Scietalks

Scietalks Complex science, made simple. Exploring the facinating world of biology. Join My journey Amigos !

🧑‍⚕ හෙදිය ඇඳේ බැඳ තබා තමාටම සැත්කමක් කරගත් වෛද්‍යවරයා! 😶😯..........අද වන විට මුළු ලෝකයේම හෘද රෝග වලදී, හෘදයේ නාල අවහිර ව...
02/06/2026

🧑‍⚕ හෙදිය ඇඳේ බැඳ තබා තමාටම සැත්කමක් කරගත් වෛද්‍යවරයා! 😶😯..........

අද වන විට මුළු ලෝකයේම හෘද රෝග වලදී, හෘදයේ නාල අවහිර වීමකදී භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයක් තමයි බැලූන් ප්‍රතිකාර ක්‍රමය සහ ස්ටෙන්ට් (stent) එකක් දැමීම කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම ඔබ මේ ගැන අසා ඇති. මේ ප්‍රතිකාර ක්‍රම සඳහා මූලිකවම භාවිතා වෙන්නේ ධමනියක් ඔස්සේ සියුම් නලයක් හෙවත් "Catheter" එකක් ගමන් කරවීමයි. මේ ක්‍රමය භාවිතා වෙන්නේ අවහිර වූ රුධිර නාල නැවත විවෘත කිරීමටයි.

මීට අමතරව රුධිර නාල ඔස්සේ නලයක් හෙවත් catheter එකක් යැවීම මඟින් සිදු කරන තවත් විශේෂ දේවල් නූතන වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ආබාධයට ලක් වුණු රුධිර නාල කොටස් නැවත සැකසීමට (Repair), පෙනහළු සහ හෘදයේ පීඩනය මැන ගැනීමට, මොළයේ ලේ කැටි ගැසීම් වලදී ඒවා ඉවත් කරන්න, විවිධ ඖෂධ වර්ග දේහයේ සැලසුම් කරපු තැන් වලට (පටක වලට) ගෙනියන්න වගේ ඉතා වැදගත් දේවල් වලට. ඉතින් ඔබට තේරෙනවා ඇති රුධිර නාල හරහා කැතීටරයක් හෘදයට ගමන් කරවීම කියන්නේ මොන තරම් වැදගත් සිද්ධාන්තයක් ද කියලා.

නමුත් ඔබ දන්නවාද එක්දහස් නවසිය විසි නවය වෙනකන්ම වෛද්‍යවරු විශ්වාස කළේ මේ ක්‍රමය මරණීය අත්දැකීමක් ගෙන දිය හැකි බවයි. මේ නිසා ඔවුන් මෙය අත්හදා බැලීමෙන් පවා වැළකී සිටියා. එකල ඔවුන් හෘදය සම්බන්ධව එවන් පර්යේෂණ (Research) පැවැත්වීමට බිය වුණා. නමුත් මේ අතිප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරුන්ට අභියෝග කිරීමට එක් තරුණ වෛද්‍යවරයෙකුට හැකි වුණා.

වර්නර් ෆෝර්ස්මන් (Werner Forssmann) නම් වූ එම ජර්මානු ජාතික වෛද්‍යවරයා මෙය අතිශය සාර්ථක ක්‍රමවේදයක් විය හැකි නිසා පර්යේෂණ පැවැත්විය යුතු බව තම ජ්‍යෙෂ්ඨයන් හමුවේ කෙතරම් කීවත්, විසිපස් වියැති මෙම තරුණ සහ ආධුනික වෛද්‍යවරයාගේ මතයට කන් දුන් කිසිවෙක් සිටියේ නැහැ. නමුත් මෙය ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි බව ඔහු තරයේ විශ්වාස කළා. ශල්‍ය වෛද්‍යවරුන් මුහුණ දෙන හෘදය වෙත ළඟා වීමේ ගැටලුව මෙයින් විසඳෙන බව ඔහුගේ තදබල විශ්වාසය වුණා. දිගින් දිගටම තමන්ගේ මතය ප්‍රතික්ෂේප වීම නිසා මෙය රළු ක්‍රමයකට හෝ ඔප්පු කර පෙන්වීමට ඔහු තරයේ අධිෂ්ඨාන කරගත්තා. හැබැයි ඔහුගේ සැලසුම ඒ දිනවල කිසිවෙකුත් අනුමත කළ එකක් නම් නෙමෙයි.

ඒ එක්දහස් නවසිය විසි නවය (1929) අවුරුද්දයි. ඒ දිනවල ඔහු සේවය කළ "ඒබර්ස්වල්ඩේ" (Eberswalde) හි රෝහලේ ජීවානුහරිත (sterilized) උපකරණ කාමරය භාරව සිටියේ ගෙර්ඩා ඩිට්සන් (Gerda Ditzen) නම් හෙද නිලධාරිනියයි. ජීවානුහරිත කැතීටරය ලබා ගැනීමට ඇයගේ සහය ඔහුට අවශ්‍ය වුණා. ඒ සඳහා සති කිහිපයක් වැය කිරීමට ඔහුට සිදු වුණා. අවසානයේ වෛද්‍ය ෆෝර්ස්මන් ගැන අතිශය පැහැදීමට ලක් වූ හෙදිය ඔහුට අවශ්‍ය දේවල් ලබා දීමට පමණක් නොව එම අත්හදා බැලීම සඳහා ඇයව යොදාගන්නා ලෙස ද ඉල්ලුවා. ඇයගේ උපකාර ගැනීමට වෙනත් මඟක් නැති බව දැනගත් ෆෝර්ස්මන් මේ අදහසට එකඟ වුණා.

ඊට පසු දිනක ඔවුන් දෙදෙනා මේ රහසිගත මෙහෙයුම සඳහා රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයේදී එකතු වුණා. හෙදියගෙන් ජීවානුහරිත කැතීටරය ලබාගත් වෛද්‍යවරයා ඇයව රෝහල් වාට්ටුවේ ශල්‍ය ඇඳක් මත නිදි කරවා ඇයව ඇඳේ බැඳ තැබුවා. එකල ශල්‍යකර්මයට භාජනය කරන රෝගීන් ශල්‍ය ඇඳේ පටි මඟින් බැඳ තැබීම සිරිතක් වුණේ රෝගීන් දැඟලීම නිසා සිදුවෙන අපහසුතා මඟහැරීමටයි. ඊට පසුව සිදු වූයේ හෙදිය කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ.

හෙදිය රෝහල් ඇඳේ බැඳ තබා කිසිවක් කරකියාගත නොහැකි තැනට පත් වූ පසු වෛද්‍ය ෆෝර්ස්මන් තම අත තිබූ නිර්වින්දන එන්නත (Local Anesthesia) හෙදියට එන්නත් කරනවා වෙනුවට තම අතටම එන්නත් කරගෙන, තම අතේම ශල්‍ය කැපුමක් දමා ගත්තේ හෙදියට බිරාන්ත වී බලා සිටීම පමණක් ඉතිරි කරමින්. ඉන්පසු ක්‍රමයෙන් කැතීටරය එම කැපුමෙන් මතුකරගත්, හෘදයට රුධිරය ගෙන යන ශිරාවක් (Vein) තුළින් ඇතුළු කරගත් ඔහු එය 30cm පමණ ඇතුළු කරගත් පසුව හෙදියව නිදහස් කළා. අනතුරුව කැතීටරය හදවත වෙත ළඟා වූ බව තහවුරු කර පෙන්වීමට අවශ්‍ය නිසා X-ray පිටපතක් ලබා ගැනීමට ඔහුට අවශ්‍ය වුණා.

ෆෝර්ස්මන් මිය යයි කියා බිය වූ හෙදිය විකිරණ ශිල්පියාට කතා කර විකිරණවේදී කාමරයේදී X-Ray පිටපතක් ලබා ගැනීමට උපකාර කළා. හෙදියට මුල සිටම අවශ්‍ය වුණේ වෛද්‍යවරයා තමන්ගේ ජීවිතයට හානියක් කරගැනීම වැළැක්වීමටයි. ඇය එතරම්ම ෆෝර්ස්මන් කෙරෙහි පැහැදී සිටියා. ඒ නිසා හෙදිය පර්යේෂණය සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණත් ඇයගේ ජීවිතය අනතුරේ හෙළීමට ෆෝර්ස්මන්ට කිසිසේත්ම අවශ්‍ය වුණේ නැහැ. අනතුරුව එම මොහොතේ ලබාගත් X-Ray විකිරණ සටහන් වලින් පැහැදිලිවම පෙනුණේ කැතීටරයේ අග කොටස හෘදයේ දකුණු කර්ණිකාවට (Right Atrium) ඇතුළු වී ඇති බවයි. ඔහු මෙයින් මානව හෘදයට කැතීටරයක් (නාලයක්) යැවිය හැකි බව පැහැදිලිවම පෙන්වා දුන්නා.

නමුත් මෙයින් ඔහුට ඇති වූ බලපෑම් නම් සුළුපටු නැහැ. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කළා. පසුව ඔහුගේ ක්ෂේත්‍රය හෘද රෝග අංශයෙන් වෙනත් අංශයකට මාරු කරගැනීමටත් සිදු වුණා. නමුත් සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයේම අදහස මෙයින් වෙනස් වුණා. පසුව මෙම ක්‍රමවේදය රෝග හඳුනා ගැනීමට (diagnosis) සහ ප්‍රතිකාර කිරීම (therapeutic) සඳහා වැඩිදියුණු වුණා. මේ සමඟ හෘදයට සම්බන්ධ වෛද්‍ය විද්‍යාවේ විශාල දියුණුවක් ඇති වුණා. ඔහුගේ මෙම අධිෂ්ඨානශීලී සහ නිර්භය ක්‍රියාව එම ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සනිටුහන් වුණා.

පසුව ඔහුගේ මෙම ක්‍රියාව බොහෝ පැසසුම් වලට ලක් වුණා. මේ නිසාම ඔහුට 1956 දී කායවිද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගයට (Nobel Prize in Physiology or Medicine) සමහිමිකාරීත්වය ලබා ගැනීමට පවා හැකි වුණා. ඒ වගේම අද වන විට මේ ප්‍රතිකාර ක්‍රමය බොහෝ සෙයින් වැඩිදියුණු වී ලොව පුරා මිලියන ගණනක් රෝගීන්ගේ සුවපත්භාවය සඳහා දායක වෙනවා.
ඉතින් අවසාන වශයෙන් අප අද අත්විඳින විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව පිටුපස සමහරුන් තම ජීවිතය පවා අනතුරේ හෙළමින් සිදු කළ බොහෝ කැපකිරීම් අන්තර්ගතව තිබෙන බව අප සිහි කළ යුතුයි. විද්‍යාව හා තාක්ෂණයේ මෙවන් රසබර තැන් ගවේෂණය කරන්නට එකතු වෙන්න Scietalks අපිත් සමඟ.

Like, Share and Follow us.....

#වැඩතහනම්වූවෛද්‍යවරයාගේකතාව
#විද්‍යාව
#වෛද්‍යවිද්‍යාව
#හෘදරෝග










Address

DESH Plaza
Matugama
12100

Website

Alerts

Be the first to know and let us send you an email when Scietalks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share