01/02/2026
සතියේ සිනමා විචාරය
SAM BAHADUR (2023)
ෆීල්ඩ් මාර්ෂල් සෑම් මැනෙක්ෂෝ කියන්නේ ඉන්දියානු යුද ඉතිහාසයේ නොමැකෙන නමක් තියපු තරු පහේ ජෙනරාල්වරයෙක්. ඔහුගේ ජීවිතය අනුසාරයෙන් නිපදවපු 'Sam Bahadur' (2023) චිත්‍රපටය පිළිබඳ මේ විචාරය ලියන්න මට හිතුනේ, ඒ සිනමාපටයේ තියෙන සිනමාත්මක ගුණය, ඓතිහාසික නිරවද්‍යතාවය සහ රංගන ප්‍රතිභාව යන අංශ ඔස්සේ ගැඹුරින් විමසා බලන්නයි.
මේ චිත්‍රපටය බලන්න කලින් මම ෆීල්ඩ් මාර්ෂල් සෑම් ගෙ චරිතාපදානය කියෙව්වා, බොහොම කලකට කලින්, මතක විදියට 2018, ඉන්දියාවෙදිමයි කියෙව්වෙ. ‘Field Marshal Sam Manekshaw, The Man And His Times කියන ඒ චරිතාපදානය ලියලා තියෙන්නේ, ෆීල්ඩ් මාර්ෂල් මැනෙක්ෂෝ ගෙ අධි සහායක (Aid-De-Camp) ලෙස රාජකාරි කරපු බ්‍රිගේඩියර් Behram M. Panthaki සහ ඔහුගේ බිරිඳ Zenobia Panthaki විසින්. ජෙනරාලවරයාගේ සහ බිරිඳගේ ළඟින්ම ඇසුරු කරපු දෙදෙනා විසින් ලියපු මේ පොතේ තියන සත්‍ය කරුණු එලෙසින්ම 'Sam Bahadur' සිනමාපටයේ ඇතුලත්ව තිබුනා කියල කිව්වොත් මම නිවැරදි.
* සෑම් බහදූර් (Sam Bahadur): අභිමානය සහ මනුෂ්‍යත්වය මුසු වූ සිනමා ගමනක්
ඉන්දියානු සිනමාව තුළ වීරත්වයේ නාමයෙන් බොහෝ විට නිර්මාණය වන්නේ අතිශයෝක්තියෙන් පිරුණු "මසාලා" චිත්‍රපට වුනත්, අධ්‍යක්ෂිකා Meghna Gulzar ඒ සම්ප්‍රදායෙන් බැහැර වෙලා ඉතා සංයමයකින් යුතුව 'Sam Bahadur' නිර්මාණය කරලා තියනවා කියන දේ මුලින්ම කියන්න ඕනෙ. ඉතින් ඒ ප්‍රශංසනීය උත්සාහය නිසාම, වසර 40කට අධික කාලයක් ඉන්දියානු හමුදාව වෙනුවෙන් කැපවුනු සැබෑ නායකයෙකුගේ ආත්මය ඉතාම නිවැරදිව හා තාත්විකව අපට සිනමාව තුළින් දකින්න ලබිකා තියනවා.
* විකී කෞෂාල්ගේ රංගන පෞරුෂය: චරිතයකට පණ දීම
මෙම චිත්‍රපටයේ වැදගත්ම දේ තමයි මම දකින විදියට Vicky Kaushal ගෙ රංගනය. සැබෑ ජීවිතයේ සෑම් මැනෙක්ෂෝ කියන්නෙ ඉතා ආකර්ශනීය, හාස්‍යජනක මෙන්ම තේජවන්ත පෞරුෂයක්. විකී මෙම චරිතය තුළට පිවිසෙන්නේ හුදෙක් වේශ නිරූපණයෙන් ම පමණක් නොවේ. සෑම් මැනෙක්ෂෝගේ සුවිශේෂී ඇවිදීමේ විලාසය (බොහෝ විට ඉදිරියට නැඹුරු වූ ගමන), ඔහුගේ උඩු රැවුල හසුරවන ආකාරය සහ දෑස්වල ඇති ඒ නොසන්සුන් සහ සජීවී බව Vicky ඉතා සූක්ෂම ලෙස අධ්‍යයනය කරල තියන බව චිත්‍රපටය බලනකොට පේනවා. ජෙනරාල්වරයාගේ කතා විලාසය තුළ ඇති ඒ 'Parsi' පසුබිම සහිත ඉංග්‍රීසි සහ හින්දි උච්චාරණය විකී අනුකරණය කරන්නේ ප්‍රේක්ෂකයා මවිතයට පත් කරමින්. එ වගේම යුධ බිමේදී සෙබළුන් සමඟ සිටින සෑම් සහ නිවසේදී තම බිරිඳ සමඟ සිටින සෑම් අතර ඇති වෙනස ඔහු මනාව නිරූපණය කරනවා.
* ඓතිහාසික සන්ධිස්ථාන සහ යුධ පසුබිම
චිත්‍රපටය 1930 ගණන්වල අගභාගයේ සිට 1970 දශකය දක්වා දිවෙන දීර්ඝ කාලානුක්‍රමික ගමනක් විදහා දක්වන්නේ. මෙහිදී සුවිශේෂී අවස්ථා කිහිපයක් කැපී පෙනේ:
දෙවන ලෝක යුද්ධය සහ බුරුම මෙහෙයුම - තරුණ සෑම් බුරුමයේදී ජපාන හමුදාවන්ට එරෙහිව සටන් කර වෙඩි පහරවල් 9ක් කා මරණය අද්දර සිට නැවත පැමිණි ආකාරය චිත්‍රපටයේ මුල් භාගයේ මැනවින් නිරූපණය වෙනවා. ඔහුගේ සිරුරෙන් පතරොම් ඉවත් කිරීමට වෛද්‍යවරුන් අදිමදි කරමින්, ඔහුට සිහි ඇත්දැයි බැලීමට ‘ඔබට මොකද උනේ?’ යැයි ඇසූ විට, "මට බූරුවෙකුට පයින් ගැහුවා" යැයි කියමින් ඔහු පෙන්වන හාස්‍යය, ඔහුගේ චරිතයේ ඇති ශක්තිය මනාව පෙන්වා දීමක්.
- 1947 බෙදීම සහ කාශ්මීර අර්බුදය - ඉන්දියාව සහ පාකිස්ථානය බෙදී යන මොහොතේ, තම සමීපතම මිතුරන් පවා පාකිස්ථානය තෝරා ගන්නා විට සෑම් ඉන්දියාව තෝරා ගැනීම සහ ඉන් පසුව කාශ්මීරය වෙනුවෙන් කළ මැදිහත්වීම දේශපාලනික මෙන්ම මානුෂීය කෝණයකින් විග්‍රහ කර තියෙන්නෙ ඔහුගේ නායකත්ව ගුණාංග මනාව පෙන්වමින්.
- 1971 ඉන්දු-පාකිස්ථාන යුද්ධය චිත්‍රපටයේ උච්චතම අවස්ථාව - චිත්‍රපටයේ වැඩිම අවධානයක් යොමු වන්නේ බංග්ලාදේශය නිදහස් කරගැනීමේ යුද්ධය වෙත. මෙහිදී අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමඟ ඔහු පවත්වන දේශපාලනික සංවාද ඉතා වැදගත්. "මම සූදානම් නැතිව යුද්ධයට යන්නේ නැහැ" යනුවෙන් ඇය ඉදිරියේ සෘජුව පැවසීමට තරම් ඔහු සතුව තිබූ වෘත්තීය මට්ටම සහ ආත්ම විශ්වාසය චිත්‍රපටයේ මැනවින් කැපී පේනවා.
* ප්‍රධාන චරිත අතර සබඳතාවය
චිත්‍රපටයේ සාර්ථකත්වය රඳා පවතින්නේ සෑම්ගේ චරිතය වටා ගෙතුණු සෙසු චරිත මතයි.
- සිලූ මැනෙක්ෂෝ (සන්යා මල්හෝත්‍රා) - සෑම්ගේ ජීවිතයේ ශක්තිය වූයේ ඔහුගේ බිරිඳයි. ඇය ඔහුට ආදරය කළා සේම, හමුදා ජීවිතයේ ඇති අවදානම සහ ඔහුගේ ගෙදර නොමැතිකම ඉවසා සිටි ආදර්ශවත් කාන්තාවක්.
- ඉන්දිරා ගාන්ධි (ෆාතිමා සානා ෂෙයික්) - අගමැතිනිය සහ හමුදාපති අතර පැවති ගෞරවනීය මෙන්ම ඇතැම් විට මත ගැටුම් සහිත සබඳතාවයයි. ඇය ඔහුව විශ්වාස කළ අතර, ඔහු ඇයට යටත් නොවී සත්‍යය පැවසීම.
- යාහියා ඛාන් (මොහොමඩ් සීෂාන් අයුබ්) - සෑම්ගේ පැරණි මිතුරා සහ පසුව පාකිස්ථාන හමුදා නායකයා. බෙදීම නිසා මිතුරන් සතුරන් බවට පත්වන ආකාරය මැනවින් පෙන්වා ඩී තිබෙනවා.
අධ්‍යක්ෂණය සහ තාක්ෂණික අගැයීම.
මේඝ්නා ගුල්සාර්ගේ අධ්‍යක්ෂණ රටාව තුළ මම දැක්කෙ සැබෑ සිදුවීම්වලට ලබා ඩී තිබෙන ගෞරවයයි. ඇය අනවශ්‍ය ලෙස යුද්ධය වර්ණනා කිරීමට හෝ ව්‍යාජ දේශප්‍රේමයක් (Fake Patriotism) මතු කිරීමට උත්සාහ කරලා නැහැ මේ සිනමාපටයේදී.
* තිර රචනය - භවානි අයියර් සහ ශාන්තනු ශ්‍රීවාස්තව සමඟ එක්ව මේඝ්නා විසින් සකස් කරන ලද තිර රචනය තුළ සෑම්ගේ සුවිශේෂී දෙබස් ඛණ්ඩ රාශියක් ඇතුළත් කර ඇත. "I have no country, I am a soldier" වැනි දෙබස් ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරන්න සමත් වුනා කිව්වොත් නිවැරදි.
* සංගීතය - ශංකර් එහ්සාන් ලෝයිගේ සංගීතය සහ ගුල්සාර්ගේ පද රචනය චිත්‍රපටයට ලබා දීලා තියෙන්නෙ ආත්මීය හැඟීමක්. විශේෂයෙන්ම 'Badhte Chalo' ගීතය යුධ පිටියේ ජවය සහ අභිමානය තීව්‍ර කරලා දක්වල තියෙනවා.
* නිෂ්පාදන සැලසුම - 1930 සිට 1970 දක්වා කාලය තුළ ඉන්දියාවේ පරිවර්තනය, හමුදා නිල ඇඳුම්වල වෙනස්වීම් සහ පැරණි දිල්ලි නගරය ප්‍රතිනිර්මාණය කිරීමේදී දැක්වූ උනන්දුව අගය කළ යුතුයි. මේ වගේ දේවල් ලාංකීය සිනමාවෙනම් දකින්නවත් නැහැ.
* චිත්‍රපටයේ යම් දුර්වලතා (Critical Analysis)
ඕනෑම විශිෂ්ට නිර්මාණයක යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. 'සෑම් බහදූර්' හි පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ එහි වේගය (Pacing) යි.
• වසර 40ක ඉතිහාසයක් පැය දෙකහමාරකට ගොනු කිරීමේදී සමහර වැදගත් සිදුවීම් හරහා චිත්‍රපටය ඉතා වේගයෙන් ගලා යන බවක් තේරෙනවා.
• 1962 චීන-ඉන්දියා යුද්ධය වැනි තීරණාත්මක අවස්ථා සඳහා තවත් කාලයක් වෙන් කළ හැකිව තිබුණා.
• එසේම, සෑම්ගේ පෞද්ගලික ජීවිතයේ හැඟීම්බර අවස්ථා (Emotional layers) තවදුරටත් ගැඹුරින් විග්‍රහ වූයේ නම්, ප්‍රේක්ෂකයාට ඔහුව තවත් සමීප වෙන්න තිබුණා.
* සෑම් මැනෙක්ෂෝගේ දර්ශනය: සිනමාවෙන් ඔබ්බට
මෙම චිත්‍රපටය වැදගත් වන්නේ ඇයි? එය හුදෙක් ඉතිහාසය කියා දෙන පාඩමක් නිසාම නොවේ. වර්තමාන ලෝකයට අවශ්‍ය නායකත්වය පිළිබඳ පාඩමක් මෙහි අන්තර්ගතයි. තම සෙබළුන් වෙනුවෙන් පෙනී සිටීම, දේශපාලන බලපෑම් හමුවේ කොන්ද කෙළින් තබාගෙන සිටීම හා පරාජය හමුවේ වුවද හාස්‍යය සහ බුද්ධිය අත් නොහැරීම කියන ගුණාංග සෑම්ගේ චරිතය තුළින් මනාව ඉස්මතු වෙනවා. චිත්‍රපටයේ එක් අවස්ථාවකදී ඔහු පවසන පරිදි, "වීරයෙකු වීම යනු බය නොමැතිකම නොව, බය පාලනය කරගැනීමට හැකි වීමයි."
- සාරාංශය සහ අවසාන නිගමනය
Sam Bahadur යනු ඉන්දියානු සිනමාවට එක්වූ වටිනා මුතු ඇටයක්. එය ජාතිවාදය වපුරන චිත්‍රපටයක් නොව, වෘත්තීය ගෞරවය සහ දේශයට ඇති අසීමිත ආදරය ගැන කතා කරන නිර්මාණයක්. ඉතින්, විකී කෞෂාල්ගේ ජීවිතයේ හොඳම රංගනය දැක ගැනීමට, ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කළ මිනිසෙකුගේ සැබෑ කතාව දැන ගැනීමට, අධ්‍යක්ෂිකා මේඝ්නා ගුල්සාර්ගේ විශිෂ්ට සිනමා ශිල්පය අත්විඳීමට ඔබ මෙය නැරඹිය යුතුමයි.
ඔබ ඉතිහාසයට, චරිතාපදානවලට හෝ සැබෑ යුධ කතාවලට කැමති අයෙකු නම්, 'සෑම් බහදූර්' කියන්නෙ ඔබ මග නොහැරිය යුතු ම චිත්‍රපටයක්. අවසානයේදී ඔබට දැනෙනුයේ අභිමානයක් මිස හුදු විනෝදයක් පමණක් නොවෙයි. පුළුවන්නම් චිත්‍රපටය බලන්න කලින් පොතත් කියවන්න.
අපගේ ඇගයීම: 4.5 / 5.
Dinusha Vidanage ©