16/10/2025
කසාදෙන් පස්සේ පිරිමියා, පවුල නඩත්තු කරන මැෂිමක් විතරද?
හැම කොල්ලෙක්ම කසාද බඳින්නේ ලස්සනම හීනයක් එක්ක. තමන්ගේම කියලා ආදරණීය ලෝකයක් හදාගෙන, ඒ ලෝකේ රජා වගේ ජීවත් වෙන්න. ඒත් ඇත්තටම කසාදෙන් පස්සේ බහුතරයක් පිරිමින්ට වෙන්නේ ඒ හීන දැකපු කොල්ලව හිතේ කොනක හංගලා, පවුල නඩත්තු කරන මැෂිමක් වෙන්න. ආදර කතාව ඉවර වෙලා, වගකීම් කියන පොතේ පිටු පෙරළෙන්න පටන් ගන්නේ එතැන ඉඳන්.
කසාදෙට කලින් යාළුවොත් එක්ක රස්තියාදු ගහපු, තමන් ආසම දේ වෙනුවෙන් කාලය හොයාගත්තු, හිතේ හැටියට හිනා වෙච්ච එකා, කසාදෙන් පස්සෙ උදේ ඉඳන් රෑ වෙනකල් දුවන දුවවිල්ලක හිර වෙනවා. එයාගේ හීන මල්ල පැත්තකින් තියලා, බිරිඳගේ අවශ්‍යතා, දරුවන්ගේ අධ්‍යාපනය, ගෙදර වියදම් කියන බර මල්ල කරට ගන්නවා. ලෝකේ දිනන්න හිතාගෙන හිටපු එකා, මාසේ බිල් ටික ගෙවාගන්න කරන සටන ඇතුළේ අතරමං වෙනවා.
ගෙදර හැමෝගෙම සතුට හොයන මේ පිරිමියාගෙන් කවුරුහරි ඇත්තටම අහනවද "ඔයා සතුටින්ද?" කියලා? දවසම ඔෆිස් එකේ ප්‍රධානීන් එක්ක, වැඩ එක්ක ඔට්ටු වෙලා, හිතේ තියෙන පීඩනය හංගගෙන ගෙදර එනකොට, එයා බලාපොරොත්තු වෙන්නේ ආදරණීය වචනයක්, හිතට නිදහසක්. ඒත් ගොඩක් වෙලාවට එයාට අහන්න ලැබෙන්නේ ගෙදර අඩුපාඩු, කරන්න තියෙන වැඩ ලැයිස්තුවක්. තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ හිතේ තෙහෙට්ටුව කාටවත් කියන්න බැරුව, "පිරිමියෙක් නේද, ඕව දරාගන්න ඕන" කියන සමාජ සම්මතය ඇතුළේ එයා තනියම හිර වෙනවා.
දරුවෙකුට සෙල්ලම් බඩුවක් අරන් දුන්නම, බිරිඳට ලස්සන ඇඳුමක් අරන් දුන්නම ඒ මුහුණුවල තියෙන සතුට දිහා බලලා එයා තාවකාලික සතුටක් ලබනවා. ඒත් ඒ සතුට වෙනුවෙන් එයා කොච්චර දේවල් කැප කළාද, කොච්චර මහන්සි වුණාද කියලා ඒ අයට තේරෙනවද? ගහේ ගෙඩි කන අයට ගහ වවපු එකාගේ දාඩිය පේන්නෙ නෑ වගේ, එයාගේ මහන්සියෙන් ලැබෙන දේවල් හැමෝම භුක්ති විඳිද්දී, ඒ මහන්සිය පිටුපස ඉන්න මනුස්සයව ගොඩක් අයට අමතක වෙනවා.
අන්තිමේදී, එයා හැමෝගෙම අවශ්‍යතා ඉටුකරන, සල්ලි හොයන යන්ත්‍රයක් බවට පත් වෙනවා. එයාගේම ආශාවන්, එයාගේම සතුට ගැන හිතන්න වෙලාවක් නැති වෙනවා. තමන්ගේ ජීවිතේ අනුන්ගේ සතුට වෙනුවෙන්ම කැප කරලා, දවසක හැරිලා බලනකොට එයාට පේන්නේ තමන් කියලා කෙනෙක් ජීවත් වෙලා නෑ, තමන් කියන චරිතය අනුන් වෙනුවෙන් රඟපාලා විතරයි කියලා.
මේක තමයි බහුතරයක් පිරිමින්ගේ නොකියන කතාව. එයාලා හැමෝම සතුටු කරවන්න ගිහින්, තමන් සතුටු වෙන්න අමතක වෙනවා. තමන්ම ගොඩනගපු ලස්සන පවුල කියන මාලිගාව ඇතුළේ, එයා තමන්ගේම ජීවිතයේ සිරකරුවෙක් වෙලා ඉවරයි. අන්තිමට ඉතුරු වෙන්නේ තමන් ලියපු කතාවේ, තමන්ටම අමතක වුණු වීරයා විතරයි.
ලියන්නේ-විමා