09/07/2026
පීඨාධිපතිතුමා මගින්,
උපකුලපතිතුමා වෙත,
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය,
රුහුණ විශ්වවිද්‍යාලය.
2026.07.09
උපකුලපතිතුමනි,
ඩෙංගු හා වයිරස් උණ රෝගයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් සිසුන්ගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටීම.
පරිශ්‍රය අවට සහ විශ්වවිද්‍යාලයීය ප්‍රජාව තුළ වර්තමානයේ පවතින බරපතළ සෞඛ්‍ය අවදානම කෙරෙහි උපකුලපතිතුමාගේ කඩිනම් අවධානය යොමු කරනු පිණිස මෙම ලිපිය ඉදිරිපත් කරමු.
රුහුණ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රපීඨ ශිෂ්‍ය සංගමය මගින් පෙරද ලිපියක් මගින් දැනුවත් කල පරිදි, මේ වන විට රුහුණ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයන්හි ඩෙංගු සහ අනෙකුත් වයිරස් උණ රෝග ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එහි සෘජු හා දැඩි බලපෑම අප මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද එල්ල වී තිබේ. දිනෙන් දින රෝගී වන සිසුන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සිසුන්ද සිටින බව අප වෙත වාර්තා වී ඇත. මෙය තවදුරටත් සාමාන්‍ය තත්ත්වයක් ලෙස නොසලකා හැරිය යුතු සිසුන්ගේ ජීවිත හා සෞඛ්‍යයට සෘජු බලපෑමක් ඇති කරන බරපතළ මහජන සෞඛ්‍ය ගැටලුවකි.
එවැනි පසුබිමක් තුළද, දේශන සඳහා පවතින 80% ක පැමිණීමේ අනිවාර්ය කිරීම කනගාටුවට කරුණකි. පැමිණීමේ ප්‍රතිශතය අහිමි වේ යැයි ඇති බිය නිසා රෝග ලක්ෂණ සහිත සිසුන් පවා දේශන සඳහා පැමිණීමට පෙළඹී ඇත. මෙලෙස රෝගී සිසුන් දේශන ශාලා වෙත පැමිණීම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහීමට මෙන්ම, රෝගය පීඨය තුළ තවදුරටත් ව්‍යාප්ත වී අනෙකුත් සිසුන්, ආචාර්යවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයද දැඩි අවදානමකට ලක් කිරීමට හේතු වේ.
මෙය හුදෙක් අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමේ ගැටලුවක් පමණක් නොව, ආයතනයේ සෞඛ්‍ය හා ආරක්ෂක වගකීම සම්බන්ධ බරපතළ ගැටලුවකි. සෑම ශිෂ්‍යයෙකුගේම ප්‍රතිශක්තිය සහ සෞඛ්‍ය පසුබිම එක හා සමාන නොවේ. ඇතැමෙකුට සාමාන්‍ය උණ තත්ත්වයක් ලෙස පෙනෙන රෝගයක්, තවත් අයෙකුගේ ජීවිතයට දැඩි අවදානමක් විය හැකිය. එබැවින්, සිසුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි හානියක් සිදුවීමෙන් පසු ප්‍රතිචාර දක්වනවා වෙනුවට, එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා පෙර සූදානම් වූ, වගකීම් සහගත හා මානුෂීය ක්‍රියාමාර්ග ගැනීම පීඨ පරිපාලන අධිකාරියේ වගකීමක් ලෙස අප දකිමු.
එබැවින්, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ,
• පීඨය තුළ පවතින මෙම සෞඛ්‍ය අවදානම සම්බන්ධයෙන් වහාම නිල තක්සේරුවක් සිදුකර සුදුසු ආරක්ෂිත පියවර ප්‍රකාශයට පත් කරන ලෙස.
• රෝගී වන සිසුන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි, වත්මන් සෞඛ්‍ය තත්ත්වය සලකා බලා 80% පැමිණීමේ ප්‍රතිපත්තිය සඳහා තාවකාලිකව හෝ සහනයක් ලබාදෙන ලෙස.
• අවශ්‍ය කාලසීමාව තුළ (දේශන ශාලා තුළ රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා) මාර්ගගත (Online) දේශන හෝ වෙනත් සුදුසු අධ්‍යයන විකල්ප ක්‍රමවේද ක්‍රියාත්මක කරන ලෙස.
• පීඨ පරිශ්‍රය, දේශන ශාලා සහ ඒ අවට පරිශ්‍රයන් තුළ ඩෙංගු මර්දන, දුම් ගැසීම් හා සනීපාරක්ෂක වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ දැනුවත් කර පියවර ගන්නා ලෙස.
• සිසුන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා පීඨය ගන්නා ක්‍රියාමාර්ග සහ රෝගී සිසුන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිල නිවේදනයක් හැකි ඉක්මනින් නිකුත් කරන ලෙස.
ශිෂ්‍යයන්ගේ ජීවිත හා සෞඛ්‍යය කිසිදු අවස්ථාවක පැමිණීමේ ප්‍රතිශතයකට හෝ පරිපාලන ක්‍රියාපටිපාටියකට වඩා පහළින් තැබිය නොහැක. වර්තමාන තත්ත්වය හමුවේ සිසුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම විශ්වවිද්‍යාලයේ සදාචාරාත්මක හා ආයතනික වගකීමකි. එබැවින් මෙම බරපතළ තත්ත්වය තවදුරටත් ප්‍රමාද නොකර සිසුන්ගේ ජීවිත සමඟ අවදානම් සහගත තත්ත්වයක් නිර්මාණය නොවන අයුරින් කඩිනම් සාධාරණ හා මානුෂීය තීරණ ගන්නා ලෙස අපි ගෞරවයෙන් අවධාරණය කර සිටිමු.
අද ගනු ලබන නිවැරදි තීරණ හෙට දින සිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට හේතු වනු ඇත. එබැවින් මෙම ඉල්ලීම අතිශය හදිසි කරුණක් ලෙස සලකා වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නැවතත් ඉල්ලා සිටිමු.
ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය