19/05/2026
🌙 බටහිර අහසේ නිරීක්ෂණය වන දුර්ලභ ග්‍රහ සංයෝජනය පිළිබඳවයි මේ සටහන. ✨
අද (2026 මැයි 19) සන්ධ්‍යාවේ ඔබට බටහිර අහස දෙස බැලීමෙන් ඉතාමත් අලංකාර සහ දුර්ලභ දර්ශනයක් දැක බලා ගැනීමට අවස්ථාව උදාවේ. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝක දෙක වන සිකුරු (Venus) සහ බ්‍රහස්පති (Jupiter), සිහින් අඩ සඳ (Crescent Moon) සමඟ එක්ව මිථුන රාශි (Gemini) කලාපයේ අපූරු පෙළගැසීමක් නිර්මාණය කර ඇත.
එම සුවිශේෂී තාරකා විද්‍යාත්මක සංසිද්ධිය පිළිබඳවයි මෙම තොරතුරු විග්‍රහය.
මේ අපූරු දර්ශනය නැරඹීම සඳහා ඔබට දුරේක්ෂ (Telescopes) අවශ්‍ය නොවන අතර පියවි ඇසින්ම ඉතා පැහැදිලිව දැකගත හැකියි.
හිරු බැස යෑමෙන් පසු (සන්ධ්‍යා යාමයේ) සිට රාත්‍රී 11:00 පමණ වන තෙක් මෙම දර්ශනය ඔබට බටහිර - වයඹ (West-Northwest) අහසේ දැකගත හැකිය. සූර්යයා බැස ගොස් විනාඩි 30ක සිට පැය 2ක් ඇතුළත කාලය මෙය වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකිය.
මෙම ග්‍රහයන් බටහිර ක්ෂිතිජයට මඳක් ඉහළින්, පහත් මට්ටමක පිහිටන බැවින්, උස් ගොඩනැඟිලි, විශාල ගස් හෝ කඳු පන්තීන්ගෙන් තොර බටහිර අහස පැහැදිලිව පෙනෙන ස්ථානයක් තෝරා ගැනීම වැදගත්ය.
අද රාත්‍රියේ (මැයි 19) මෙම ආකාශ වස්තූන් ත්‍රිත්වය සෞරග්‍රහ මණ්ඩලයේ තලයට (Ecliptic) අනුකූලව අහසේ අපූරු ආනත රේඛාවක් සේ පෙළගැසී පවතියි.
මෙහිදී, ක්ෂිතිජයට ආසන්නයෙන්ම රිදී පැහැයෙන් බැබළෙන සිකුරු ග්‍රහයා (-3.9 Magnitude දීප්තියෙන්) පිහිටන අතර, ඊට ඉහළින් රන්වන්-සුදු පැහැයෙන් බ්‍රහස්පති ග්‍රහයා (-1.9 Magnitude දීප්තියෙන්) බබළයි. මේ දෙදෙනා මැදින්, සියයට 10ක් පමණක් ආලෝකමත් වූ ඉතා සිහින් පුර පක්‍ෂයේ අඩ සඳ පිහිටන අතර, එය අහසේ ඇඳි "සිනහවක්" (Sky Smile) මෙන් දිස්වේ.
හෙට (මැයි 20) වන විට චන්ද්‍රයා තවත් ඉදිරියට ගමන් කර බ්‍රහස්පති ග්‍රහයාට මඳක් ඉහළින් පිහිටන ආකාරය දැකගත හැකි වනු ඇත. මෙම තිදෙනා පසුබිම් වන්නේ මිථුන තාරකා මණ්ඩලයේ (Gemini Constellation) සිටින කැස්ටර් සහ පොලක්ස් (Castor and Pollux) යන නිවුන් තරු යුගලයටයි.
මැයි 20 දිනෙන් පසු චන්ද්‍රයා මෙම කලාපයෙන් ඉවතට ගමන් කළද, සිකුරු සහ බ්‍රහස්පති ග්‍රහයන් දෙදෙනා දිනෙන් දින එකිනෙකාට සමීප වෙමින් ගමන් කරයි. මෙහි උපරිම අවස්ථාව ලෙස 2026 ජූනි 8 සහ 9 යන දිනවලදී සිකුරු-බ්‍රහස්පති අතර අතිශය දුර්ලභ, ඉතා ළඟින් සිදුවන මහා ග්‍රහ සංයෝගයක් දැකගත හැකි වනු ඇත.
එබැවින්, අද සන්ධ්‍යාවේ බටහිර අහසේ මැවෙන මේ විශ්වීය සුන්දරත්වය නෙත් පුරා විඳගැනීමට අමතක නොකරන්න!
Written by: Aloka Weerakoon
Designed by: Rashmila Senadheera