07/07/2026
📌ජපානයේ රැකියාවෙන් තාවකාලිකව ඉවත්ව සිටින ශ්‍රී ලාංකිකයන් අනිවාර්‍යයෙන් දැන සිටිය යුතු "කෝයෝ හෝකෙන්" (雇用保険) නැතහොත් විරැකියා රක්ෂණ ප්‍රතිලාභ සහ වීසා සම්බන්ධ නීතිමය තත්ත්වයන්.
ජපානයේ විවිධ වෘත්තීන්හි නියුතු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙත ගෞරව පූර්වක ප්‍රණාමය පුද කරමු.
ජපානය තුළ රැකියාවක නිරතව සිටින ඕනෑම විදේශීය ශ්‍රමිකයෙකුට, කිසියම් හේතුවක් මත රැකියාව අහිමි වන හෝ ඉන් ඉවත් වන අවස්ථාවකදී හිමිවන වැදගත් මූල්‍ය ආරක්ෂණ දැලක් ලෙස "කෝයෝ හෝකෙන්" (雇用保険) හඳුන්වා දිය හැකිය. ඔබ දැනට රැකියාවෙන් ඉවත්ව සිටින කාලය තුළ නව රැකියාවක් සොයා ගන්නා තෙක් "Hello Work" ආයතනය හරහා මෙම රක්ෂණ මුදල් ලබාගන්නා ආකාරයත්, ඒ සඳහා අවශ්‍ය වන ලියකියවිලි සහ වීසා බලපත්‍රය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු නීතිමය කරුණුත් පිළිබඳව නිවැරදි විස්තරය පහත පරිදි ඉදිරිපත් කරමු.
1. කෝයෝ හෝකෙන් (雇用保険) යනු කුමක්ද?
ජපාන සෞඛ්‍ය, කම්කරු සහ සුභසාධන අමාත්‍යාංශය මඟින් පාලනය වන මෙම රක්ෂණය පොදුවේ විරැකියා රක්ෂණය ලෙස හඳුන්වයි. සතියකට පැය 20 කට වඩා සේවය කළ, සේවා කාලය දින 31 කට වඩා අපේක්ෂිත ඕනෑම සේවකයෙකු මේ සඳහා ඇතුළත් කරනු ලැබේ. මෙහිදී රක්ෂණ වාරික අනුපාතයන් සෑම මූල්‍ය වර්ෂයකම රජයේ තීරණ මත සහ ඔබ සේවය කරන ක්ෂේත්‍රය අනුව වෙනස් විය හැකි අතර, නීතියට අනුව අදාළ වාරිකය ඔබේ මාසික වැටුපෙන් සෘජුවම අය කරගනු ලබයි.
✅මූලික සුදුසුකම්
පුද්ගලික හේතු මත අස්වූයේ නම් (自己都合): පසුගිය වසර 2 ඇතුළත අවම වශයෙන් මාස 12 ක් රක්ෂණ වාරික ගෙවා තිබිය යුතුය.
සමාගම මඟින් අස්කළේ නම් (会社都合):පසුගිය වසර ඇතුළත අවම වශයෙන් මාස 6 ක් වාරික ගෙවා තිබීම ප්‍රමාණවත්ය.
2. අයදුම් කිරීමට අවශ්‍ය විය හැකි ලියකියවිලි
Hello Work ආයතනය වෙත යාමට පෙර පහත සඳහන් ලියකියවිලි සූදානම් කර ගැනීම සුදුසුය:
රිශොකුහ්‍යෝ (離職票): රැකියාවෙන් අස් වූ පසු පෙර සේවා ස්ථානයෙන් ලබාදෙන නිල සහතික පත්‍ර යුගල (සාමාන්‍යයෙන් දින 10-14 ක් ඇතුළත නිවසට තැපෑලෙන් ලැබේ).
නේවාසික පදිංචි කාඩ්පත (Zairyu Card) සහ විදේශ ගමන් බලපත්‍රය (Passport).
මයි නම්බර් කාඩ්පත (My Number Card): (නැතහොත් My Number සඳහන් ජුමින්හියෝ පත්‍රිකාවක්).
බැංකු ගිණුම් පොත හෝ Cash Card: රක්ෂණ මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය බැංකු විස්තර සඳහා.
ඡායාරූප සහ පුද්ගලික මුද්‍රාව (හන්කො): වර්තමානයේ බොහෝ Hello Work කාර්යාලවල ඡායාරූප හෝ හන්කො අනිවාර්ය නොවන අතර අත්සන පමණක් ප්‍රමාණවත් වේ. කෙසේ වෙතත්, කාර්යාලයෙන් කාර්යාලයට නීති වෙනස් විය හැකි බැවින්, මෑතකදී ගත් (3.0cm x 2.5cm) ඡායාරූප 2ක් සහ Hanko එකක් (තිබේ නම්) ළඟ තබා ගැනීම වඩාත් සුදුසුය.
3. Hello Work හරහා රක්ෂණ මුදල් ලබාගැනීමේ පියවර
පියවර 01 - ලියාපදිංචි වීම (求職申し込み): අවශ්‍ය ලියකියවිලි ද රැගෙන Hello Work වෙත ගොස්, ඔබ රැකියාවක් සොයන අයෙකු ලෙස ලියාපදිංචි වී රිශොකුහ්‍යෝ පත්‍රිකා භාර දෙන්න.
පියවර 02 - පොරොත්තු කාලය (待期期間): අයදුම්පත භාරදීමෙන් පසු එළඹෙන දින 7 ක අනිවාර්ය කාලය තුළ කිසිදු අර්ධකාලීන රැකියාවක (Arubaito) නිරත නොවිය යුතුය.
පියවර 03 - උපදේශන සම්මන්ත්‍රණය (雇用保険説明会):
ඔවුන් නියම කරන දිනයේදී පවත්වන විරැකියා උපදේශන සම්මන්ත්‍රණයට සහභාගී වී "රක්ෂණ ප්‍රතිලාභී කාඩ්පත" ලබාගත යුතුය.
පියවර 04 - විරැකියාව සහතික කිරීම (失業認定日):
සෑම දින 28 කට වරක්ම Hello Work වෙත ගොස් ඔබ තවමත් රැකියාවක් නොමැති බවත්, ඕනෑම අවස්ථාවක රැකියාවක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවත්, ක්‍රියාකාරීව රැකියා සොයන බවත් සහතික කළ යුතුය. ඉන්පසු අදාළ දීමනාව බැංකු ගිණුමට තැන්පත් වේ.
⚠️ වැදගත් සටහනක්: සාධාරණ හේතුවක් නොමැතිව උපදේශන සම්මන්ත්‍රණය (雇用保険説明会) මඟ හැරීමෙන් ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වීමට හෝ තාවකාලිකව අත්හිටුවීමට ඉඩ ඇත. යම් හෙයකින් සහභාගී වීමට නොහැකි නම් ඒ බව කල්තියා දන්වා නැවත දිනයක් වෙන් කරවා ගැනීමට නම්‍යශීලී බවක් පවතී.
4. ඉක්මනින් රැකියාවක් සොයාගතහොත් ලැබෙන විශේෂ බෝනස් මුදල (再就職手)
විරැකියා දීමනාව ලබන අතරතුර, නියමිත දින ගණනින් සැලකිය යුතු ප්‍රමාණයක් (අවම වශයෙන් 1/3 ක්) ඉතිරිව තිබියදී ස්ථිර රැකියාවක් සොයා ගන්නා අය සඳහා රජයෙන් "සයිෂූෂොකු තෙඅතේ" (Re-employment Allowance) නමැති විශේෂ බෝනස් මුදලක් ලබා දෙයි.
මෙම මුදල අනුමත වන කාලසීමාව සහ සුදුසුකම් තීරණය වන්නේ ඔබ රැකියාවෙන් අස්වූ හේතුව (සමාගමෙන්ද නැතහොත් පුද්ගලිකවද), පොරොත්තු කාලය, ඉතිරිව ඇති දින ගණන, සහ නව රැකියාව දිගුකාලීනව පවත්වාගෙන යා හැකි බවට තහවුරු වන සේවා කොන්දේසි (අවම වසර 1ක කොන්ත්‍රාත්තුවක් තිබීම වැනි) ඇතුළු කරුණු කිහිපයක් මතය.
මූල්‍ය ප්‍රතිලාභ පිළිබඳ නිදර්ශනයක්
පහත දැක්වෙන ගණනය කිරීම, විරැකියා රක්ෂණ ක්‍රියාවලිය වටහා ගැනීම සලකා සකස් කරන ලද දළ නිදර්ශනයක් පමණක් වන අතර, සැබෑ මුදල පුද්ගලයාගේ වැටුප, වයස, රැකියාවෙන් ඉවත් වූ දිනය සහ නීතිමය සීමාවන් අනුව වෙනස් විය හැක.
උදාහරණයක් ලෙස, මාසික වැටුප යෙන් 200,000ක් සහ දින 90ක මූලික ප්‍රතිලාභ කාල සීමාවක් හිමිවන පුද්ගලයෙකුට, දිනකට දළ වශයෙන් යෙන් 6,600ක පමණ මූලික දීමනාවක් හිමි විය හැකිය. එවැනි තත්ත්වයක පසුවන අයෙකුට ලැබිය හැකි දළ ප්‍රතිලාභ මෙසේය:
Hello Work ආයතනය හරහා රැකියාව සොයාගතහොත්:
අවම මුදල:
ඉතා ඉක්මනින් (පළමු සතිය තුළම) රැකියාවක් ලැබුණහොත්, විරැකියා දීමනා කිසිවක් ලබා නොගෙන දින 90ක මුළු වටිනාකමෙන් 70%ක බෝනස් මුදලක් පමණක් ලැබෙන නිසා එය යෙන් 419,580ක් පමණ වේ.
උපරිම මුදල:
මාස 2ක් පමණ විරැකියා දීමනා ලබාගැනීමෙන් පසු රැකියාව ලැබුණහොත්, ලබාගත් දීමනාව සහ ඉතිරි දින සඳහා ලැබෙන 60%ක බෝනස් මුදලත් එකතු වන නිසා එය යෙන් 519,480ක් දක්වා වැඩි වේ.
පෞද්ගලිකව (Indeed වැනි රැකියා වෙබ් අඩවි හරහා) රැකියාව සොයාගතහොත්:
සමාගමෙන් අස්කළ අයෙකු නම් (会社都合): Hello Work හරහා සෙවූ විට ලැබෙන මුදලම (අවම යෙන් 419,580 සිට උපරිම යෙන් 519,480 දක්වා) හිමිවිය හැක.
පුද්ගලික හේතු මත රැකියාවෙන් ඉවත් වූ අයෙකු නම් (自己都合):පෞද්ගලිකව සොයාගත් නව රැකියාවක් සඳහා 再就職手当 සුදුසුකම නව රැකියාව ආරම්භ කරන දිනය සහ අනෙකුත් නීතිමය කොන්දේසි මත වෙනස් විය හැකිය. එබැවින් නව රැකියාව භාර ගැනීමට පෙර Hello Work නිලධාරියා සමඟ තමන්ගේ සුදුසුකම පූර්වයෙන් තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
වීසා කාලය සහ ජපාන ආගමන නීතිය
විදේශිකයන් වන අපට මෙම රක්ෂණය ලබාගැනීමේදී සහ ජපානයේ රැඳී සිටීමේදී වීසා බලපත්‍රයේ ස්වභාවය සෘජුවම බලපායි.
ආගමන විගමන කාර්‍යාංශයට දැනුම් දීම: රැකියාවෙන් ඉවත් වූ දින සිට දින 14 ක් ඇතුළත ඒ බව ආගමන විගමන කාර්යාංශයට (අන්තර්ජාලය හරහා හෝ තැපෑලෙන් අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතුය.
පදිංචි තත්ත්වය පිළිබඳ නීතිය
ජපාන ආගමන නීතියට අනුව, සාධාරණ හේතුවක් නොමැතිව මාස 3කට වැඩි කාලයක් තම පදිංචි තත්ත්වයට (Status of Residence) අදාළ ක්‍රියාකාරකම්වල නිරත නොවීම ආගමන විගමන බලධාරීන්ගේ සලකා බැලීමට ලක් විය හැකිය. කෙසේ වෙතත්, Hello Work හරහා සක්‍රීයව රැකියා සොයමින් සිටීම වැනි සාධාරණ හේතු තිබේ නම් ඒවාද තීරණ ගැනීමේදී සැලකිල්ලට ගනු ලැබේ. එබැවින් ක්‍රියාකාරීව රැකියා සෙවීම ඉතා වැදගත් වේ.
රැකියා සෙවීමේ විශේෂ වීසා (තොකුතෙයිකට්සුදෝ)
ඔබේ වර්තමාන සේවා වීසා කාලය අවසන් වීමට ආසන්න නම්, Hello Work හරහා සක්‍රීයව රැකියා සොයන බව තහවුරු කරමින් ආගමන විගමන කාර්යාංශය වෙත රැකියා සෙවීමේ විශේෂ වීසා බලපත්‍රයක් (Designated Activities) සඳහා අයදුම් කළ හැකිය. කෙසේ වෙතත්, මෙය සැමටම පොදුවේ හිමි නොවන අතර ආගමන විගමන කාර්යාංශය එක විසින් එක් එක් අයගේ පුද්ගලික තත්ත්වයන් සලකා බලා වෙන වෙනම තීරණය කරනු ලබයි.
සාමාන්‍යයෙන් මූලික ප්‍රතිලාභ ලබාගැනීමේ අයිතිය රැකියාවෙන් ඉවත් වූ දින සිට වසරක් ඇතුළත භාවිත කළ යුතු අතර, විශේෂ අවස්ථාවලදී නීතිය අනුව එම කාලය දීර්ඝ කළ හැකිය.
නව රැකියාවක් ආරම්භ කරන දිනය බෝනස් මුදල සඳහා ඇති සුදුසුකමට සෘජුවම බලපෑ හැකි බැවින්, රැකියා ගිවිසුම අත්සන් කිරීමට හෝ වැඩ ආරම්භ කිරීමට පෙර Hello Work නිලධාරියා සමඟ ඔබගේ තත්ත්වය පූර්වයෙන් තහවුරු කර ගැනීම සෑම විටම වඩාත් සුදුසුය. රැකියාවෙන් ඉවත් වූ පසු මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමට මෙන්ම ඔබේ වීසා බලපත්‍රයේ නීත්‍යානුකූල භාවය තහවුරු කර ගැනීමට ඇති හොඳම මඟ ප්‍රමාද නොවී Hello Work ආයතනයේ ලියාපදිංචි වීමයි.
ඔබ සැමට සාර්ථක වෘත්තීය අනාගතයක් ✨
✍️සටහන
මෙම ලිපිය සාමාන්‍ය තොරතුරු ලබාදීම සඳහා පමණක් සකස් කර ඇත. විරැකියා රක්ෂණ ප්‍රතිලාභ සහ ආගමන විගමන නීති පුද්ගලයාගේ තත්ත්වය අනුව වෙනස් විය හැකි බැවින්, අවසාන තීරණයක් ගැනීමට පෙර Hello Work සහ ආගමන විගමන කාර්යාංශය වෙතින් නිල උපදෙස් ලබාගැනීම නිර්දේශ කරනු ලැබේ.