13/06/2026
මේ පාර පාපන්දු ලෝක කුසලානය විශේෂ වෙන්න හේතු ඕන තරම් කියන්න පුළුවන්.
හැබැයි ඒ අතරිනුත් ප්‍රධානම හේතුව වෙන්නේ මෙසී, රොනාල්ඩෝ සහ නේමාර් තුන්දෙනා. ලෝක පාපන්දු ඉතිහාසයම පීරලා බැලුවත් මෙසී සහ රොනාල්ඩෝ වගේ කරට කර ගැටුණු පාපන්දු Icon දෙකක් හොයාගන්න එක අමාරු වෙනවා. ඉස්සර පාපන්දු ගැන කියද්දී බ්‍රසීලයේ පේලේ ගැනයි, ආජන්ටිනාවේ මැරඩෝනා ගැනයි අපි අහලා, කියවලා තියෙනවා. හැබැයි ඒ දෙන්නා කවදාවත් එකම කාලේ පාපන්දු ක්‍රීඩා කළේ නැහැ.
එහෙම බැලුවාම මෙසී සහ රොනාල්ඩෝ දෙන්නාම එකම කාලෙක පාපන්දු ක්‍රීඩා කරනවා දකින්න ලැබුණු පරම්පරාව සෑහෙන්න වාසනාවන්තයි. ඒ වාසනාවේ එක උච්චතම අවස්ථාවක් 2022 ලෝක කුසලානයේ දී උදා වුනා. මෙසී තමන්ගේ අවුරුදු ගාණක පාපන්දු ජීවිතයේ පළවෙනි ලෝක කුසලාන ජය ලබනවා. ඒ තරම් කාලයක් කරට කර තිබුණු මෙසී - රොනාල්ඩෝ ගැටුමේ වැඩි බරක් මෙසීගේ පැත්තට වැටෙන්න ඒ ජයග්‍රහණය හේතු වුනා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.
ඔය අතරේම මෙසී, රොනාල්ඩෝ යුගලයෙන් පස්සේ ලෝක පාපන්දුව පාලනය කරන්න ආපු නේමාර් ඉන්නවා. තාමත් නේමාර් තමන්ගේ උපරියම හොයාගෙන බ්‍රසීලය ලෝක කුසලානයක් වෙනුවෙන් අරන් යාවී කියලා විශ්වාස කරන රසිකයෝ ඕන තරම් ඉන්නවා.
මේ තුන් දෙනාගෙම අවසන් පාපන්දු ලෝක කුසලානය මේක වෙන්න විශාල ඉඩක් තියෙනවා. ඒත් 2022 දිත් ඔය කතාව සමහරු කිව්වා. දැන් 2026දිත් කියනවා. බොහෝ විට මේ අවසන් අවස්ථාව වේවී. තවදුරටත් මේ තුන් දෙනා එකට ක්‍රීඩා කරන පාපන්දු තරගාවලියක් බලන්න නොලැබෙන්න තියෙන ඉඩ සාපේක්ෂව සෑහෙන්න අඩුයි.
ඒ නිසා පාපන්දු ඉතිහාසයේ බිහි වුන විශිෂ්ටතම ක්‍රීඩකයින් තිදෙනෙක්ගේ අවසාන පාපන්දු සංග්‍රාමය බලන්න ඕන නම් මේ තමයි අවස්ථාව. මෙතනින් පස්සේ මේ ලෝකේ කිසිම කෙනෙක්ට නොලැබෙන අවස්ථාවක් වෙනුවෙන් උද්දාමයට පත් වෙන එක සාදාරණයි නේද!
(උපුටා ගැනීමකි)