22/12/2025
🌼🌼🌼 බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ 🌼🌼🌼
🌷 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌷
ඒ සමයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර දෙව්රම් මහා විහාරයේ ය.
දිනක් එක්තරා වෙළඳ පිරිසක් වෙළඳාම පිණිස බඩුබාහිරාදිය ආදිය එක් රැස් කරගෙන නැව් නැගී පිටත්ව යන අතර මඟදී මහ මුහුද මැද විශාල කුණාටුවකට හසු වී වෙළඳ පිරිස සිටි නෞකාව මුහුදුබත් විය. ඒ නැවේ සිටි 'බාහිය' නම් පුද්ගලයා හැර අනෙක් සියළු පිරිස මරණයට පත් වූහ.
දිවි බේරා ගත් බාහිය නෞකාවේ කැඩී ගිය කොටසක එල්ලී දඹදිව බටහිර වෙරළේ සුප්පාරක නම් වෙරළ තීරයට ගොඩ ගසාගෙන ආවේය.
වෙරළට ගොඩ ගසද්දී ඔහුගේ ශරීරයේ කිසිඳු වස්ත්‍රයක් නොතිබූ අතර ඒ නිසා ඔහු ඉක්මනින් ම වෙරළ අසළ තිබූ ගස් වල ඇති දර පතුරු කඩාගෙන ඒවා වැල් වලින් ඔතාගෙන දර වලින් වස්ත්‍රයක් සකසා හැඳ ගත්තේය. මඳ වේලාවකින් ඔහුට මිනිසුන් යාග හෝම සිදු කර විසි කර ඇති පැරණි තලියක් හමු වූ අතර ඔහු එම තලියත් රැගෙන ආහාර සොයගෙන ජනාවාසයක් ඇති පෙදෙසක් බලා පියනැගුවේය.
පිඬු සොයමින් පැමිණෙන බාහියව අසළ ඇති ගම්මානයේ මිනිසුන් දැක මේ අයුරින් කතිකා වූහ.
"මේ නම් උතුම් පුරුෂයෙක් වගෙයි. කිසි දේකට ආසාවක් නෑ කියලා දැක්ක ගමන් පේනවා. පොරොවාගෙන ඉන්නෙ දරුපතුරු වලින් කරපු වස්ත්‍රයක්නෙ. පිණ්ඩපාතය ගන්නෙත් දිරා ගිය වළං කැබැල්ලකට. මේ නම් රහතන් වහන්සේ නමක් ම තමයි. හරිම සරල විදිහකට වැඩ ඉන්නේ."
ගම්මානයේ සියළු දෙනා බාහිය හට පැහැදී ඔහුට දිනපතා ආදර ගෞරවයෙන් සත්කාර සම්මාන කරන්නට පටන් ගත්හ.
දිරා ගිය ගස් පොතු වලින් කළ වස්ත්‍රයක් දරා සිටි බැවින් "බාහිය දාරුචීරිය" නමින් මොහු ප්‍රසිද්ධ විය.
ගම්මානයෙන් ආහාර ගෙන පැමිණි පසු ගල්ලෙනකට ගොස් හුදෙකලාවේ සිටිමින් භාවනා වැඩීම මොහුගේ පුරුද්දක් විය. භාවනාව නිසා ඔහුගේ සිත තැන්පත් වූ අතර ඒ නිසා මොහු නිකෙලෙස් බවට පත් වුන බවට වරදවා වටහාගෙන ජනයාගේ ගෞරව සත්කාර ලබමින් බොහෝ කාලයක් එහි රැඳී සිටියේය.
දිනක් ඔහුට හුදෙකලාවේ සිටින විට මෙවැනි සිතුවිල්ලක් පහළ විය.
"මේ ලෝකයේ රහත් මගට පිළිපන් හෝ රහත් වූ හෝ යමෙක් ඇද්ද, මමත් ඔවුන් අතර කෙනෙක් තමයි."
එකල්හි මොහු සමග පෙර කාශ්‍යප බුදු සසුන තුල පිලිවෙත් පුරා අනාගාමී ඵලයට පත්ව සුද්ධාවාස බඹලොව උපන් බ්‍රහ්ම රාජයෙක් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහු ඉදිරිපිට පහළ වී මේ අයුරින් කීවේය.
"බාහිය, ඔබ රහතන් වහන්සේ නමක් නොවෙයි, ඒ වගේම ඔබ රහත් වෙන මාර්ගයක්වත් දන්න කෙනෙක් නෙවෙයි. ඒ ප්‍රතිපදාව ඔබ තුළ නෑ. ඔය වැඩපිළිවෙල තුළ නම් ඔබට රහතන් වහන්සේ නමක් වෙන්න කොහෙත් ම බෑ."
ඒ බ්‍රහ්ම රාජයාගේ වචනය ඇසීමෙන් බාහිය බොහෝ ශෝකයට පත් විය.
🌸 බාහිය : "අහෝ...! මම රහතන් වහන්සේ නමක් නෙවෙයි නම්, මෙලොව රහතන් වහන්සේලා වැඩ ඉන්නවාද ? රහත් වෙන මඟ පෙන්වා දෙන්න පුළුවන් අය වැඩ ඉන්නවාද ?"
💮 බ්‍රහ්ම රාජයා : "බාහිය, ලොව රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. රහත් වෙන මග පෙන්වා දෙන්න පුළුවන් උත්තමයන් පවා වැඩ ඉන්නවා."
🌸 බාහිය : "එසේනම් මට පිහිට වෙන්න. මමත් ඒ රහතන් වහන්සේලාව දකින්න ආසයි. රහත් වෙන මග දැන ගන්න බොහොම කැමතියි."
💮 බ්‍රහ්ම රාජයා : "බාහිය, උතුරු ජනපද ප්‍රදේශයේ සැවැත් නුවර කියලා නගරයක් තියෙනවා. අන්න ඒ නගරයේ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් අසිරිමත් රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේ ඒකාන්තයෙන්ම නිකෙලෙස්. ඒ වගේම නිකෙලෙස් බවට පත්වෙන මාර්ගය අනිත් අයට දේශනා කිරීමට උන්වහන්සේ අතිශයින්ම දක්ෂයි."
එසේ පැවසූ ඒ බ්‍රහ්ම ආර්යන් වහන්සේ බාහිය ඉදිරියෙන් අතුරුදහන් විය.
බ්‍රහ්මයන් වහන්සේගෙන් 'බුදුරජාණන් වහන්සේ' යන නම ඇසූ පසු බාහිය අප්‍රමාණ සතුටකින් ඒ වේලාවේ ම භාග්‍යවතුන් වහන්සේව දැකීමට යාමට පිටත් වූයේය.
භාග්‍යවතුන් වහන්සේව සොයාගෙන යන මේ බාහිය එසේ මෙසේ අයෙක් නොවෙයි. බාහිය යනු ගෞතම සම්බුදු සසුනේ අසූ මහා ශ්‍රාවක තනතුරක් දැරීමට පින් ඇති කල්ප ලක්ෂයක් පාරමී සහිත උතුම් පුරුෂයෙකි.
එබැවින් මේ ගමන යාමේදී භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනා දිසාවට යාමට එතුමන් හට දෙවිවරුන්ගේ උපකාර ලැබුණි.
රැයක් දහවලක් නොබලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සොයා පැමිණි බාහිය කිහිප දවසකින් සැවැත්නුවරට ළඟා විය.
නගරයට පැමිණි වහාම ඔහු ජේතවනාරාමය සොයාගෙන දිව ගියේය.
ඔහු එද්දී භික්ෂූන් වහන්සේලා පිරිසක් ආරාමයේ සක්මන් කරමින් වැඩ සිටියහ.
🌸 බාහිය : "අනේ...ස්වාමිනි, මට බුදුරජාණන් වහන්සේව දකින්න ඕනෙ. ඒ උතුමන් වහන්සේ කොහෙද ?"
🌻 භික්ෂූන් වහන්සේලා : "පින්වත, අපේ ශාස්තෘන් වහන්සේ නම් මේ වෙලාවේ ආරාමයේ නෑ. මේ පෙරවරු කාලයනෙ. උන්වහන්සේ නගරයට පිණ්ඩපාතයේ වැඩලයි ඉන්නේ. ඔබට බොහොම වෙහෙස පාටයිනෙ. ඔබ මේ කොහේ ඉඳලා ආව කෙනෙක්ද ?"
🌸 බාහිය : "මම මෙහෙ කෙනෙක් නම් නෙවෙයි. බටහිර මුහුදු තීරයේ සුප්පාරක පටුනේ ඉඳලයි බුදුරජාණන් වහන්සේව හොයාගෙන මම ආවේ."
🌻 භික්ෂූන් : "බොහොම දුරක ඉඳලනෙ ඇවිත් තියෙන්නෙ. පුදුම කලබලයක්නෙ ඔබට තියෙන්නෙ. එහෙනම් පැන් ටිකක් එහෙම පහසු වෙලා, කකුල් වල තෙල් ටිකක් එහෙම ගාගෙන ඉඳගෙන ඉන්න. පිණ්ඩපාතෙ අරගෙන තව ටිකකින් අපේ භාග්‍යවතුන් වහන්සේ ආපහු වඩිනවා. එතකොට බැරියෑ උන්වහන්සේ මුණගැහිලා කතා බහ කරන්න."
🌸 බාහිය : "ස්වාමිනි, තවත් බලා ඉන්න නම් බෑ. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. කොයි වෙලාවේ අහිමි වේවිද දන්නෙ නෑ. මේ යොදුන් එකසිය විස්සම ගෙවාගෙන මම ආවෙ පුදුම භයකින්. මං හිත හිතාම ආවේ ‘භාග්‍යවතුන් වහන්සේ දකිනකම් මගේ ජීවිතයට අනතුරක් වෙන්න නම් එපා’ කියලයි. මට ඉක්මනට උන් වහන්සේව දකින්න ඕන. මට විවේක ගන්න ඕන නෑ. මට ගොඩක් වෙහෙසයි තමයි. ජීවිතයේ අනතුර දිහා බලද්දී ඒ වෙහෙස මොකක්ද ? ස්වාමීනී, අවසරයි, මම දැන් ම බුදුරජාණන් වහන්සේ ළඟට යනවා."
ඒ පෙරවරු වේලාව බැවින් බොහෝ ආර්යන් වහන්සේලා නගරයේ පිණ්ඩපාතය වඩිමින් සිටින්නට වූහ. උන් වහන්සේලා අතරින් ශාස්තෘන් වහන්සේ කවුදැ'යි විමසිලිමත්ව බලමින් සිහි විකල් වූවෙකු සෙයින් නගරය වටා දුවමින් බුදුරජාණන් වහන්සේව සොයද්දී රන්වන් සිවුරකින් ශ්‍රී ශරීරය පොරවාගෙන රන් කේසර සිංහ රාජයෙකු සෙයින්, මනාව සුමටව කැටයම් කළ ඝන රන් පිළිමයක් සෙයින් දෙතිසක් මහා පුරුෂ ලකුණින් ද, අසූවක් අනුව්‍යඤ්ජන ලක්ෂණයන්ගෙන් ද ශෝභමානව ස්වර්ණ වර්ණයෙන් බබළමින් පාත්‍රය දරාගෙන, මිහිකත සනසමින් වඩිනා භාග්‍යවතුන් වහන්සේව බාහියගේ ඇස ගැටෙන්නට විය.
දුටු සැණින් ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව හඳුනා ගත් බාහිය සර්වඥයන් වහන්සේ ඉදිරියට පැමිණ දණ මඬුළු බිම හොවා වැඳ වැටී මේ අයුරින් කීවේය.
"ස්වාමීනී, බුදුරජාණන් වහන්ස, මට ධර්මය දේශනා කරන සේක්වා ! සුගතයන් වහන්ස, මට ධර්මය දෙසන සේක්වා...! එය මට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි."
🌼 බුදුරජාණන් වහන්සේ : "පින්වත, මේක ශාස්තෘන් වහන්සේ දහම් දෙසන කාලය නෙවෙයි. පිඬු පිණිස නගරයට වඩින කාලයයි."
🌸 බාහිය : "ස්වාමිනි, මට ජීවිතය ගැන මහා භයක් තියෙනවා. මේ සුළු වෙලාවෙදි ඔබ වහන්සේට අනතුරක් වුණොත් මට බණ පදයක් කියන්නෙ කවුද? මට අනතුරක් වුණොත් බණ පදයක් අහන්නෙ කොහොමද ? අනේ ස්වාමීනී, ජීවිතය ගැන මට මහා භයක් දැනෙනවා. මා කෙරෙහි අනුකම්පාවෙන් දහම් දෙසන සේක්වා !"
( බුදුරජාණන් වහන්සේ නමක් තමන් වහන්සේගේ කැමැත්තෙන් පිරිනිවන් පානා තුරු උන්වහන්සේගේ ජීවිතය තොර කිරීමට සමත් දෙවියෙකු, බ්‍රහ්මයෙකු, මනුෂ්‍යයෙකු, යක්ෂයෙකු හෝ මාරයෙකු හෝ කිසිඳු සත්වයෙකු මේ විශ්වයේ නැත. බාහිය බුදුරජාණන් වහන්සේ ගැන එතරම් දෙයක් නොදන්නා බැවින් ඔහු සිතා සිටියේ බුදුරජාණන් වහන්සේ වුවද යම් අනතුරක් විය හැකි බවයි. "මේ සුළු වෙලාවෙදි ඔබ වහන්සේට අනතුරක් වුණොත් මට බණ පදයක් කියන්නෙ කවුද ?" යනුවෙන් ඔහු කීවේ ඒ නිසාය. )
බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවේත්, තෙවැනි වතාවේත් "පින්වත, මේ ශාස්තෘන් වහන්සේ දහම් දෙසන කාලය නෙවෙයි. පිඬු පිණිස නගරයට වඩින කාලයයි." යනුවෙන් වදාළත් බාහිය නැවත නැවතත් ධර්මය දේශනා කරන ලෙසට අයැද සිටි බැවින් භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් බාහියගේ සිතත් ඔහුගේ අනාගතය පිළිබඳවත් විමසන්නට වූ සේක.
බාහියගේ නිවන් අවබෝධ කිරීමේ කුසලතාවය හොඳින් වර්ධනය වී ඇති බවත් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරී රැස් කළ පින් බොහෝ ඇති බවත් ක්ෂණයකින් ධර්මය අවබෝධ කිරීමේ හැකියාව ඇති බවත්, තව සුළු වෙලාවකින් බාහියගේ ආයුෂ අවසන් වී යන බවත් භාග්‍යවතුන් වහන්සේගේ බුදු ඇසට අරමුණු වූ සේක.
එවෙලෙහි භාග්‍යවතුන් වහන්සේ බාහිය හට මහා කරුණාවෙන් සුළුවෙන් පෙනෙන නමුත් විශාල ධර්ම කාරණයක් ගැබ් වී ඇති මේ දහම් පාඨය මෙසේ වදාළ සේක.
"එවං සික්ඛිතබ්බං
දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති
සුතෙ සුත මත්තං භවිස්සති
මුතෙ මුතමත්තං භවිස්සති
විඤ්ඤානෙ විඤ්ඤාන මත්තං භවිස්සති
එවං හි තෙ බාහිය සික්ඛිතබ්බං
යතො ඛො බාහිය
දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති
සුතෙ සුත මත්තං භවිස්සති
මුතෙ මුතමත්තං භවිස්සති
විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති
තතො ත්වං බාහිය න තෙන
යතො ත්වං බාහිය න තෙන
තතො ත්වං බාහිය න තත්ති
යතො ත්වං බාහිය න තත්ති
තතො ත්වං බාහිය
නෙවිධ න හුරං
න උභය මන්තරෙ
එසෙව නතො දුක්ඛස්ස"
( උදාන පාලිය )
"හොඳයි බාහිය, දැක්කොත් දැකීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, ඇසුවොත් ඇසීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, නාසයට යමක් දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, දිවට රසයක් දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, කයට පහසක් දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, සිතට යමක් සිතුණොත් සිතීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම් ඔබ එතන නෑ. ඔබ එතන නැත්නම්, ඔබ එතනින් පිටතත් නෑ. ඔබ ඒ අතරත් නෑ. ඔබ ඒ අතරත් නැත්නම්, ඔබ මෙලොවත් නෑ. වෙන ලොවකත් නෑ. එයම සියළු දුකේ කෙළවරයි."
භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කෞෂල්‍යය නිසාත් බාහියගේ ප්‍රඥාව නිසාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ බාහියට පරිපූර්ණ ලෙසින් අවබෝධ විය. ඒ මොහොතේ ම බාහිය සියළු කෙලෙසුන් නසා දිරා ගිය දර වස්ත්‍රය දරාගෙන සිටියදී ම අති උතුම් අරහත්වයට පත් වූ සේක.
🌸 බාහිය මහ රහතන් වහන්සේ : "ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මටත් මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබාදෙන සේක්වා...!"
🌼 භාග්‍යවතුන් වහන්සේ : "බාහිය, පැවිදි උපසම්පදාව වීම පිණිස ඔබට පාත්‍රා සිවුරු සම්පූර්ණද ?"
🌸 බාහිය මහ රහතන් වහන්සේ : "භාග්‍යවතුන් වහන්ස, මට පාත්‍රා සිවුරු නැහැ. මම පාත්‍රා සිවුරු සොයාගෙන ඉක්මනින් එන්නම්."
( අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ඇතැම් මහ රහතන් වහන්සේලාගේ ප්‍රාර්ථනා අනුව බුදුරජාණන් වහන්සේගෙන් 'ඒහි භික්ඛු' උපසම්පදාව ලබාගෙන බුද්ධානුභාවයෙන් ඉබේ කෙස් රැවුල් අතුරුදහන් වී සිවුරු පෙරවී පාත්‍රා පහළ වී පැවිදි වී සැට වස් ගෙවූ මහ තෙර නමක් ලෙස පෙනී සිටීම සඳහා ඒ සඳහා ඇති කරගත් පුණ්‍ය සම්පත්තියක් මෙන් ම ප්‍රාර්ථනාවක්ද තිබිය යුතුය. විශේෂයෙන් අට පිරිකර පූජා කර බුදු සසුනක පැවිදි උපසම්පදාව ප්‍රාර්ථනා කළහොත් භාග්‍යවතුන් වහන්සේ නමකගෙන් ඒහි භික්ඛු පැවිදි උපසම්පදාව ලබා ගැනීමට හැකි බව මම අසා ඇත. එසේ වීමට නම් පූජාවේ පිරිපුන් බවත්, දායකයාගේ අප්‍රමාණ ශ්‍රද්ධාව මෙන් ම දැඩි අධිෂ්ඨානයත් තිබිය යුතුය. මෙසේ ඒහි භික්ඛු පැවිද්දට හේතු නොමැති ආර්යන් වහන්සේලාව බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදා කිරීමට පෙර පාත්‍රා සිවුරු සම්පූර්ණ දැයි විචාරන සේක. එමෙන් ම මේ බාහිය මහ රහතන් වහන්සේට අකාලයේ පිරිනිවන් පෑමට පෙර කර්මයක් සැකසී ඇත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව කිසිවක් නොවදාළ සේක. )
භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට වැඩම කළ සේක.
නමුත් බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේට වැඩි දුරක් යන්නට අවස්ථාවක් ලැබුණේ නැත. පෙර ආත්මයක තමා විසින් මරා දැමූ ස්ත්‍රියක් පලිගැනීමේ අදහසින් යක්ෂණියක් ලෙසින් උපත ලබා සෑම ආත්මයක ම ඔහුව මරා දැමීය. මේ ආත්මයේත් ඔහුව මරා දැමීමට නියමිත වේලාව පැමිණෙන තුරු බලා සිටියාය. මේ ආත්මයේ උන්වහන්සේ රහතන් වහන්සේ නමකි. ඒ යක්ෂණියගෙන් පහර කෑමට උන්වහන්සේට සිදු වන නමුත් ඒ උන්වහන්සේට ඒ කර්ම විපාකය ගෙවීමට සිදු වන අවසන් ආත්ම භාවයයි.
කෝපාවිෂ්ඨ වූ යක්ෂණිය මාර්ගයේ සිටි එළදෙනකගේ ශරීරයට ආවේෂ විය. ඉනික්බිති ඇය එළදෙනගේ ශරීරය මෙහෙයවමින් මහ රහතන් වහන්සේ දෙසට පැමිණ උන් වහන්සේ පිරිනිවන් පානා තුරුම බිම පෙරලාගෙන පහර දෙන්නට වූවාය. ඒ මොහොතේ දී බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ ආයු සංස්කාරයෝ අත් හැර දමා අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. මහ රහතන් වහන්සේ නමකගේ ජීවිතය කුරිරු අන්දමින් තොර කර අරහන්ත ඝාතනය නම් ආනන්තරිය පාපය සිදු කර ගත් දුෂ්ඨ යක්ෂණිය එවෙලේම යක්ෂ ආත්මයෙන් චුත වී නරකාදියෙහි පහළ විය.
මෙය දුටු සමහර භික්ෂූන් වහන්සේලා පැමිණ භාග්‍යවතුන් වහන්සේ හට මේ සිදුවීම සැල කර සිටින්නට වූහ.
භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාත් පිරිවරාගෙන බාහිය මහ රහතන් වහන්සේගේ ශ්‍රී ශරීරය වෙතට වැඩම කළ සේක.
බාහිය මහ රහතන් වහන්සේගේ උතුම් ශ්‍රී ශරීරය කසළ ගොඩක ඇඳ වැටී තිබුණි. විඩාබර සිරුර අං පහරින් සිදුරු වී ලෙයින් නැහැවී ගොස් ය. සිරුර අප්‍රමාණ දුක් විඳ ඇති නමුත් සිරුරෙහි හිමිකාරයා නම් සියළු ම දුකින් අතමිදී ඇත. නැවත දුකක් ඒ සිරුර දරා සිටි බාහිය මහ රහතන් වහන්සේ හට කිසි කලෙක නොඑන්නේ ය.
🌼 භාග්‍යවතුන් වහන්සේ : "මහණෙනි, මේ තිබෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරීරයක් නෙවෙයි. වහ වහා ඔය සිරුර සයනයක නංවාගෙන ආදාහනය කර ඉතිරි වන ධාතුන් රැගෙන ස්ථූපයක් කරවීමට කටයුතු කරන්න."
බාහිය මහ රහතන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු කර බුදුරජාණන් වහන්සේ දකින්නට පැමිණි භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසූහ.
"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඒ පුද්ගලයා අද තමයි සැවැත්නුවරට ඇවිත් තියෙන්නෙත්. සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමඟ සුළු වෙලාවක් මොහු කතා කළ බවක්. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද ?"
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
"මහණෙනි, ඒ සිරුර මාගේ ළය මඬලින් උපන් ශ්‍රාවක පුත්‍රයෙකුට අයිති වූවක්. පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය කුලපුත්‍රයා ධර්මය සොයාගෙන ඇවිත් මාව වෙහෙසට පත් කළේ නෑ. සැණෙකින් ධර්මය අවබෝධ කළා. පින්වත් මහණෙනි, බාහිය දාරුචීරිය නම් ඒ ආර්ය ශ්‍රාවක පුත්‍රයා මාගේ ශාසනයේ වහා ධර්මාවබෝධ කළ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍ර තානාන්තර දරන ශ්‍රාවකයා වන්නේ ය."
"සහස්සම්පි චේ ගාථා – අනත්ථපදසංහිතා
ඒකං ගාථාපදං සෙය්‍යෝ – යං සුත්වා උපසම්මති"
"අනර්ථයෙන් යුතු ගාථා දහසක් දෙඩුවත් කිසිඳු ප්‍රයෝජනයක් නැත. ජීවිතාවබෝධය ඇති වන එකම එක ගාථා පදයක් ඇසීමෙන් ජීවිතය සංසිඳෙනවා නම් අන්න ඒ ගාථාපදය උතුම් ය."
භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවෙන් දහම් දෙසූ සේක. දේශනාව අවසානයේ දී බොහෝ භික්ෂූන් වහන්සේලාට දහම් ඇස පහළ විය.
🌷 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌷
මාගේ ස්වාමි වූ තුන් ලොවට එකම පිහිට වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
ක්ෂණයකින් ලබන රහත් බව ලබන භික්ෂූන් අතරින් අග්‍රේෂ්වර වූ ශ්‍රේෂ්ඨ බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා...!!!
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය මෙවැනි ආශ්චර්යමත් බවින් යුක්ත වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගැන සෙයින් ම ඒ මහා සංඝ රත්නය කෙරෙහි තුන් සිත පහදවා ගන්න.
🌷 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌷
උපුටා ගැනිම :- Ravindu Anjana Cooray