29/01/2023
ඔබගේ පඩියෙනුත් බදු අඩු කරලද?
ඔබත් ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වන්න.
උදාර දේවමුණී විසිනි
වර්තමාන ශ්‍රීලංකාවේ ආර්ථිකය අතිශය අර්බුදකාරී මෙන්ම තීරණාත්මක අවස්ථාවක පවතින බව අප කාටත් නොරහසක්. එමෙන්ම කවුරු විසින් කුමණාකාරයෙන් මෙම තත්වය නිර්මාණය කලද මෙම අර්බුදයේ කුණාටුවට අප කාහටත් කොයි මොහොතක හෝ මුහුණ දීමට සිදුවන බවත් අප කවුරුත් දන්නා සත්‍යයක්. එනම් ඔබගේ වර්ථමාන ආර්ථික ඇති හැකියාව අනුව මේ මොහොතේ මෙම ආර්ථික අර්බුදය ඔබට සංවේදනය වන ප්‍රමාණය විවිධාකර වුවද නුදුරු අනාගතයේ යම් අවස්ථාවකදී අප සෑම දෙනාම මෙහි පූර්ණ කොටස්කාරයන් වන බවද නොරහසක්.
මෙම අර්බුදය නිර්මාණය කරන ලද කණ් ඩායම් හෝ පුදගලයන්ට සාප කිරීමෙන් හෝ දඬුවම් කිරීමෙන් පමණක් අපට මෙම තත්වයෙන් ගොඩ ඒමට නොහැකි බැවින් අප ඒ සම් බන් ධයෙන් යම් පූර්ව සූදානමක් සහිතව සැලසුම් සහගතව සිටීම සුදුසු බව විද්වත් මතයයි.
එබැවින් ආර්ථික අර්බුදයකදී පුද්ගලික මට්ටමෙන් ක්‍රියාත්මක කල හැකි ප්‍රායෝගික සැලසුම් කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමි.
1. ඔබගේ සැබෑ ආර්ථික ඇති හැකියාව හඳුනාගන්න.
ඔබගේ සැබෑ ආර්ථික ඇති හැකියාව හඳුනාගැනීම තුලින් ඔබට ඔබගේ ඉපැයීම වඩාත් ඵලදායී ලෙස හසුරවා ගත හැකි වනු ඇත. මේ තුලින් ඔබට තම ඉපයීම් වලට වඩා වියදම් කිරීම මගින් ඇති විය හැකි ණය බරද සීමා කර ගත හැකි වනු ඇත.
තවද ඔබගේ සැබෑ ආර්ථික ඇති හැකියාව හඳුනාගැනීම තුලින් තම මාසික වියහියදම් සැලසුම් කර ගැනීමද පහසු වනු ඇත.
තම මාසික වියහියදම් සැලසුම් කර ගැනීමේදී විශේෂයෙන්ම ආර්ථික අර්බුදකාරී අවස්ථාවකදී භාවිතා කල හැකි සැලසුම් ක්‍රමවේදයක්ද ඉදිරිපත් කරමි.
මෙම ක්‍රමවේදය හඳුන්වනු ලබන්නේ 50/30/20 සැලසුම් ක්‍රමවේදය ලෙසින්. එනම් තම ඉපැයීම් 50%, 30% සහ 20% ලෙස වෙන් කිරීමයි.
50% - ගෙවිය යුතුම වියදම්
එනම් තම නිවාස/කාමර කුලිය/ඒ වෙනුවෙන් බැංකුවට ගෙවන මුදල්, ප්‍රධාන ආහාරපාන සඳහා බඩු භාණ් ඩ ගැනීම සඳහා අවශ්‍ය මුදල්, මාසික බිල් පත් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සහ රක්‍ෂණ වාරික සඳහා ගෙවන මුදල් වැනි දෑ
30% - තම කැමත්ත අනුව කරන වියදම්
ප්‍රධාන ආහාර පාන නොවන ආහාර පාන සඳහා අවශ්‍ය මුදල් සහ ඇඳුම් පැලඳුම් සඳහා අවශ්‍ය මුදල් වැනි තම කැමත්ත අනුව කරන වියදම් සඳහා අවශ්‍ය මුදල්
20% - ඉතුරුම්
2. ඔබට කපා දැමිය හැකි වියදම් හඳුනා ගන්න.
පෙර සඳහන් කල 50/30/20 ක්‍රමවේදයේ 30% කොටසෙන් ඔබට මෙය පහසුවෙන් ඇරඹිය හැකිය. පසු කාලීනව 50% කොටසෙන් ද යම් යම් ප්‍රමාණ අඩු කර ගත හැකිය. පොදුවේ මෙම කපා දැමීම් සුලු ප්‍රමාණ වලින් වුවද එකතු කල විට සැලකිය යුතු ප්‍රමාණයන් ය.
3. ඉතුරුම් වර්ධනය කරන්න.
පෙර සඳහන් කරන ලද කපා දැමිය හැකි වියදම් වලින් ඉතිරි වන මුදල් ඉතුරුම් සඳහා භාවිතා කල හැකි නම් එය ඉතා කාලෝචිත වනු ඇත. ඒ ඇයිද යත් ආර්ථික අර්බුදයකදී සිදුවිය හැකි බඩු මිල විටින් විට ඉහල යාමකදී ඔබගේ ඉතුරුම් ඔබට යම් සහනයක් ගෙන දිය හැකි බැවිනි.
මෙම ඉතුරුම්ද ආරම් භයේදී කුඩා ප්‍රමාණවලින් සිදු කලද අවසානයේදී එකතුව විශාල ප්‍රමාණයක් විය හැකිය.
4. අනවශ්‍ය දෑ විකුණා දමන්න.
ඔබගේ නිවස පිරික්සූ විට භාවිතයට නොගන්නා ඒත් හොඳ තත්වයේ විකිණිය හැකි බඩු භාණ් ඩ රාශියක් සොයා ගැනීමට හැකි වනු ඇත. තවත් සමහර දෑ අමුද්‍රව්‍ය ලෙසද විකිණිය හැකිය. (යකඩ සහ වීදුරු වැනි)
මේවා මුදල් කර ගැනීමෙන් ඔබගේ ඉතුරුම් වැඩි කර ගැනීමට හෝ බඩු භාණ් ඩ වල මිල ගණන් වැඩි වීමේදී එම පරතරය පියවා ගැනීමට හෝ ඔබට උපකාරී වනු ඇත.
5. හැකිතාක් ණය පියවා දමන්න.
ඔබගේ වර්ථමාන ආර්ථික ඇති හැකියාව අනුව තම ණය තමාට හැකි ආකාරයකින් යම් පමණකට ගෙවා දැමිය හැකි නම් කාලෝචිත වනු ඇත.
විශේෂයෙන්ම මෙහිදී අධික පොලී අනුපාත ඇති ක්‍රෙඩිට් කාඩ් වැනි දෑ පලමුව ගෙවා දැමීම සඳහා තෝරා ගන්න. අඩු පොලී අනුපාත ඇති ණය අවසානයේ ගෙවා දැමීමට තෝරා ගන්න. මෙමගින් ඔබ විසින් අධික පොලී ගෙවීම් පාලනය වනු ඇත.
ඒ අතරම ආර්ථික අර්බුදයකදී සිදු විය හැකි තවත් සංසිද්ධීන් වන රැකියා අහිමි වීමක් හෝ වේතනය අඩු වීමක් සිදු වුවහොත් ණය බර අඩු වී තිබීම එම තත්වයට මුහුණ දීමට ඔබට පහසුවක් වනු ඇත.
6. සහන සලසන වැඩසටහන් පිළිබඳ දැනුවත් වන්න
ආර්ථික අර්බුදයත් සමග විවිධ මූල්‍යායතන සහ බැංකු තම සේවාදායකයන් ගේ ලෝන් වාරික, ලීසිං වාරික සහ ක්‍රෙඩිට් කාඩ් වාරික ගෙවීම සඳහා යම් යම් සහන කාල හඳුන්වා දිය හැකිය. නැත්නම් එම ආයතන සමග සුහදව සාකච්ඡා කල හැකිය. ඒ පිලිබඳව දැනුවත් වන්න. එම සහන ලබා ගන්න.
7. මූල්‍ය ක්‍ෂේත්‍රයේ සිදු විය හැකි හදිසි වෙනස්වීම් වලදී කලබල නොවන්න. දැනුවත් වන්න.
ආර්ථික අර්බුදය ඍජුවම බලපෑ හැකි ක්‍ෂේත්‍රය වන්නේ මූල්‍ය ක්‍ෂේත්‍රයයි. එබැවින් බැංකු පද්ධතියේ හෝ කොටස් වෙලඳ පොලේ යම් යම් හදිසි උච්චාවචනයන් මෙම ආර්ථික අර්බුදය සමග සිදුවිය හැකිය. එම අවස්ථාවන්වලදී එක් වරම බැංකු වලින් මුදල් ලබා ගැනීම තුලින් හෝ කොටස් වෙලඳපොලෙන් තම කොටස් එක් වරම විකිණීම මගින් ඔබට අධික අලාභ සිදු විය හැකි අතරම බැංකු පද්ධතියේ යම් යම් ගැටලුකාරී තත්වයන් ද මතු විය හැකිය. එබැවින් ඒ පිලිබඳව දැනුවත් වන්න. එම ක්‍ෂේත්‍රයේ දැනුවත් පුද්ගලයින් සමග සාක්ච්ඡා කරන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න.
8. ඔබගේ අධ්‍යාපන තත්වය සහ නිපුණතා වර්ධනය කර ගන්න.
යම් හෙයකින් ඔබගේ රැකියා අහිමි වීමක්, වේතනයේ අඩු වීමක් හෝ ව්‍යාපාර කටයුතු බිඳ වැටීමක් සිදු වුවහොත් තම ආදායම් තත්වය පවත්වා ගැනීම සඳහා ඔබ සතුව විකල්ප සැලසුම් තිබීම වැදගත් ය.
ඉතුරුම් වැඩි කර ගැනීම හෝ තම ණය පියවා දැමීම වැනි දෑ හැම දෙනාටම එක ලෙස කල නොහැකි වුවද තම අධ්‍යාපන තත්වය සහ නිපුණතා වර්ධනය කර ගැනීම ඕනෑම අයෙකුට කර ගත හැකිය.
ඒ සඳහා අන්තර්ජාලයේ නොමිලේ පවත්වන වැඩසටහන් රාශියක් තිබේ. ඒ පිලිබඳව දැනුවන් වන්න, යාවත්කාලීන වන්න, සොයා බලන්න.
අන්තර්ජාලය සහ පොත පත ඇසුරිනි.