23/05/2026
මොකක්ද මෙ මුලින්ම ගෙම්බව කන්න කියන්නේ! අද අපි බලමු. බ්‍රයන් ට්‍රේසි (Brian Tracy) ලියපු "Eat That Frog!" කියන පොත නිකම්ම නිකම් නිකම් ස්වයං-උදවු (Self-help) පොතක් නෙවෙයි. ඒක ඔයාගේ ජීවිතය, කාලය සහ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ප්‍රායෝගික පොතක්.
1. කල් දැමීම - Procrastination
"හෙට කරනවා" කියන්නේ අසාර්ථකත්වයේ තියන පළමු පියවර.
මිනිස්සු වැදගත්ම වැඩ කල් දාන්නේ ඇයි? එක්කෝ ඒ වැඩේ කරන්න තියෙන බය නිසා, එහෙම නැත්නම් ඒකේ ඇති අමාරුකම නිසා. හැබැයි වැඩක් කල් දාන හැම මොහොතකම සිද්ධ වෙන්නේ ඔයාගෙ යටිහිත ඇතුළෙන් ඔයා ගැනම තියෙන විශ්වාසය බිඳ වැටෙන එකයි.
කල් දැමීම හරියට නිකම් ණය කාඩ්පතක් (Credit Card) වගේ දෙයක්. ඒක පාවිච්චි කරනකොට මාර ජොලි, හැබැයි පස්සේ පොලියත් එක්ක වන්දි ගෙවන්න වුණාම තමයි රිදෙන්න පටන් ගන්නේ. වැඩ කල් දාන එකෙන් වෙන්නේ ඔයාගෙ වර්ධනය, සාර්ථකත්වය සහ ආත්ම විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන එක.
2. කාල කළමනාකරණය - Time Management
කාලය කියන්නේ සල්ලි නෙවෙයි, කාලය කියන්නේ ඔයාගෙ "ජීවිතයයි".
සල්ලි නැති වුණොත් ආයෙත් හොයන්න පුළුවන්, හැබැයි ගෙවිලා යන තත්පරයක්වත් ආයෙත් ගන්න බැහැ. පැය ගණන් ෆෝන් එකේ රීල්ස් Reels බල බල කාලය නාස්ති කරන එක නතර කරන්න.
දවස පටන් ගන්න කලින් කලින් කරන්න ඕන වැඩ ලැයිස්තුවක් To-Do List හදාගන්න. කාලය කළමනාකරණය කරනවා කියන්නේ හැමතිස්සෙම වැඩ කරකර ඉන්න එක නෙවෙයි, වැදගත්ම වැඩ ඉක්මනින් ඉවර කරලා තමන් කැමති දේවල් වෙනුවෙන් නිදහස් කාලය ඉතුරු කරගන්න එකයි.
3. විනය Discipline
මනෝභාවය Mood එක එනකන් ඉන්න එපා. වැඩේ පටන් ගන්න.
අභිප්‍රේරණය (Motivation) කියන්නේ ගිනිකූරක් වගේ දෙයක්. ඒකෙන් ලොකු එළියක් ආවත් ඉක්මනින්ම නිවිලා යනවා. හැබැයි විනය (Discipline) කියන්නේ හැමදාම පත්තුවෙන ලිපක් වගේ දෙයක්.
ඔයාට කම්මැලිකමක් දැනෙනකොට, ඇඟට අමාරුයි වගේ හිතෙනකොට, මොනවත් කරන්න හිතෙන්නේ නැති වෙලාවට පවා "නැගිටලා වැඩේ කරන්න" ඔයාව පුහුණු කරන්නේ විනය මගින්. සාර්ථක මිනිස්සු සහ අසාර්ථක මිනිස්සු අතර තියෙන ලොකුම වෙනස තමයි මේ විනය.
4. අවධානය යොමු කරන්න (Focus)
අද කාලයේ තියන වටිනාම වස්තුව තමයි ඔයාගේ අවධානය (Attention).
අපි ඉන්නේ අවධානය වෙනතකට යොමු කරන දේවල් බහුල ලෝකයක. වැඩක් කරන්න වාඩි වුණාම ෆෝන් එකේ Notification එකක් ආවොත්, එතනින් පස්සේ ඔයාගෙ අවධානය ඉවරයි. එහෙම නැත්නම් බහු කාර්යයන් (Multitasking), එකපාර වැඩ ගොඩක් කරන්න යන එකත් ලොකු මුලාවක්.
එක වෙලාවකට කරන්න එකම එක වැඩක් විතරක් තෝරගන්න. ෆෝන් එක සයිලන්ට් කරන්න, සමාජ මාධ්‍යවලින් අයින් වෙන්න. ඔයාගේ අවධානය සිංහයෙක් වගේ එක ඉලක්කයකට විතරක් යොමු කරන්න.
5. හරි ඉලක්කයක් තියාගන්න එක - Goal Setting
ඉලක්කයක් නැති ජීවිතයක් හරියට ලිපිනයක් නැති ලියුමක් වගේ.
ලිපිනයක් නැති ලියුමකට කවදාවත් තැපැල් පෙට්ටියෙන් එහාට යන්න බැහැ. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතයටත් පැහැදිලි ඉලක්ක තියෙන්න ඕනේ.
ඔයාට අවුරුද්දකින්, අවුරුදු පහකින් වෙන්න ඕනේ කවුද? කරන්න ඕනේ මොනවද කියලා කොළයක ලියන්න. ඉලක්ක හිතේ විතරක් තියාගන්නේ නැතුව ඒවා ලියලා තියාගන්න එකෙන්, ඔයාගෙ මොළයට යන්නේ පැහැදිලි පණිවිඩයක්. අන්න ඒ පණිවිඩය ඔයාගෙ අනාගතයට නිවැරදි දිශාව පෙන්වනවා.
6. ප්‍රමුඛතා - Prioritizing - 80/20 රීතිය
හැමතිස්සෙම කාර්යබහුල වෙනවා කියන්නේ ඵලදායී වෙනවා කියන එක නෙවෙයි.
සමහර අය දවස පුරාම මාර වැඩ ගොඩක් කරනවා, හැබැයි දවස අවසානයේ කිසිම ප්‍රගතියක් නැහැ ඔවුන්ට. ඒකට හේතුව ඔවුන් කරලා තියෙන්නේ වැදගත් නැති අහඹු වැඩ (Minor tasks).
මෙතැනදී තමයි 80/20 රීතිය (Pareto Principle) වැදගත් වෙන්නේ. ඔයාගෙ වැඩ ලැයිස්තුවේ තියෙන වැඩ 10න් 2ක් තමයි ඔබේ ජීවිතයට 80%ක ප්‍රතිඵලයක් ගෙනත් දෙන්නේ. ඒ නිසා වැඩ ගොඩක් අස්සේ අතරමං වෙන්නේ නැතුන්, "වඩාත්ම වැදගත් වැඩ 2" අඳුරගෙන මුලින්ම ඒවට ප්‍රමුඛතාවය දෙන්න.
7. ඵලදායිතාව (Productivity)
අඩුවෙන් මහන්සි වෙලා වැඩියෙන් ප්‍රතිඵල ගන්න.
ඵලදායිතාව කියන්නේ පැය 18ක් බූරුවෙක් වගේ වැඩ කරන එක නෙවෙයි. අඩු ආතතියකින් (Stress) සහ නාස්ති වන ශක්තිය අවම කරගෙන, උපරිම අර්ථවත් වැඩ කොටසක් නිම කිරීමයි.
වැඩක් කරන්න කලින් සැලසුම් කිරීමෙන් (Planning) ඔයාගේ ඵලදායිතාව 200%කින් විතර වැඩි කරගන්න පුළුවන්. හොඳින් සැලසුම් කරලා කරන වැඩක් නිසා සිතේ සැහැල්ලුව වගේම වැඩේ ගුණාත්මකභාවයත් ඉහළ යනවා.
8. ක්‍රියාමාර්ග ගැනීම (Taking Action)
පරිපූර්ණ මොහොත (Perfect Moment) කියලා එකක් කවදාවත් එන්නේ නැහැ.
අපි හැමෝටම තියෙන ලෙඩක් තමයි වැඩක් පටන් ගන්න කලින් ඕනෑවට වඩා හිතන එක (Overthinking). තව ටිකක් ඉගෙනගෙන ඉන්න ඕනේ , ලබන සඳුදා ඉඳන් පටන් ගන්නවා" කියලා අපි අපවම රවට්ට ගන්නවා.
"Eat That Frog" පොත කියන්නේ, පරිපූර්ණ වෙනකන් ඉන්න එපා, අසම්පූර්ණව හරි දැන්ම පටන් ගන්න කියලයි. වැරදි වැරදි හරි ඉස්සරහට යන්න. වැදගත් වෙන්නේ පටන් ගන්න එක මිසක්, පටන් ගන්නකොටම පරිපූර්ණ වෙන එක නෙවෙයි.
9. ස්වයං-වැඩිදියුණු කිරීම (Self-Improvement)
ඔයාගේ හොඳම අනුවාදය (Best Version) දවසගානේ නිර්මාණය කරගන්න.
ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. ඔයා එකම තැන නතර වෙලා හිටියොත් ඔයාට කාටවත් වැඩක් නැති කෙනෙක් බවට පත්වෙනවා.
හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න. පොතකින් පිටු 5ක් කියවන්න, අලුත් කුසලතාවයක් (Skill) ප්‍රගුණ කරන්න, ඔයාගේ සිතුවිලි සහ මානසිකත්වය යාවත්කාලීන කරගන්න. ඊයේ හිටපු කෙනාට වඩා අද ඔයා 1%ක් හරි ඉදිරියෙන් ඉන්නවා නම්, ඔයා ඉන්නේ සාර්ථකත්වය කියන මාවතේ.
10. මානසික ශක්තිය (Mental Toughness)
කුණාටු එනවා, හැබැයි ඔයා නොසැලී ඉන්න ඉගෙන ගන්න.
ජීවිතේ අපි කරන හැම වැඩක්ම ලේසි වෙන්නේ නැහැ. බාධා, අභියෝග, පීඩන සහ අපහසුතාවන් ඕනෑම වෙලාවක එන්න පුළුවන්.
මානසික ශක්තිය කියන්නේ ඒ හැම දුෂ්කරතාවයක්ම දරාගෙන ඉදිරියටම යන්න පුළුවන් මානසිකත්වයක් ගොඩනගා ගැනීමයි. අමාරු කාර්යයන්වලට බය නොවී මුහුණ දෙනකොට ඔයාගෙ මානසික මාංශ පේශි ශක්තිමත් වෙනවා. මතක තියාගන්න, වටිනා දියමන්ති හැදෙන්නේ අධික පීඩනය අස්සෙන් විතරයි.
ඉතින් අන්තිමට:
ඔයාගේ දවස සාර්ථක කරගන්න නම්, උදේම නැගිටපු ගමන් කරන්න තියෙන අමාරුම, හැබැයි වැදගත්ම වැඩේ මුලින්ම කරන්න. එතකොට ඉතිරි දවසම ඔයාට ඉතාම පහසු සහ ප්‍රීතිමත් දවසක් වේවී!
-Don Dinuka