12/03/2026
🌍 ලෝක විනාශ වුණත් බය වෙන්න දෙයක් නැහැ...
ලංකාවේ සුවඳැල්, කළු හීනටි, පවා ගබඩා කරලා තියෙන ලෝකයේ අවසාන බලා පොරොත්තුව..
හිතන්න... එක රැයකින් ලෝකයම වෙනස් වෙනවා. මහා පරිමාණ යුද්ධයක්, එහෙමත් නැත්නම් දරුණු ස්වභාවික විපතක් නිසා අපි කන බොන වගාබිම් ඔක්කොම විනාශ වෙලා යනවා. මිනිස්සු බඩගින්නේ මියැදෙනවා. අපේ දරුවන්ට කන්න බත් ඇටයක්, එළවළුවක් නැති වෙනවා. ඒ වගේ අඳුරු අනාගතයකදී, මනුෂ්‍ය වර්ගයා ආයෙත් ජීවත් කරවන්න පුළුවන් මැජික් එකක් ලෝකයේ කොහේ හරි හැංගිලා තිබුණොත්..?
අපි අද කතා කරන්නේ ඒ මැජික් එක ගැන මේක තියෙන්නේ උත්තර ධ්‍රැවයට ඉතාමත් ආසන්නයේ හිමෙන් වැසුණු හුදෙකලා දූපතක, මේකට කියන්නේ Svalbard Global Seed Vault එහෙමත් නැත්නම් Doomsday Seed Vault කියලා.
❄️ නෝර්වේ රාජ්‍යයට අයත් ස්වල්බාඩ් දූපත් සමූහයේ, ප්ලැටෝබර්ගට් (Platåberget) කියන කන්ද ඇතුළේ අඩි 400ක් විතර ගැඹුරට හාරලා තමයි මේ අසාමාන්‍ය ගබඩාව හදලා තියෙන්නේ. මේක එසේ මෙසේ බීජ ගබඩාවක් නෙවෙයි මේක මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ Backup Drive එක කිව්වොත් නිවැරදියි. ලෝකයේ කොහේ හරි රටක යුද්ධයක් නිසා හෝ කාලගුණ විපර්යාස නිසා ඒ රටේ බීජ වර්ග වඳ වෙලා ගියොත්, ඒවා ආයෙත් ලබාගන්න තියෙන අවසාන බලාපොරොත්තුව තමයි මේක..
🏗️මේ බීජ බැංකුව නිර්මාණය කරලා තියෙන්නේ හිතාගන්න බැරි තරම් ශක්තිමත් විදියට
මේ කන්ද අවුරුද්ද පුරාම තියෙන්නේ අයිස් වෙලා. ඒ නිසා විදුලිය විසන්ධි වුණත්, මේ ඇතුළේ තියෙන බීජ ශීත කළ මට්ටමින් සුරක්ෂිතව පවතිනවා.
න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයකට පවා ඔරොත්තු දෙන විදියටයි මේකේ දොරටු සහ බිත්ති නිර්මාණය කරලා තියෙන්නේ.
ගෝලීය උණුසුම නිසා අයිස් දියවෙලා මුහුදු මට්ටම ඉහළ ගියත්, මේ ගබඩාව තියෙන්නේ මුහුදු මට්ටමෙන් මීටර් 130ක් විතර උඩින්.
ඔබ දන්නවාද? මේ ලෝකයේ කෙළවරක තියෙන අයිස් කන්ද ඇතුළේ අපේ පුංචි ලංකාවේ බීජ වර්ගත් හරිම ආරක්ෂිතව තැන්පත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව මේ වටිනා ව්‍යාපෘතියට මුල ඉඳලම දායක වුණු රටක්.
ගන්නෝරුව ශාක ජාන සම්පත් මධ්‍යස්ථානය හරහා අපේ රටට ආවේණික පාරම්පරික වී වර්ග සහ ධාන්‍ය වර්ග රැසක් මෙහි තැන්පත් කරලා තියෙනවා.
සුවඳැල්, කළු හීනටි, මා වී, පච්චපෙරුමාල් වැනි අපේ මුතුන් මිත්තන්ගේ වටිනා සහල් වර්ග අනාගතයේදී ලෝකයෙන්ම වඳ වෙලා ගියත්, ස්වල්බාඩ් වල ඒ බීජ ජීවමානව පවතිනවා.
වී වලට අමතරව ලංකාවේ වගා කරන තවත් බීජ වර්ග කිහිපයක්ම එහි රික්තක බෑග් වල අසුරා, සෙල්සියස් අංශක -18 ක උෂ්ණත්වයේ අක්‍රිය මට්ටමින් (Dormant state) පවතිනවා.
හදිසියේ හෝ ලංකාවට දරුණු ස්වභාවික විපතක් වෙලා අපේ රටේ තියෙන බීජ විනාශ වුණොත්, අපේ පාරම්පරික උරුමය නැවත ලබාගන්න තියෙන එකම තැන තමයි මේ Svalbard වල තියෙන අපේ සේප්පුව. 2020 වර්ෂයේදීත් ලංකාව සිය බීජ තැන්පත් කිරීම් තවදුරටත් යාවත්කාලීන කරනු ලැබුවා.
⚔️ අපි හිතුවේ මේක පාවිච්චි කරන්න වෙන්නේ ලෝකයම විනාශ වෙන දවසක විතරයි කියලා. ඒත් 2015 දී ඒක වෙනස් වුණා. සිරියාවේ පැවති දරුණු සිවිල් යුද්ධය නිසා එරටේ තිබුණු ප්‍රධාන බීජ බැංකුව විනාශ වුණා. මැදපෙරදිග කලාපයට ආවේණික වටිනා බීජ වර්ග රැසක් අහිමි වෙන්න ගිය මොහොතේ, ඔවුන් Svalbard බැංකුවේ තැන්පත් කර තිබූ තමන්ගේ බීජ නැවත ඉල්ලා සිටියා.
ඒක තමයි ඉතිහාසයේ පළමු වතාවට මේ Doomsday බැංකුවෙන් බීජ එළියට ගත්ත අවස්ථාව. ඒ බීජ පාවිච්චි කරලා ඔවුන් නැවත වගා කරලා, අලුත් බීජ නිෂ්පාදනය කරලා ආයෙත් ස්වල්බාඩ් වලටම තැන්පත් කළා. ඒක මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක්..
🤔 අද ලෝකයේ ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස නිසා ලෝකයේ වගා රටාවන් වෙනස් වෙනවා. යම් දවසක ලෝකයට මහා සාගතයක් ආවොත්, අපිට කෘතිමව ආහාර හදන්න බැහැ. අපිට ස්වභාවධර්මයේ බීජ අවශ්‍යයි. Svalbard කියන්නේ ඒ අනාගත සාගතයට එරෙහිව අප සතු රක්ෂණාවරණයය.
❄️මේ බීජ බැංකුවේ පිවිසුම දෙස බැලුවොත් ඔබට පෙනේවි ලස්සන කලා නිර්මාණයක් වගේ ආලෝක රටා විහිදෙන දොරටුවක්. ඒකෙන් සංකේතවත් කරන්නේ බලාපොරොත්තුව. ලෝකය කෙතරම් අඳුරු වුණත්, නැවත නැගිටින්න අවශ්‍ය කරන ජීවයේ අංශුව මෙහි සුරක්ෂිතව තිබෙනවා.
ඔබ මොකද හිතන්නේ? මේ වගේ ලෝක මට්ටමේ ආරක්ෂක පියවරක් ගැන මීට කලින් දැනගෙන හිටියද? 💡