30/03/2024
මියන්මාර් (බුරුම) රජයෙන් "අග්ගමහා පණ්ඩිත" ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ අපේ නායක ස්වාමීන් වහන්සේ කුඩා කලම ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හදාරා ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ රාජකීය පණ්ඩිත උපාධිය 1976 සමත්ව 1974 වර්ෂයේ පැවති උපසම්පදා පරීක්ෂණයෙන් ද 1978 පැවති නිකායේ ත්‍රිපිටක විශාරද පරීක්ෂණයෙන් ද ප්‍රථම ස්ථානය ලබා සමත්ව ඇත. 1978 බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ පස් අවුරුදු පාඨමාලාව අවසන් කොට, ත්‍රිපිටකවේදී ගෞරව උපාධිය පළමු පෙළ ප්‍රමුඛයා ව සමත්ව ඇත. 1982 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව (බටහිර දර්ශනය) ප්‍රමුඛයා ලෙස ද 1985 කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති පරීක්ෂණයෙන් ප්‍රමුඛයා ලෙස ද සමත්ව ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ආගම් පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය, ශාස්ත්‍රපති පාඨමාලාව ද (1991 - 1993 )හදාරා ඇති උන්වහන්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ පාඨමාලාවක් ද හදාරා ඇත. අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් 1983 වර්ෂයේ සිට කටයුතු කර ඇති උන්වහන්සේ කොළඹ 10 ශ්‍රී ලංකා විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් (1980 - 82) කටයුතු කර ඇත. එසේම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ රාජාංගන ශ්‍රී සුදර්ශන මහ පිරිවෙනෙහි ප්‍රථම පරිවේණාධිපතීන් වහන්සේ ද(1983 - 1988 )වෙති. අනතුරුව බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ භික්ෂු විශ්වවිද්‍යාලයේ අංශාධිපති, මහාචාර්ය, පීඨාධිපති , නිසි බලධාරී තනතුරද දරමින් විසි විසි වසරක් භික්ෂු උසස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවී ක්‍රියා කොට ඇත. එසේම භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අංශය ද, සමාජ විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශය ද භාරව කටයුතු කර ඇත. නිකායේ පරියත්ති සංවර්ධන සභාව මඟින් පවත්වන සියලු ත්‍රිපිටක පරීක්ෂණයන්ට පෙනී සිට ගෞරව සාමාර්ථ සහිතව ප්‍රථම ස්ථානය ලබා ඇති උන්වහන්සේ විනයාචාර්ය සද්ධර්මාචාර්ය , අභිධර්මාචාර්ය පරීක්ෂණ සඳහා 1977 වර්ෂයේ ද විනය විශාරද ,සද්ධර්ම විශාරද, අභිධර්ම විශාරද ,ත්‍රිපිටක විශාරද පරීක්ෂණ සඳහා 1978 වර්ෂයේ ද පෙනී සිට ප්‍රථම පන්තියේ ප්‍රමුඛයා ව ගෞරව සාමාර්ථ ලබා ඇත.