19/09/2025
පාන්දර 5 කියන්නේ මටනම් දිව්‍යලෝකයක් ....
( ඒත් මේ ෆොටෝ එක ගද්දිනම් 6 විතර උනා )
දැන් දැන් උදේ නැගිටින එක චුට්ටක් අපහසු උනත් , වැඩ ටික ඉවර කලාම දැනෙන සතුට .....
මුණ සෝදලා නිදන ඇදුමත් මාරු කරගෙන වතුර විදුරුවකුත් පුරවාගෙන balcony එකට ගියාට වතුර ඔක්කොම ටිකනම් බොන්න බෑ ඉතින්.
ගෙමිදුලෙත් ලොකු ඉඩකඩක් නැති නිසා balcony එකේ පෝච්චි කීපෙක වවලා තියන මල් වල සුන්දරත්වය විදින ගමන්ම ඇස් දෙක හැරෙන්නෙ අහස දිහාවට , හරි අසාවෙන් ඉල්ලපු ප්‍රාර්ථනාව ඉෂ්ට උනාට විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඒ ගමන්ම කුසටත් අත තියල පුංචි පැටියට ස්තුති කරන්නෙ, මාව තෝරගත්තට.
උදේ පාන්දර හමන සීතල සුළගත් විදගන කුස්සියට ඇවිත් phone එකෙන් youtube පැත්තට යන්නේ වෙන දේකට නම් නෙවෙයි වැඩ ටික කරන ගමන් අහන්න පිරිත් ටිකක් දාන්න. උදෙන්ම පිරිත් දේශනාවක් ඇහෙද්දී හිතට දැනෙන්නේ හරිම නිවුණු , ශාන්ත හැගීමක්. අර කලින් ඉවර කරන්න බැරි උන වතුර වීදුරුවත් පේන මානයෙන් තියාගත්තම වැඩ කරන ගමන් ටිකෙන් ටික ඉවර කරන්න පුළුවන්.
ඉතින් මේ කාලේදී තමන්ගේ සමීපතමයන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන එකනම් කොහෙත්ම වැරදි දෙයක් නෙවෙයි.
වෙනදාටත් වඩා උදෙන්ම අවදිවෙලා එන කුස්සිය පැත්තට එන husband එක්ක එකතුවෙලා උයන පිහන වැඩ ටික ඉවර කර ගන්න එක වෙහෙස අඩු කරන්න විතරක් නෙවෙයි මානසික සතුටටත් හේතුවක් වෙනවා.
බුදුන්ට මල් පහන් පුජා කරලා පාන්දරින්ම දෙන්නත් එක්ක එකට වාඩිවෙලා කෑම කද්දී නිසි වෙලාවට දරුවට අවශ්‍ය පෝෂණයත් ලැබෙනවා. ඒ වගේම කතාවෙන් කතාවෙන් කෑම ගද්දි , මේ කාලේදී සාමාන්‍යයෙන් දැනෙන ආහාර ගැනීමේ අපහසුතාත් වලක්වා ගන්නත් උදව්වක් වෙනවා.
Work from home කරන නිසා මම ගෙදරම ඉන්නවා උනාට husband ගියාම දැනෙන පාළුව යන්නත් එක්ක Positive Energy Vibration එකක් තියන සින්දු ටිකක් දාගෙනම , නිදන ඇද අස් කරලා ගෙදර චුට්ටක් අතුගාල පිළිවෙල එකෙන් නොදැනීම පොඩි ව්‍යයාමයකුත් ශරීරයට ලැබෙනවා. රාජකාරියට යන කෙනෙක්ට උනත් transport එකේදී headset එක දාගෙන හොද සංගීතයකට සවන් දෙන්න පුළුවන් නම් ඒක දවසට හොද ආරම්භයක් ගේන බව සහතිකයි.
මේ කාලේදී බර වැඩ කරන්න සුදුසු නෑ තමයි , පුංචි කෝප්පයක් අරගෙන මල් පැල , එළවලු පැල ටිකට වතුර ටිකක් දාල පොඩි සාත්තුවක් දෙන එක මනස ප්‍රබෝධමත් කරන්න හේතුවක් වෙනවා.
ඉතින් දවසේ රාජකාරි වැඩ ආරම්භ කරන්න කලින් wash එකක් දාල , පිරිසිදු සුව පහසු ඇදුමක් ඇදල , පුරවපු වතුර බෝතලයකුත් ලගට ගන්නම ඕනි. මොකද නිතරම hydrated වෙලා ඉන්න එක වෙනදාටත් වඩා මේ කාලේදී හරිම වැදගත් නිසා.
දවස පුරාවට නිසි පෝෂණය , කෙටි ආහාර වේල් ගැන උනන්දු වෙන්ව වගේම මෛත්‍රිය , කරුණාව පිරුණු යහපත් මනසක් දවස පුරා පවත්වා ගන්නත් පුරුදු පුහුණු වෙන්නම ඕනි.
ඉතින් හැන්දෑවට husband එක්ක ටික දුරක් ඇවිදලා ඇවිත් පිරිසිදු වෙලා Relaxing Calming Music එකකට සවන් දෙන ගමන් husband ට කියලා back shoulder and leg massage එකක් ඉල්ල ගන්න එකත් නරකම අදහසක් නෙවෙයි. Body එක relax කරගන්න වගේම හොද සුව පහසු නින්දක් ලබන්නත් මේක හේතුවක් වෙනවා
සති අන්තෙදි බෝධි පුජාවක් සිද්ධ කිරීම හෝ තමන් අදහන ආගමික සිද්ධස්ථානයකට ගිහින් වැද පුදාගෙන ටිකක් කාලය ගත කරලා එන්න පුළුවන් නම් පුංචි පැටියත් කුසේ ඉදන්ම ඒවාට පුරුදු පුහුණු වෙයි.
කෙනාගෙන් කෙනාට මේ දේවල් වල ප්‍රයෝගික බව වෙනස් උනත් , නිරෝගී, බුද්ධිමත් වගේම ලස්සන ගුණයහපත් දරුවෙක් බලාපොරොත්තු වෙන ඕනෑම අම්මා කෙනෙක්ගේ මානසික සුවතාව පවත්වා ගැනීම හරිම වැදගත්. ඉතින් මීට අදාළ පසුබිම හදල දෙන එක තාත්තගෙත් ආදරණීය වගකීමක්.
19/09/2025