02/10/2026
Copyrights Copyrights Copyrights
පළමුව ඔබ ඔබගේ හැකියාවන් අගයකල යුතුයි. ඒ සදහා නිසි වටිනාකමක් පළමුව ඔබ, ඔබට ලබාදිය යුතුයි. මොකද දැන් මේ ඔබට ලැබී තිබෙන විශේෂ හැකියාවන් ඔබට ලැබී ඇත්තේ (වෙනත් උදවියට නැති, වෙනත් අය පුදුම කරවන) පෙර කරන ලද පුහුණුවීම් වලට අනුවයි. විශේෂ වරප්‍රසාදයක් ලෙසයි.
ඒ වාගේම දැන් ඔබට නැති, නමුත් වෙනත් විශේෂ පුද්ගලයන්ට ඇති, විශේෂ හැකියාවන් ඔබ, ඔබව අගය කරනවා සේම අගය කලයුතුයි. ඊට නිසි වටිනාකම ලබාදිය යුතුයි. එසේ නොකරන්නේනම්, සිදුවන්නේ ඔබ දිනෙන් දින පිරිහීමට පත්වීමයි. ඔබගේ හැකියාවන් මොටවීමයි. ආකර්ෂ්ණය අඩුවීමයි.
වෛරය ඔබ තුල ඇති කරගැනීම මගින් හා වෙනත් අය තුල වෛරය ඇති කිරීම මගින් සිදුවන්නේ, සුන්දර නිර්මාණ බිහිවීමට ඇති අවස්ථාවන් අඩුවීමයි. ඔබ සාධාරණ නම් ඔබට ලැබිය යුතු කොටස ඔබට ලැබෙනවා. සතුට කියන්නේ සල්ලිම විතරක් නෙවෙයි. සල්ලි ගොඩාක් ඔබට තිබුනට වැඩක් නැහැ, ඔබ ඒ මුදල් ඔක්කොම වියදම් කරන්නේ, ඔබට බෙහෙත් ලබාගැනීමට නම්, නමුත් ඔබ සුවපත් නම්, ඔබට මුදල් නොලැබුනත්, ඔබත් එවැනි මුදලක් හම්බකර වියදම් කරපු කෙනෙකු හා සමානයි. (හැබැයි ඔබ බෙහෙත් බොන්න ඕනේ නෑ) මොකද මේ වෙලාවේ දෙදෙනා අතේම සල්ලි නැහැ. එහෙත් මුදල් කියන්නේ වර්ථමානයේ internet, data වගේම අත්‍යාවශ්‍යම දෙයක්. සමහර විට හුස්මටත් වඩා.
ඔබට රුපියල් කොටියක මුදලක් ලබාදීලා, අද අප අතරින් සමුගත් ගුණදාස කපුගේ මහත්මයා, කේමදාස මාස්ටර් වගේ අති දැවැන්ත කලා කරුවෙක් නිර්මාණය කර ඇති ආකාරයේ එක නිර්මාණයක් ඔබට, අලුතින් හදන්නට කිව්වෝත් ඔබටත් ඒ දේ, ඒ ලෙසම කල හැකිනම්, අපි මේ ගැන මින් ඉදිරියට කතා කරලා වැඩක් නැහැ.
ඇත්තම කතාව, ලෝකයේ තියෙන සියලුම මුදල් එකවර අපට ලබාදුන්නත්, අපිට එහෙම නිර්මාණයක් කරන්න තියා, හිතන්නවත් බැහැ.
ඉතින් අපට නිර්මාණය කිරීමට නොහැකි පහසුකමක්, අපි ලබාගන්නේ නම් අපි ඒ සදහා ගෙවීමක් කලයුතුයි. උදාහරණයක් ලෙස අපි දුරකථන පහසුකම් පාවිච්චි කරනවා නම්, අපි ඒ සදහා මිලක් ගෙවිය යුතුයි. වාහනයක් පාවිච්චි කරනවා නම් ඒ වාහනය නඩත්තු කිරීම සදහා මුදල් ගෙවිය යුතුයි. ආදායම් බලපත්‍රයක් ලබාගතයුතුයි. රක්ෂණයක් ගත යුතුයි. ඒ වාගේම ඉන්ධන, ලිහිසි තෙල්, break oil, මේ සියලුම දේ මුදල් ගෙවා ලබාගත යුතුයි. වාහනේ ලස්සනට තියාගන්න ඕනේ නම්, කුණු පෙරාගෙන කැතට, ඉන්න අකමැතිනම්, ඔබටම වාහනය පිරිසිදු කල නොහැකිනම් ඒ සදහා ද ඔබ මිලක් ගෙවිය යුතියි. (නැවත නැවත පාවිච්චි කරන වාරයක් පාසා, මෙම මිල ගණන් ගෙවිය යුතුයි)
මේ මිල ඔබට ගෙවිය නොහැකි නම් ඔබට මේ පහසුකම් ලබන්න අයිතියක් නැහැ. (දුරකථන බිල නොගෙවා සිටියොත්, ඔබ කොච්චර ඇඩුවත් ඔබගේ දුරකථන පහසුකම විසන්දි කරනවා.) මුදල් නොගෙවා නම්, ඔබ මේ පහසුකම් ලබාගන්නේ, වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම ඔබ හොරෙක්.
ඇත්තම කතාව, මේ කතාව කියන මමත්, මේ කතාව අහන ඔබත් අපි සේරම හොරුවීමයි. කැමති උනත් අකමැති උනත් තිත්ත ඇත්ත මෙයයි. එයට හේතුව Copyrights හරියට ගෙවීම සදහා විදිමත් ක්‍රමයක් අප රට තුල නොතිබීමයි. (එවැනි ක්‍රමයක් සකස්කර තිබුණා නම්, මීට පෙර, මෙවැනි තත්ත්වයක් අද උද්ගත නොවනු ඇත.)
යම් කිසි ගීතයක් රස විදීමෙන් ඔබ ඉන් කිසියම් සුවයක් සතුටක් ලබනවා නම්, මුදල් උපයනවානම්, එම නිර්මාණය බිහිකලේත් ඔබ නොවේනම්, ඔබ ඒ ලබන සුවය, සතුට, පහසුකම, වෙනුවෙන්, එම දේවල් පරිහරණය කරන සෑම අවස්ථාවකම, ඒ සදහා මුදල් ගෙවිය යුතුයි. (ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහත්මයා වගේ) ඔබට මුදල් ගෙවීමට හැකියාවක් නැත්නම්. Ok
ගීත නිර්මාණය කිරීම අපි හැමෝටම කරන්න බැහැ. ඒක මැජික් එකක්. වෛද්‍ය විද්‍යාලයට සිසුන් 1500ක් ඇතුලුවුනොත්, ඒ සියලුම දෙනා එලියට එන්නේ වෛද්‍ය වරුන් හැටියට. නමුත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ගොස් ඉගෙනුම අවසන් කර පැමිණෙන හැමෝම ගීපද රචකයින්, තනු නිර්මාණ ශිල්පීන් හෝ ජනතා ආදරය ලබන අති විශිෂ්ඨ ගායකයින් හෝ ගායිකාවන් වෙන්නේ හැනැ. එවැනි නිර්මාණ කරන අය බිහිවන්නේ කලාතුරකින්. ඒ නිසයි ඔවුන්ට කලා කරුවන් කියන්නේ.
අද අපේ රටේ reality තරග බොහෝ ප්‍රමාණයක් පවත්වලා තියෙනවා. ඒ තරගවල අන්තිම100 දෙනා අතරට එන හැමෝම සුපිරිම දක්ෂයින්. අනර්ග ගායකයින්. ගායිකාවන්. (ගායනා තරග ලෝකයේ හැමතැනම තිබ්බාට, ගී පද රචනා තරග, තනු නිර්මාණ තරග ලෝකයේ නොපවත්වන්නේ ඇයි?) නමුත් මම දැන් ඔබෙන් අහුවොත්, මේ තරග ජයක්ක්‍රහනය කරපු 5දෙනෙකුගේ නම් කියන්න කියලා, ඔබට කිදෙනෙකුගේ නම් හිතන්නේ නැතිව එක පාරට කිව හැකිද? පේනවා නේද දැන් අපේ රටේ පිනට පහලවුන කලා කරුවෝ කීදෙනාද ඉන්නේ කියලා. ඔබේ ගමේ සිංදු හදපු කලාකරුවන් කීදෙනෙක් ඉන්නවාද?
කලාකරුවන්ට Copyrights ගෙවිය යුත්තේ, කලා නිර්මාණ කල හැක්කේ ඔවුන්ටම පමණක් වන නිසා. අප අතර සිට, ජීවිතයෙන් සමුගත් කලාකරුවන්ට, ඔවුන්ගේ මනස හොදින් තබාගෙන, ඔවුන්ට හිතෙන නිර්මාණ කරන්න අවශ්‍ය මුදල් ලැබුනා නම් (ඔවුන්ට හිමි Copyrights මුදල් ලැබුනා නම්) එහෙනම් ඔවුන් තව තවත් ලස්සන නිර්මාණ බිහිකරන්න තිබුනා නේද? මුදල් නොමැතිකම නිසාම, ඔවුන්ට හිතේ පමණක් තිබුණු, හිතේ නිර්මාණය වුන, වටිනා නිර්මාණ කීයකට, (ඔවුන්ට හිමි Copyrights මුදල් නොලැබුන නිසා) පණ දීමට හැකියාව නොලැබෙන්න ඇතිද?
ඒ නිර්මාණ කරන්න තියෙන වෙලාවේ ඒ වැඩ නොකර, මුදල් හෙවීමට ඒ ඔවුන්ගේ වටිනා කාලය යෙදෙව්ව නිසා, අපට ඔවුන්ගෙන් ලබාහත හැකිව තිබුනු නිර්මාණ කොතරම් ප්‍රමාණයක්, අපට, ලෝකයට අහිමිවී ඇත්ද? දැන් අපි ප්‍රමාද වැඩී, මොකද අපිට ආයෙත් ඔවුන් ලවා එවැනි නිර්මාණ කරගත නොහැකී. ඒ නිර්මාණ ඔවුන් සමගින්ම,වැලලී ගිහින්.
ඔබ මතක තබාගත යුතුදේ වන්නේ, මොනතරම් මුදලක් වියදම්කර හෝ දැනට ලෝකයේ පවතින උපරිම තාක්ෂණය යොදාගෙන හෝ අපිට අවශ්‍ය විදිහට, අපට අවශ්‍ය ප්‍රමාණයට කලාකරුවන් සෑදිමට අපට නොහැකි බවයි. දැන් අපට ඉන්නා වටිනා කලාකරුවන්ද දිනක මියයන බවයි.
හිතන්න දැන් අපි අතර නැති අපේ රටේ සිටි, ඔබ ගොඩාක්ම ආදරය කරන සිංදු හදපු කලා කරුවෙක්. ඔහු නිර්මාණය කරන ලද ගීත වලට Copyrights හරියට ගෙව්වා නම් (මම දන්නවා ඇත්තටම ඔබට මේ මුදල් ගෙවීමේ විදිමත් ක්‍රමයක් නිර්මාණය කර තිබුනානම්, ඔබ දෙවරක් නොසිතා මේ Copyrights මුදල් ගෙවන බව) ඔහු කොච්චර සතුටු වෙයිද?
එහෙනම් ඔහු තවත් ලස්සන ගීත නිර්මාණ බිහිකරන්න තිබුනා. ( මුදල් නොමැති කම නිසා, Copyrights නොලැබීම නිසා, ඔහුගේ තිතේ පමණක් තිබුනු, අපිට කිසිම දවසක රසවිදින්නට නොලැබෙන, නිර්මාණ කීයකට පණ දෙන්න, ඔහුට බැරිවෙන්න ඇතිද?) ඇත්තටම අපි ඔහු කරන ලද සේවයට, (අපිව සතුටු කලාට, අපේ රසවින්දනය දියුණු කලාට) හරි වැටුපක් ගෙවලා නැහැ.
මේ විදිහටත් ඔබ පොඩ්ඩක් හිතන්න. ඔබ වැඩකරන ආයතනයෙන් ඔබ කරන සේවයට හරි වැටුප ගෙවන්නේ නැතිනම්, ඔබට තවත් රැකියාවක් කරන්න වෙනවා. (එවිට ඔබ කලයුතු, ඔබට ඉතා හොදින්, ආසාවෙන් දක්ෂ ලෙස කල හැකි දේ කිරීමට නොහැකි වෙනවා. මොකද කාලය ඒ සදහා යෙදවීමට නෙැහැකි වන නිසා.) ඔබේ දරුවන්ට හොදට සලකන්න බැරුව යනවා. දරුවන්ට ඔවුන් ඉල්ලන දේවල් ලබාදීමට නොහැකි වෙනවා. හිතේ හැටියට සලකන්න හැකියාව තිබියදීත්, (ඔබට හිමි වැටුප නොලැබීම නිසා) ඔබට හිමි මුදල් නොලැබීම නිසා, ඒ දේවල් හිතේ හැටියට කරගත නොහැකි වෙනවා. සැනසිලි සුවය නැතිවී යනවා. හිතන්න එවැනි තත්තා කෙනෙක් කොච්චර දුකෙන්ද ඉන්නේ?
එහෙම තත්වයක ඉදලත්, මේ අපේ වටිනා කලාකරුවන් (ණයට මුදල් අරගෙන, අපහසුතාවයන් බොහෝ ප්‍රමාණයක් මැද) ඔවුන් කොච්චර ලස්සන නිර්මාණ අපිට තෑගි කරලා තියෙනවාද? මේ දුක් කරදර සියල්ලමත් දරාගෙන. අපි කොච්චර අසාධාරණද?
ඇත්තටම අපේ රටේ හිටිය කලාකරුවන්ගේ තත්වය මෙයම නොවේද? ඒ නිසා මෙමෙ නිර්මාණ කරුවන්ගේ දරුපවුලම වින්දිතයින් බවටපත් වෙනවා. ඔවුන්ට හිමි අයිතිවාසිකම් බුක්ති විදින්න බැරුව යනවා. ඒනිසයි එම කලාකරුවන්ගේ දරුවන්ට බිරිදට (අදාල නිර්මාණ කරුවා මියගිහින් නම්) මේ Copyright ලබාගැනීමේ අයිතියක් තිබෙන්නේ.
ඉස්සර අපි වතුර බිව්වේ නොමිලේ. ඒ කාලේ කවුරු හරි වතුර බෝතලයක් දීලා සල්ලි ඉල්ලුවොත්, ඇතිවෙන තත්වය, මේ දැන් මේ ඇතිවී ඇති තත්වයම හා සමානයි වගේ නේද? නමුත් දැන් අපට සල්ලි නොගෙවා හොද වතුර ටිකක් බොන්න බැහැ. එය සාමාන්‍ය දෙයක් වෙලා. බලන්න අපි ඒ තරමටම දියුණු වෙලා. වෙනස් වෙලා. ඒ වගේ දැන් අපි කලාකරුවන්ට Copyrights ගෙවීමේ ක්‍රමයට කැමැත්තෙන් හෝ අකමැත්නේ එකගවන්න ඕනේ. ඉදිරියේ දී මෙයත් සාමාන්‍ය තත්වයට පත්වේවි.
එහෙම ඔබ Copyrights ගෙව්වාම, දැන් ඉන්න කලා කරුවනුත් අනාගතය වෙනුවෙන් ලස්සන නිර්මාණ බිහිකරවි. වටිනාම කාරනය වන්නේ ඔබත් ඒ නිර්මාණ බිහිකරන්න උදව්කල පිරිසක් බවට පත්වීමයි. එම නිර්මාණවල කොටස් කරුවන් වීමට හැකිවීමයි. දැනට අපි කිසිම කෙනෙකු තවමත් නොදන්න, අපි හිතන්නේවත් නැති විදිහේ අලුත්ම අලුත්, අපිව අමන්දානන්දයට පත්කරවන, අපව ගොඩාක් සතුටු කරන, නිර්මාණ ඉදිරියේ දී ඔවුන් විසින් බිහිකරාවි, එවිට එම නිර්මාණ රසවිද ඒ සතුට ලැබිය හැකිවෙවි. ( මෙම අලුත් නිර්මාණ බිහිකල හැක්කේ ඒ විශේෂ හැකියාව ඇති එම පුද්ගලයින්ටම පමණයි.)
තවද ඔබ රසවින්දනය හොරෙන් ලබාගත්, හොරෙක් නොවී ලබාගත් සේවයට නියමිත ගාස්තුව ගෙවු අභිමානවත් ආදරණීය රසිකයෙකු වේවි. ඔබට ලැබීමට නියමිත මුදලුත්, එවිට ඔබටත් කොහෙන් හෝ ලැබේවි. මොකද ඒ ලැබීම්, ලැබීමට දැන් ඔබ සුදුසුකම් ලබා ඇති නිසා.
අපි කිසිම කෙනෙක් අවුරුදු දසදහස් ගණනක් ජීවත් නොවන නිසා, හැමෝටම සතුටුවිය හැකි ලෙස, ඉතා බුද්ධිමත්ම ලෙස හා ඉතා හොද ඉවසීමෙන්, කිසිදු හදිස්සියක් නොමැතිව, (හිරි වැටෙන්නට කලින් දත් ගලවන්නේ නැතිව) කිසිම පුද්ගලයකුගේ චරිතයකට හානි නොවන ලෙස, මේ ප්‍රශ්නය විසදා ගනිමු. එය අපට කල හැකී. කවුද හරි නොව මොකක්ද හරි යන්න අපි ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව සාකච්චා කලයුතුයි.
වැරදි විදිහට හැඩගැස්සුන, අතක් හෝ පයක්, නිවරදි ලෙස සකස් කිරීමේ දී ලොකු වේදනවාවක් දැනෙනවා. දැන් අපි මේ සිටින්නේ ඒ වේදනාත්මක කාලයෙයි. නමුත් ඒ අත පය හරියට සකස් කලාට පස්සේ ලැබෙන සුවය හා පහසුව අපි හැමෝටම ඉදිරියේ දී දැනේවි. අපි පුලුවන්තරම් කාලයක් අරගෙන හදිස්සි නොවී, වේදනාව අවම ලෙස දැනෙන විදිහට මේ ප්‍රශ්නය සාදාරණව විසදා ගනිමු. නැවතත් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන සේ. එවිට පෙරටත් වඩා වැඩියෙන් හැමෝම අපේ ගීත වලට ආදරය කරාවි. ජයවේවා හැමෝටම.
නාමල් රණසිංහ