‍රන්ථයේ පැනේ. මිණිවන් පී. තිලකරත්න මහතා ලියූ නවකතා විමංසනය කරන මහාචාර්ය කුලතිලක කුමාරසිංහගේ තියුණු අවධානයට ලක් වූ කෘතියකි ‘පමා නොවී එමි අකුරට’ යන්න. කෘතියේ සමස්තයෙන් ප්‍රකාශ වන්නේ අධාන ග්‍රාහී වැඩිහිටි සමාජය විසින් ළමුන්ගේ මනෝ විෂය ගත ලෝකය හඳුනාගනු නොලබන සැටියයි. ළමා මනෝ විෂය ගත ලෝකයත් ඔවුන් හා ගනුදෙනු කළයුතු පෘථුල එළඹුමත් ගැන ඇමෙරිකානු ළමා මනෝ විද්‍යාඥවරියක වූ මාග්‍රට් මීඩ් විස්තර කරයි. වාසනාවකට මෙන් ඇගේ මවත් සමාජ විද්‍යාඥවරියක වූ නිසා නිරුපද්‍රිත මනෝ ලොවක් සාදා ගැනීමට ඇයට හැකිවිණි.”

මහැදුරු මිණිවන්, සාහිත්‍ය ලෝකයේ ඉසව් රැසක් සැරිසරමින් සමත්කම් දැක්වූ විද්වතෙකි. ඔහු විචාරකයෙකි. ප්‍රබන්ධ රචකයෙකි. කවියෙකි. ඔහුගේ ඒ එක් එක් නිර්මාණ ක්ෂේත්‍ර අරබයා විස්තෘත විමසීමකට මේ අවස්ථාව නොවෙතත්, ඒ හැම ඉසව්වක් පිළිබඳ සංක්ෂිප්ත දැක්මක් ගෙනහැර පෑම මගේ අභිප්‍රාය වේ. මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නගේ ඡායාමාත්‍ර (1969) එසේ හෙයින් කියන ලදී (1971) , සංකල්ප රූප, (1974) වේග ආවේග (1975), මහාවීර (1976) යනාදී පද්‍යකෘති අතර එතුමාගේ කවීත්වයේ අතු ඉති විහිදී තිබේ. මේ සියලු පද්‍ය විමසීමට මේ නොතැන් වුව ද එක් පැදියක වෙසෙසියාවක් පිළිබඳ අදහසක් දැක්විය යුතු යැයි හැ‍ඟේ‍. සංකල්ප රූප නම් පද්‍ය කෘතියේ එන ‍’වෙන්නොකළැති අඹුසැමියෝ’ යන්නෙන් සංකීර්ණ රූපකාර්ථයක් නැ‍ඟේ. නිතර අඬ දබර කර ගන්නා අඹුසැමි යුවළක් උනුනුන් තරයේ වැලඳගෙන පොර අල්ලන විට අසල්වැසියන් පැමිණ දෙදෙනා දෙපසට ඇද්දත් වෙන් නොවන බව ඒ පැදියෙන් ඇඟවේ. සංකල්ප රූප නමින් අදාළ පද්‍ය කෘතිය නම් කර ඇත්තේ ද කවියා ජීවිත සිද්ධීන්හි මතු පිට හැඩතල ඉක්මවා සංකල්ප ග්‍රහණය කර ගන්නා බැවිනැයි හැ‍ඟේ.

එස්රා පවුන්ඩ් (Esra Pound) නම් ඇමෙරිකානු කවියා ද චිත්තරූපවාදය ගුරු කරගෙන කවි ලිවුවෙකි. නෙතට පෙනෙන දෙය නොව සිතට ඇ‍ඟෙන දෙය එහි පදනමයි. 1912 දී ඔහු ලියූ ‘Riposites’ නම් පද්‍ය ග්‍රන්ථය එබන්දකි. එහි එන ‘Agirl’ යන පැදියෙන් කවියා, තමා ඉදිරියෙහි වූ ගසක ලාලිත්‍යයත් ඒ ගසේ ඇති පෙඳ පාසි. ඇද කුද හා ගසේ මල් ද තරුණියකගේ සිරුරක් සේ දකියි. ඒ ගස තම සිරුරට ඇදී ආ ලෙසත් දකින ඔහු, සමස්ත ගසේ යහපත් අයහපත්, මුදු හා රළු සියල්ල ආදරයේ ඒ ඒ අවස්ථා ලෙස දකියි. එමෙන් ම මහැදුරු තිලකරත්න මේ පද්‍යයෙන් අඟවන දෙය හුදු සිද්ධි ප්‍රකාශන ඇඟවුමක් නොව සංකල්ප සාක්ෂාත් කරණයකි. මහාචාර්ය තිලකරත්නයන්ගෙන් විචාර කලාවට සිදුවූ මෙහෙය පිළිබඳව ද අදහසක් දැක්වීම අතිශය යුක්ති යුක්ත හා ‍කාලෝචිත කාරණයකි. මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න හා සාහිත්‍ය ලෝකය’ යන ග්‍රන්ථයට මහාචාර්ය තිලකරත්නගේ ලිපියක් ඇසුරින් විචාර රචනාවක් ලියන මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස මහතා, තිලකරත්නයන් විචාරකලාවේදී දැක්වූ ස්වාධීන බව මේ යුගයට ද වෙසෙසින් උචිත බව හුවා දක්වයි. මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස එහිදී දක්වන ඇතැම් අදහස් අප පය ගසා සිටින වර්තමානයට අතිශයින් අදාළ වේ.

“අවිචාරය විචාරය ලෙසත්, විදෙස් වලින් අහුලාගත් ඇද කෝදු විචාරයේ අනිවාර්ය මිනුම් දඬු ලෙසත්, අභිමත එකකුගේ හෝ දෙ‍න්නකු ගේ කවර ලියවිල්ලක වුවත් විශ්ව සාහිත්‍යාංග දකිමින් සෙස්සන්ගේ කෘතීන්ගේ ඇද කුද හුවා දැක්වීම විද්‍යාත්මක විචාරයේ පදනම වශයෙන් දකින ඊනියා විචාරකයන්ගෙන් දේශීය විචාර විද්‍යාවට සිදුවූ අගතිය හෙළි කිරීම සඳහා තිලකරත්නයන් තබන පුරෝගාමී පියවර ඒ අතින් ප්‍රමුඛ වේ.

මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ නමැති පොත ඇතැම් කෙනෙකුට බයිබලයක් වැනි අත්පොතක් බවට පත්ව ඇති බව දක්වන මහාචාර්ය තිලකරත්නයන්ගේ අදහස් උපුටා දක්වමින්, මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස සිය ලිපියෙහි දක්වන මතය දැනට ද වළංගු ය. ඩබ්.ඒ. සිල්වාගේ බොහෝ නවකතා තුළ, දේශජ හැදියාව, ආගම හා ඒ ඇසුරින් උපන් සෞන්දර්යය භක්තියක් වැනි හැඟීමක් සහෘදයාට දැනී තිබිණි. 1980 90 ගණන්වල දී පාසල් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස ගත කළ අපේ ජීවිත තුළ ද, පුරාණ හා දැවැන්ත වූ අපේ ශිෂ්ටාචාරයත්, ඊට පිටුතල සැපයූ මුදු සමාජ සෙවණැල්ලත් නිසා උපන් භක්තිවේගයක් කරණ කොට ගෙන අපේ චරිතවල සොඳුරු චින්තන රාමුවක් සෑදී තිබිණි. “හොඳ හා පරමාර්ථමය මිනිස්කම අවසානයේ ජයගනී” යන ආත්ම ප්‍රතිෂ්ඨාව මනමේ නාට්‍යයෙනුත්, මාපිය දූදරු සෙනෙහෙ බන්ධනයේ සංසාරික සහනය සිංහබාහු නාට්‍යයෙනුත් අළුදුහුවිලි විණි. දේශීය වූ සංයත සංස්කෘතික හැඩගැස්ම හා සම්භාව්‍ය සාහිත්‍යය ‍ඔස්සේ සිදුවිය යුතු පරිණාමයට මහාචාර්ය සරච්චන්ද්‍ර සියුම් ලෙස පහර දුන් බව අලවත්තාගොඩ ප්‍රේමදාස මහතාගේ ලිපියෙහි එන අදහස් වලින් හැ‍ඟේ. අප විශ්වවිද්‍යාලවල ඉගෙනගත් යුගයේ ඉහත සංකල්පනාවලියම දාර්ශනික ග්‍රන්ථයක් ලෙස ගොනුවිණි. ඒ වෛද්‍ය ශිෂ්‍යයකු වූ සුදත් බණ්ඩාර සම්පාදනය කළ ‘බටහිර චින්තනය පිළිබඳ පෙරදිග විග්‍රහයක්’ යන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ චින්තන පර්ෂදයේ ප්‍රකාශනයකිනි.

මහාචාර්ය මිනිවන් පී.‍ තිලකරත්න මතු කළ නියම සදාචාරවත් චින්තන පදනම හා විචාරය, මඟින් විවේචනයට ලක්වූ ඊනියා චින්තනය මහාචාර්ය අලවත්තාගොඩ හඳුන්වන්නේ ‘අසම්මතයේ බොරු බරවය’ ලෙසිනි. කෙතරම් ප්‍රේමයෙන් බැඳී සිටිය ද, අවස්ථාව ලද විට, පරිසරය අනුව පෙම්වතිය පෙම්වතාට ද්‍රෝහී වීමට ඉඩ ඇත‍. තමා කුසගින්නේ සිට වුව තමා නොවිඳින සැප විහරණ දරුවාට සාදා දෙන පියකුගේ යෝධ හදවත, ‘දෙවන සැරය ගෙන නැවත විඳින්නෙමි සිපගන්නට එන කල මා ළඟ‍ටා’ යන සිංහ බාහුගේ අවස්චෝචිත නරුම බව ඉදිරියේ දෙදරා ගියේ ය. අපගේ ගුරුවරුන්වූ දැනටත් ජීවත් වන කිසිදු ඇඳුරෙක් මහදුරු සරච්චන්ද්‍රගේ ගීතවත් එහෙත් බිහිසුණු ආකල්ප පිළිබඳ මෙතෙක් කතා නොකළේ ය. අපගේ ශිෂ්‍යයන් හට අපි මීට වසර කීපයකට පෙර මහාචාර්ය තිලකරත්නයන් මතු කරන මේ දැක්ම හුවා දැක්වීමු. සුදත් බණ්ඩාර සහෘදයාගේ ඉහත දැක්වූ කෘතිය හා අපගේ ශිෂ්‍යයකු වූ රවින්ද්‍ර දෙවෙනිගොඩ ලියූ කමටහන් රුපියලයි යන පද්‍ය සංග්‍රහයේ ආමුඛයට ඔහු එක් කළ ‘පොදු අර්බුදය’ යන රචනාව, මහාචාර්ය තිලකරත්න විසින් සමාජගත කරන ලද උක්ත අදහසට පිදුණු උපහාර වැනි වෙයි. මහැදුරු අලවත්ත‍ෙගාඩ ප්‍රේමදාස සිය ලිපියෙහි තවදුරටත් දක්වන අන්දමට මහාචාර්ය සරච්චන්ද්‍ර ඩබ්.ඒ. සිල්වාට චෝදනා කරන්නේ, පෙම්වතුන් හා පෙම්වතියන්, ක්‍රෑර වූ ජීවිතයේ බාධක ජයගෙන පරම මනෝරාජ්‍ය වෙත කැඳවා යාම ගැන ය.

එබඳු පරම ප්‍රේමයක් හෝ ආචාරවාදී සෞන්දර්යයක් නැතැයි යන්න සරච්චන්ද්‍ර මතයයි. මහාචාර්ය තිලකරත්න ඊට පිළිතුරු දෙමින්, එසේ නම් පෙම්වතුන් පෙම් කළ යුත්තේ අන්තර්ජාතික ලෙස විය යුතු යයි දක්වා තිබේ. කෙස්පලන තර්ක හා අනුන්ට ගිනිගෙඩි දෙන, බුද්ධිමත් හා දක්ෂ මිනිසුන් බොහොම දෙනෙකුගේ විවාහ ජීවිත දෙදරා ඇති සැටිය, එහිදී මහාචාර්ය තිලකරත්න සෝපාහාසාත්මකව පෙන්වා දී ඇත. ප්‍රේමය වැටෙන්නේ ආධ්‍යාත්මික ලෝකයක යථාර්ථයකට ය. මේ මෑතකත්, දැනටත් සිටින හා අභිවප්‍රාප්ත වූ ඇතැම් තාර්කික, න්‍යායාචාරී උගතුන් බොහොමයකට ආධ්‍යාත්ම නැති බවත් ඔවුන් සිය උගත්කම භාවිත කරනුයේ, තමන් ආ පාරේ අන්කිසිවකුට පැමිණිය නොහැකිසේ මඟ අවුරාලීමට බවත්, මහාචාර්ය කුලතිලක කුමාරසිංහගේ විචාරාවලෝකනය එළි දක්වන උලෙළේදී මහාචාර්ය දයා අමරසේකර ප්‍රකාශ කළේ ද, මිණිවන් පී. තිලකරත්නයන් මතු කළ මනුෂ්‍යත්වයට අනුගත විචාර කලාවෙන් පෝෂණය වූ උගතකු වශයෙනි.

මහැදුරු මිණිවන් පී. තිලකරත්න සිය පෙර උක්ත ලිපියෙහි දක්වන, අසම්මතයේ බරවා වැනි උගතුන් හරියටම ආචාර්ය පිලිප් සී. මැග්රෝ (Dr. Philip C. Maggrow) ගේ Life Strategies ග්‍රන්ථයේ පෙන්වන මේ සමාජය තුළ උගතුන් ප්‍රාමාණිකයන් ලෙසද අරක්ගෙන සිය දැනුම හා ප්‍රාමාණිකත්වය නැමැති අවිවලින් අන්‍යයන් පෙළෙන විවිධ ස්වරූප ඇති ජවයන්ට සමාන ය. මහැදුරු මිණිවන් සිය ස්වාධීන මනුෂ්‍යත්වය නම් සවිමත් පදනම මත සිට කළ විචාරයෙන් සන්නද්ධ වූ අපේ පරපුරේ දැක්ම ද එතුමා අනුව යන බව පවසන්නේ අභිමානයෙනි. මේ ලිපිය සපයන ලේඛකයා විසින් 2015.05.10 ඉරුදිනට සපයන ලද ‘ජඩයන් හා සුනඛයන් අතර සමානතාව’ යන ලිපියෙන් තෝරා ගත් තැනක් මෙහිදී උප

23/10/2024

ශ්‍රී ලංකා අභිලේඛන සංගමය මඟින් සංවිධානය කරනු ලබන මාර්ගගත දේශන මාලාවේ පහළොස් වන දිගහැරුම

නවීන තාක්ෂණය ආශ්‍රය කොට කියවූ දිඹුලාගල සෙල්ලිපියේ අන්තර්ගතය පිළිබඳ විමසුමක්

සම්පත් දායකත්වය :

ආචාර්ය පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමි
මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි
මහාචාර්ය රත්නසිරි අරංගල
ආචාර්ය අර්ජුන තන්තිලගේ
සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන

2024 ඔක්තෝම්බර් 30 වන දින පස්වරු 07.00 සිට 08.45 දක්වා

Join Zoom Meeting
https://us06web.zoom.us/j/86308325119?pwd=tUUye1ADtTo9jE5X03LXhbhPwLIv2u.1

Meeting ID: 863 0832 5119
Passcode: 073241

YouTube Live
https://youtube.com/live/9OdFJsDJ13o?feature=share

සියලු දෙනාට ම ගෞරවයෙන් ආරාධනා කරමු.
ශ්‍රී ලංකා අභිලේඛන සංගමය

මාධ්‍ය අනුග්‍රහය :
පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතන

Photos from තුන් හෙළයේ සිංහල පන්තිය's post 01/03/2024

ඓතිහාසික භාෂා විමර්ශනය හා සිංහල
සැකසුම :පූජ්‍ය හුන්දිරාපොළ රතනජෝති හිමි

Photos from තුන් හෙළයේ සිංහල පන්තිය's post 19/07/2023

🔷 පාලි වංශකතා සාහිත්‍යය හා මහාවංසය.

🔴 අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ ආධුනික කථිකාචාර්ය රාජකීය පණ්ඩිත වැලිවිට සොරත හිමි.
B.A. (Hons.) (Kel.)
M.A. Pall & Buddhist Studies (Kel)

Photos from තුන් හෙළයේ සිංහල පන්තිය's post 05/07/2023

🔷 සීගිරි ගීයේ කාව්‍ය රීතිය

🔴 විමල වජේසූරිය.

Photos from තුන් හෙළයේ සිංහල පන්තිය's post 05/07/2023

🔷 පියදාස සිරිසේනගේ නවකතා පිළිබඳ විමසීමක්.

🔴 කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රේමසිරි නාගසිංහ.

Photos from තුන් හෙළයේ සිංහල පන්තිය's post 05/07/2023

🔷 සිදත් සඟරාව පද්‍යකරණය සදහා ලියු අත් පොතක් ද ?

🔴 විද්‍යොදය විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ විමල විජයසූරිය.

Photos from තුන් හෙළයේ සිංහල පන්තිය's post 05/07/2023

🔷 සිඛවළඳ හා සිඛවළඳ විනිසෙන් හෙළිවන භාෂාත්මක සුවිශේෂතා. ( මධ්‍යතන සිංහල යුගයේ භාෂා ලක්ෂණ සමඟ කෙරෙන සංසන්ධනාත්මක විග්‍රහයකි. )

🔴 තාවකාලික සහකාර කථිකාචාර්ය ජී. ඒ. මදාරා කරුණාරත්න. සිංහල අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය.

Photos from තුන් හෙළයේ සිංහල පන්තිය's post 05/07/2023

🔷 වහරල ලිපි මඟින් හෙළිවන ක්‍රි.ව. 5, 6 සහ 7 වන සියවස්වල අක්ෂර භාවිතය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්‌.

🔴 R.M.W.Gm Pradeepa Rajanayaka
South Eastern University of Sri Lanka
Asst. Lecture at Department of Languages.

Photos from තුන් හෙළයේ සිංහල පන්තිය's post 05/07/2023

🔷 කව්සිළුමිණේ විචිත්‍රත්වය.

🔴 සේවාර්ජිත මහාචාර්ය, රෝහිණී පරණවිතාන මහත්මිය.

Photos from තුන් හෙළයේ සිංහල පන්තිය's post 05/07/2023

🔷 මනමේ නාට්‍යයෙන් ඔපවත් වන සිංහලයේ විශිෂ්ටතම බස් වහර.

🔴 කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි.

Want your school to be the top-listed School/college?

Website