13/04/2024
සැබෑම සූර්යා උදා වෙන සුභ සූර්ය මංගල්‍යයක් වේවා!
අලූත් අවුරුද්දත් ලැබුවා නේද?
ලැබූ අවුරුද්ද ඇත්තටම සුභ කර ගන්නට එහෙනම් කැප වෙමු ද?
ඔව් මේ දැන්ම!
පසුගිය අවුරුද්ද පුරාවට තමන්ටත් අනුන්ටත් අයහපත් ලෙසින් කියපු, කරපු, හිතපු දේවල් සිහිපත් කර ගන්න. නැවත එහෙම නො කරන්නට අදිටනක් ගන්න!
පසුගිය අවුරුද්ද පුරාවට තමන්ටත් අනුන්ටත් යහපත් ලෙසින් කියපු, කරපු, හිතපු දේවල් සිහිපත් කර ගන්න. එවැනි යහපත් ජීවිතයක් සකස් කර ගන්න මේ වසරේ දීත් කැප වෙනවා යැයි අදිටන් කර ගන්න!
අවුරුදු නැකත හරියට ම හරි යන්නේ ඉතාමත් සතුටු සිතින්, ප්‍රසාද සිතින් කාටවත් අයහපතක් නො පතන සිතකින් යමක් කියන, කරන, සිතන විටයි!
ඒ නිසා අන්න ඒ නැකත හරියට ම ලබා ගන්න! නැකත් වෙලාව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණාට කලබල වෙන්න එපා හොඳේ!
තමන් එක්ක එකට එකතු වෙලා අවුරුදු සමරන පිරිසට සිතිවිල්ලකින් වත්, වචනයකින් වත්, ක‍්‍රියාවකින් වත් හිත් රිදවීමක් අයහපත් වූ දෙයක් නොවේවා කියලා අදිටන් ඇතිව ඒ සිහියෙන් ම කටයුතු කරන්න!
*අවුරුදු කියන්නේ අපට අමතක ව යන යහපත් කටයුතු බොහෝමයක් නැවත අපට සිහිපත් කර ගන්න අවස්ථාවක්!
*ගිය අවුරුද්දේ වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ ඤාති හිත මිත්‍රාදීන් ගේ අසල්වැසියන්ගේ සිත් රිදෙව්වා නම් බුලත් අතක් දීලා වැඳලා සමාව අරගෙන ඒ අයගේ ප‍්‍රසාද සිතින් ආශිර්වාදය ලබා ගන්න!
ගනු දෙනු කරන වෙලාවට තමන්ගේ ණය ගනු දෙනු නැති කරන්නට කටයුතු කරනවා කියන අදිටනින් යුතුව ගනු දෙනු කර ගන්න!
ළිඳට... ලිපට වන්දනා කරන චාරිත්‍රය තුලින් අදහස් කරන්නේ තමන්ගේ හදවත් තුල තමන් ලැබූ දේවල් වලට කෘතඥ පූර්වක වෙලා කෘතවේදී ගුණය වර්ධනය කර ගන්න ඕන කියන දේ බව සිහිපත් කර ගන්න!
පෙනෙන නොපෙනන හැමෝටම සතුටක් ගෙන දෙන... යහපත් වූ සත්පුරුෂයෙක් වෙනවා කියලා අදිටන් කර ගන්න!
අන්න ඒ ගුණ දහම් පෝෂණය කර ගන්න වරදින්නේ නෑ!
*සූර්ය උදාව ලෙසින් සංකේතවත් කරන අවුරුද්ද තුලින් සම්මා සම්බුද්ධ රත්නය නම් වූ උත්තම සූර්යයා ව තමන්ගේ ජීවිතයට උදා කර ගන්නවා කියලා අදිටන් කර ගන්න!
*මේ සත්පුරුෂ භූමිය සකස් කර ගන්න ඔබට ආර්ය ධර්මය වැඩි ඈතක වෙන්නේ නෑ!
මම සැබෑ බෞද්ධයෙක් මම ඔය මිත්‍යාව වපුරන්නේ නෑ කියමින් මේ සම්මත සිරිත් විරිත් වලට අගෞරව කරමින් දූෂ්‍ය වූ සිතකින්, දූෂ්‍ය වූ වචනයෙන්, දූෂ්‍ය වූ කටයුතු කරනවා නම් ඒ ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා ඇති කර ගත් ඔබ සම්මා දිට්ඨියෙක් වෙන්නෙත් නෑ! සැබෑ බෞද්ධ බවට නම් තවමත් ගොඩක් දුරයි!
ඒ නිසා සම්මත කර ගත් කටයුතු නිවැරදිව යහපත් ලෙසින් සත්පුරුෂ ගුණ දහම් වැඩෙන ආකාරයෙන් කර ගන්නට උපකාරයක් වීම... ඒ තුලින් ම ආර්ය වූ නිවන් අවබෝධ කරන ධර්මය කරා ලං වීමට මග විවර කර දීම සැබෑ බෞද්ධයා ගේ ස්වභාවයයි!
මේ දේවල් අපගේ ජීවිත වල කියා දුන්න උත්තම සුර්යා වූ සම්මා සම්බුද්ධ රත්නය සිහිපත් කර ගෙන උතුම් තෙරුවන සිහිපත් කර ගෙන යහපත් වූ සත්පුරුෂ වූ ජීවිතයක් සකස් කර ගන්නට උපරිමයෙන් කැප වෙනවා යන අදිටන ඇතිව වසර අරඹන්නට ඔබට සියලූ දෙවි රැකවරණයත් උතුම් තෙරුවනේ අනන්ත ආශීර්වාදයත් ලැබේවා! ජයෙන් ජයම වේවා! සුභ වූ මංගල කාරණාම ලැබෙන යහපත් වූ සූර්ය මංගල්‍යයක්ම වේවා! 💖🙏😇💖🪷🪷🪷🙏🙏🙏