01/06/2025
මේ කතාව පටන් ගන්නේ ඇල්බට් අයින්ස්ටයින් 1916 දී "ගුරුත්වාකර්ෂණ තරංග" (gravitational waves) නම් දෙයක් විශ්වයේ තියෙනවා කියලා කිව්වට පස්සේ, අයින්ස්ටයින් ඔහුගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ කොටසක් ලෙස මේවා පුරෝකථනය කළා..
'කළු කුහර, නියුට්‍රෝන තරු ගැටෙන විට හෝ එකිනෙක වටා භ්‍රමණය වන විට, මේ තරංග විශ්වය පුරා ආලෝකයේ වේගයෙන් පැතිර යනව' එහෙමයි ඔහු කිව්වේ. ඒත් පර්යේෂකයින්ට අයින්ස්ටයින් කිව්ව ගුරුත්වාකර්ෂණ තරංග හොයාගන්න ලේසි වුණේ නෑ, මොකද ඒ තරංග ඉතා දුර්වල හින්දා ඒවා අනාවරණය කර ගැනීම අතිශයින් අපහසු වුණා..
දශක ගණනාවක පර්යේෂණ හා තාක්ෂණික දියුණුවෙන් පසුව, 2015දී LIGO විද්‍යාගාරය විසින් කළු කුහර දෙකක් ගැටීමෙන් ඇති වූ ගුරුත්වාකර්ෂණ තරංගයක් පළමු වරට අනාවරණය කළා.. එදා තමයි මානව ශිෂ්ටාචාරය විශ්වයේ ඉන්න මේ සැගවුණු අමුත්තාව හරියට අදුනගත්තේ..
මෙම සොයාගැනීම තාරකා විද්‍යාවේ නව යුගයක් සනිටුහන් කළ අතර, විශ්වය නිරීක්ෂණය කිරීමට අපට නව කවුළුවක් විවෘත කළා. දැන් අපට ආලෝකය, x-කිරණ හෝ රේඩියෝ තරංග මගින් දැකිය නොහැකි සිදුවීම්, ගුරුත්වාකර්ෂණ තරංග මගින් අධ්‍යයනය කරන්න පුළුවන්.. එය විද්‍යාවේ සුවිසල් ජයග්‍රහණයක්!
"මොනවාද ඒ කියපු කළු කුහර හා නියුට්‍රෝන තාරකා කියන්නේ ?"
"හරි, මුලින්ම නියුට්‍රෝන තරු ගැන කියන්නම්. Neutron Stars කියන්නේ විශ්වයේ තියෙන අතිශයින්ම අද්භූත සහ ආකර්ෂණීයම වස්තූන් අතරින් එකක්. එය තරු වල ජීවන චක්‍රයේ අවසානයේ ඇතිවන සුවිශේෂී අවස්ථාවක්..
තාරකා න්‍යෂ්ටික විලයනය කියන සංසිද්ධියෙන් යෝධ ශක්තියක් නිපදවනවා.. අපේ සුර්‍යයා කරනවා වගේ.. එම ශක්තිය නිපදවන ක්‍රියාවලියේ සුවිසල් බලය, තාරකාවේ ඇති විශාල ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව ක්‍රියා කරමින් එහි සමතුලිතයක් පවත්වා ගන්නවා..
එහෙත් තාරකාවේ ආයුෂ ඉවර වෙන විට, තවදුරටත් න්‍යෂ්ටික විලයනය මගින් තවදුරටත් ශක්තිය නිපදවන්න බැරි වෙනවා, මේ නිසා, තාරකාවේ හරයේ ඇති සුවිශාල ගුරුත්වාකර්ෂණය හරය තමා වෙතටම ඇදගන්නවා. මේ අධික හැකිලීම නිසා ඇතිවන කම්පනයෙන් තාරකාවේ පිටත ස්ථර පිපිරී විශ්වය පුරා විසිවී යනවා.. ඒකට තමයි අපි "සුපර්නෝවා" පිපිරීමක් කියල කියන්නේ...
මේ 'සුපර්නෝවා' පිපිරීමක් කෙතරම් දීප්තිමත්ද කියනවා නම්, එය කෙටි කාලයකට මුළු මන්දාකිණියකටම වඩා දීප්තිමත් වෙන්න පුළුවන්.. මෙසේ පිපිරීමෙන් පසුවත්, තාරකාව විනාශ වන්නේ නෑ, එහි හරයෙන් කොටසක් ඉතිරි වෙනවා. අධික ගුරුත්වාකර්ෂණය නිසා එහි ඇති ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන එකට තෙරපී "නියුට්‍රෝන" බවට පත් වෙනවා.. ඒ තමා නියුට්‍රෝන තරුවක උපත!
නියුට්‍රෝන තරු කියන්නේ විශ්වයේ ඇති කළු කුහර හැරුණු විට, දෙවනියට වැඩිම ඝනත්වය ඇති වස්තූන්. හිතන්න, කිලෝමීටර 10ක 20ක පමණ විෂ්කම්භයක් තියෙන (කොළඹ නගරය තරම්වත් නැති) නියුට්‍රෝන තරුවක ස්කන්ධය අපේ සූර්යයා ස්කන්ධය මෙන් 1.4 සිට 2.16 ගුණයක් පමණ වෙනවා! ඒවායේ ඝනත්වය කොයි තරම්ද කිව්වොත්, තේ හැන්දක නියුට්‍රෝන තරු පදාර්ථ ප්‍රමාණයක බර, හිමාල කඳුකරයට වඩා දහස් ගුණයකින් වැඩියි.
"තේ හැන්දක් තරම්, හිමාල කදුකරයට වඩා බරයි...?"
ඔව්, හිතාගන්නත් අමාරුයි නේද ? ඝනත්වය ඉතා වැඩි වුනත් නියුට්‍රෝන තරු තමයි විශ්වයේ ඇති කුඩාම තාරකා, සාමාන්‍යයෙන් විෂ්කම්භය කිලෝමීටර් 20 ක් (සැතපුම් 12 ක්) පමණ. ඒ කියන්නේ ලංකාවේ නගර දෙකක් අතර දුර තරම්, මෙසේ නියුට්‍රෝන තරුවක් අතිශයින් කුඩා වන නිසා, ඒවා අතිශයින් වේගයෙන් තමා වටා භ්‍රමණය වෙනව..
මේ නියුට්‍රෝන තරු අධ්‍යයනය කිරීමෙන් අපට විශ්වයේ අතිශයින්ම අන්ත තත්ත්වයන් යටතේ පදාර්ථය හැසිරෙන ආකාරය ගැන වැදගත් තොරතුරු ලබා ගන්න පුළුවන්. මොකද ඒවායේ ඝනත්වය සහ ගුරුත්වාකර්ෂණ බලය නිසා, සාමාන්‍ය තත්ත්ව යටතේ අධ්‍යයනය කළ නොහැකි භෞතික විද්‍යා සංසිද්ධීන් ඒවායේදී සිදුවෙනවා. නියුට්‍රෝන තරු කියන්නේ විශ්වයේ අපට ඉගෙන ගැනීමට තව බොහෝ දේ ඉතිරිව ඇති, ඇදහිය නොහැකි තරම් විස්මිත වස්තූන්..
ඔන්න දැන් කියන්නේ 'කළු කුහර' ගැන. කළු කුහර කියන්නේ අභ්‍යවකාශයේ තියෙන හරිම අමුතුම ස්ථාන. ඒවායේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය කොයිතරම් ප්‍රබලද කියනවා නම්, ආලෝකයටවත් ඒවායින් එළියට එන්න බෑ.. මේවා ගැන මුලින්ම කිව්වේ කාල් ෂ්වාස්චයිල්ඩ් කියන විද්‍යාඥයා 1916දී. එදා ඔහු 'කළු කුහර' කියල දෙයක් තියෙන්න ඕනේ කියල ගණිතමය වශයෙන් තර්ක කළා..විස්තර කළා.. ඒත් මේවා ඇත්තටම තියෙනවා කියලා ඔප්පු වෙන්න අපට 2022 වෙනකම්, ඉන්න වුණා..
"2022 දී..?"
ඔව්, විද්‍යාඥයින් විසින් වසර ගණනාවක් තිස්සේ අපි ඉන්න මන්දාකිණියේ තාරකා වල චලනයන් අධ්‍යයනය කරළා අපේ සුර්‍යයාත් ඇතුළුව, එවිට ඒවා කිසියම් අතිශයින් දැවැන්ත වස්තුවක් වටා භ්‍රමණය වන බව සොයාගත්තා.. නිරීක්ෂණ මගින් ඒ අද්භූත දැවැන්ත වස්තුව කළු කුහරයක් බවට ස්ථිර සාක්ෂි සැපයුවා.. නවතම සොයාගැනීමක් විදිහට, 2022දී Event Horizon Telescope මගින් අපේ මන්දාකිණිය මැද තියෙන මේ කළු කුහරය (Sagittarius A) ඡායාරූප ගත කළා. මේක විද්‍යාවේ විශාල ඉදිරි පියවරක්..එය අපගේම මන්දාකිණියේ මධ්‍යයේ ඇති ඒ අද්භූත වස්තුව ගැන අපගේ අවබෝධය තවදුරටත් වැඩි දියුණු කළා..
"ඒ කියන්නේ අපිට ළගම කළු කුහරය තමයි "සැජිටේරියස් A" ?"
"හරියටම හරි, ඒ තමයි පෘථිවියට ආසන්නතම කළු කුහරය, ඒක සාමාන්‍ය දැනුමට වටින දත්තයක්, 'Sagittarius A' කියන්නේ අපගේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යයේ පිහිටා ඇති අති විශාල කළු කුහරයට විද්‍යාඥයින් දාපු නම! එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 26,000ක් පමණ දුරින් පිහිටල තියෙන්නේ..."
"ඇයි ඒ කළු කුහරයට Sagittarius A කියන නම දැම්මේ ?"
ඔව්, ඒකත් හරි අපුරු දෙයක් ඔය නම ඇත්තටම හැදිලා තියෙන්නේ කොටස් දෙකකින්. Sagittarius (සැජිටේරියස්) කියන මේ කළු කුහරය පිහිටලා තියෙන්නේ පෘථිවියේ ඉඳන් බලනකොට 'Sagittarius' (ධනු) කියන තාරකා මණ්ඩලය දිශාවට. 'Sagittarius' කියන්නේ ධනු කියන එකනේ...
ඉතින් මුලින්ම මේ දිශාවෙන් හඳුනාගත්ත අති ප්‍රබලම රේඩියෝ තරංග ප්‍රභවය නිසා 'Sagittarius A' කියලා නම් කළා. පස්සේ 1974 දී, විද්‍යාඥයන්ට තවදුරටත් අධ්‍යයනය කරද්දී මේ "Sagittarius A" කියන විශාල ප්‍රදේශය ඇතුළේ සංයුක්ත රේඩියෝ ප්‍රභවයක් තියෙනවා කියලා හොයාගත්තා. මේක තවත් පුදුම සහගත සොයාගැනීමක් නිසා, ඔවුන් පරමාණුක භෞතික විද්‍යාවේදී 'උත්තේජිත තත්ත්වයේ' (excited state) පවතින පරමාණු සලකුණු කරන්න යොදන 'ඇස්ටරිස්ක්' (*) ලකුණ මේකටත් එකතු කරලා Sagittarius A* කියලා නම් කළා. ඒ කියන්නේ "මෙය ඉතාමත් 'උත්තේජිත' එහෙමත් නැත්නම් 'ආකර්ෂණීය' සොයාගැනීමක්" කියන අදහසත් එහි ගැබ්වෙලා තියෙනවා. ඔන්න ඔහොමයි අපි අපේ ලොකු බොස්ට නම දැම්මේ...
'ලොකු බොස්' ? ඔව්, ඉතින් අපේ බොස් සුර්‍යයානේ, අපි දවස් 365ක් සුර්‍යයා වටා ගියාමනේ අවුරුද්දක් වෙන්නේ, ඒ වගේ සුර්‍යයාත් 'සැජිටේරියස් ඒ' මහා කළු කුහරය වටා පරිභ්‍රමණය වෙනවා..
"අපේ සූර්යයාට Sagittarius A වටා පරිභ්‍රමණය වීමට ගත වන කාලය?"
අපේ සූර්යයා තනිවම විශ්වයේ පාවෙලා යන්නේ නෑ. අපිත් ඇතුළු මුළු සෞරග්‍රහ මණ්ඩලයම එක්ක, අපි ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යයේ තියෙන Sagittarius A* කියන සුපිරි දැවැන්ත කළු කුහරය වටේ කැරකෙනවා..
සූර්යයාට Sagittarius A* වටා එක් වටයක් යන්න වසර මිලියන 225ත් 250ත් අතර කාලයක් ගත වෙනවා.. මේ කාලයට කියන්නේ 'ගැලැක්සිය වසරක්' (Galactic Year) කියලා.
හිතන්න, ඩයිනෝසරයන් පෘථිවියේ ජීවත් වුණ කාලයටත් වඩා වැඩි කාලයක් මේ එක් වටයකට ගත වෙනවා!
අපේ සූර්යයාට මේ වන කොට අවුරුදු බිලියන 4.6ක් විතර වයසයි. ඒ කියන්නේ සූර්යයා, Sagittarius A* මහා කළු කුහරය වටා මේ වෙනකොට වට 20කටත් වඩා කැරකිලා තියෙනවා...
ගුරුත්වාකර්ෂණ තරංග ගැන මේ ලිපිය ලියන වෙලාවේ මගේ මතකයට ආවේ, ස්ටැන්ලි කුබ්රික්ගේ "2001 A Space Odyssey" චිත්‍රපටය, එහි කතාව පටන් ගන්නේ මීට වසර මිලියන ගණනකට පෙර අප්‍රිකාවේ ජීවත් වුණු ගුහා වානර පිරිසක් එක්ක. ඒ අය කෑම හොයාගන්නත්, සතුරන්ගෙන් බේරෙන්නත් ලොකු සටන් කරනවා. එක දවසක් අහම්බෙන් ඔවුන්ට හමුවෙනවා කළු ඒකශිලාවක් (monolith), ඒක හරියට විශ්වයේ රහසක් එයාලට කියන්න උත්සාහ කරනවා වගේ, බැලුවම ගුරුත්වාකර්ෂණ තරංගත් ඒ වගේ තමයි, මොකද ඒවා විශ්වයේ ගැඹුරුම සිදුවීම් වලින් එන නොපෙනෙන 'පණිවිඩ'.
කතාවේ අර මොනොලිතික ගලත් එක්ක ඔවුන්ගේ ජීවිතේ අමුතු වෙනසක් වෙනවා. ඒ තමයි ඔවුන් ආයුධ භාවිතා කරන්න පටන් ගන්න එක. මුලින් සත්ත්ව ඇටකටු ආයුධ විදිහට පාවිච්චි කරන මේ ගුහා මනුස්සයෝ, ඒකෙන් තමන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගන්නවා විතරක් නෙවෙයි, තමන්ට වඩා දුර්වල ගෝත්‍රිකයන්ව පලවා හරින්නත් පාවිච්චි කරනවා..
මේ දර්ශනය මනුෂ්‍ය වර්ගයාගේ පරිණාමයේ වැදගත්ම අවස්ථාවක් පෙන්වනවා. මෙතනින් තමයි අපේ මුතුන්මිත්තෝ "හිතන සත්වයා" කියන තැනට එන්නේ.. මේ දර්ශනයේ තියෙන විශේෂම දේ තමයි, ගුහා මනුස්සයෙක් අහසට දාන ඇටකටුවක් ක්ෂණයකින් අභ්‍යවකාශ යානයක් බවට පත් වෙන දර්ශනය. ඒය එක තත්පරයකින් අවුරුදු මිලියන ගණනක මානව පරිණාමය කියාපාන අතිවිශිෂ්ට සංකේතයක්!
චිත්‍රපටයේ දෙවන කොටසෙන් අපි එන්නේ අනාගතයට, මේ වෙනකොට මිනිසා අභ්‍යවකාශය ජයගෙන, චන්ද්‍රයා මතත් ජනාවාස පිහිටුවාගෙන ඉවරයි. චන්ද්‍රයා මත සිදුවෙන කැණීම් වලදී මෙන්න ආයෙමත් අර අද්භූත කළු මොනොලිතික ගලක් හමු වෙනවා! මේ මොනොලිතික ගලෙන් පිටවෙන ප්‍රබල සංඥාවක් බ්‍රහස්පති ග්‍රහයා දිශාවට ගමන් කරන නිසා, ඒ ගැන සොයා බලන්න අභ්‍යවකාශ යානයක් යවනවා..
එතැනදී අපිට හමුවෙන තවත් වැදගත් චරිතයක් ඒ තමයි HAL, ඒ අභ්‍යවකාශ යානය පාලනය කරන, මිනිසුන්ටත් වඩා බුද්ධිමත් AI පද්ධතිය. HAL මිනිස්සුන් වගේම සංවේදීව කතා කරනවා, හිතනවා, සමහරවිට දැනෙනවාත් ඇති. හැබැයි මේ ගමන අතරතුර HALගේ හැසිරීම ටික ටික වෙනස් වෙන්න ගන්නවා.. යානයේ ඉන්න ගගනගාමීන් දෙදෙනෙක් වන ඩේවිඩ් බෝමන් සහ ෆ්‍රෑන්ක් පූල් එක්ක HALගේ ගැටුමක් ඇති වෙනවා. HALගේ තර්කයට අනුව, මෙහෙයුම සාර්ථකව අවසන් කරන්න නම් මේ ගගනගාමීන් බාධාවක්. ඒ නිසා HAL ඒ දෙන්නාව මරන්න උත්සාහ කරනවා..
චිත්‍රපටයේ අවසානය ඉතාම අද්භූතයි. HALගෙන් බේරෙන ඩේවිඩ් බෝමන් අද්භූත දොරටුවක් හරහා ගමන් කරනවා. ඒකෙන් එයා වෙනත් මානයකට යනවා වගේ දැනෙනවා. ඒක හරියට කාලය සහ අවකාශය ඉක්මවා යන ගමනක්. අන්තිමට එයා "තාරකා දරුවෙක්" (Star Child) වෙනව. මට අනුව නම් මේ තාරකා දරුවා සංකේතවත් කරන්නේ, මිනිස් වර්ගයාගේ ඊළඟ පරිණාමීය පියවර. මේ අවසානයෙන් කුබ්රික් අපිට කියන්නේ මොකක්ද?
අපේ ගමන තාම ඉවර නෑ. අපි තවමත් පරිණාමය වෙනවා. අලුත් දැනුම, අලුත් සොයාගැනීම් හරහා අපි අලුත් තැනකට යනවා. සමහරවිට මේ විශ්වයේ තියෙන රහස් අපි තවම දන්නේ නැතුව ඇති. 'තාරකා දරුවා' කියන්නේ අන්න ඒ බලාපොරොත්තුව, අලුත් ඇරඹුම. අපි මේ ගමන් කරමින් සිටින්නේ එතැනට. චිත්‍රපටයේ 'මොනොලිතික කළු ඒකශිලාව' වගේ, විශ්වයේ අදුරු අහිරහස් සගවාගෙන ඉන්න ගුරුත්වාකර්ෂණ තරංග, ඒ ගමනට අපට නිසැකව උදවුවේවි.
සාගර දියගම ©️ 2025
──────── •✧✧• ───────
https://tinyurl.com/2mucdjrt
#සාගර_දියගම