24/04/2025
ගොඩබිම ඇවිද ගිය පළමු තල්මසා...
අද වන විට සාගරයේ විශාලතම ජීවීන් ලෙස සැලකෙන තල්මසුන්ගේ ආරම්භය ගොඩබිම ජීවත් වූ කුඩා සත්ව විශේෂයක් බව ඔබ දැන සිටියාද? වසර මිලියන 50 කට පමණ පෙර ජීවත් වූ "පාකිසීටස්" (Pakicetus) නම් සත්වයා තල්මසුන්ගේ පරිණාමයේ ආරම්භක අවස්ථාව ලෙස සැලකෙනවා.
පාකිසීටස් යන නමේ අර්ථය "පකිස්තානයෙන් පැමිණි තල්මසා" යන්නයි. ඒ නම ලැබෙන්නේ මේ වඳ වී ගිය ආදි ගොඩබිම් තල්මසාගේ පළමු පොසිල පාකිස්තානයෙන් සොයාගත් නිසයි. 1981 දී සොයාගත් මේ පොසිලය පකිස්ථානයේ ඉස්ලාමාබාද් හි බටහිරින් පිහිටි කුල්ඩානා පාෂාණ සැකැස්මෙන් හමු වූ අතර පසුකාලීන පොසිල වලින් වැඩි ප්‍රමාණයක් ද හමුවුනේ පකිස්ථානයෙන්මයි. ඔවුන් වසර මිලියන 50 කට පමණ පෙර යිප්‍රේසියානු (මුල් ඉයෝසීන) යුගයේදී ඉන්දියානු උප මහාද්වීපයට ආවේණික වුනු සතුන් කොටසක් බවයි විද්‍යාඥයන් පවසන්නේ.
පාකිසීටස් කියන්නේ එළුවෙකුගේ පමණ ප්‍රමාණයෙන් යුතු, ගොඩබිම ජීවත් වූ සිව්පා සත්වයෙක්. ඔවුන්ගේ පාද හතරම ගොඩබිම ඇවිදීමට සුදුසු ලෙස සකස් වී තිබුණු බව පොසිල සාක්ෂි තහවුරු කරනවා වගේම, ඔවුන් ගොඩබිම ජීවත් වූ බවටත් සාක්ෂි සපයනවා. ඔවුන්ගේ දත් මාංශ භක්ෂකයන්ට සමාන වූ අතර, ඔවුන් මසුන් සහ අනෙකුත් කුඩා සතුන් ආහාරයට ගත් බවයි විශ්වාස කෙරෙන්නේ.
පාකිසීටස් ගොඩබිම ජීවත් වුනත්, ඔවුන් ජලය ආශ්‍රිත පරිසරයක ජීවත් වූ බව හමුවී තිබෙන පොසිල සාක්ෂි වලින් නිරීක්ෂණය වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඇටකටු වල සමහර රසායනික සංයුතීන් මගින් ඔවුන් මිරිදිය ජලය පානය කළ බවට තොරතුරු අනාවරණය වෙනවා. ක්‍රමයෙන් ඔවුන් ජලය ආශ්‍රිත ජීවන රටාවකට හුරු වූ අතර, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ ශරීරය සාගරයේ ජීවත් වීමට සුදුසු වන පරිදි පරිණාමය වීමට පටන් ගත් බවයි විදාඥයන් සඳහන් කරන්නේ.
පාකිසීටස්ගෙන් ආරම්භ වූ තල්මසුන්ගේ පරිණාමයේ දී, ඔවුන්ගේ ශරීරයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවුනා. එනම්, ගොඩබිම ඇවිදීමට සුදුසු වූ පාද ක්‍රමයෙන් වරල් බවට පරිවර්තනය වූ අතර, එය ඔවුන්ට ජලයේ පිහිනීමට පහසු වුනා. නාස් සිදුරු මුහුණේ ඉදිරිපස සිට හිස මුදුනට ගමන් කළ අතර, එයින් ඔවුන්ට ජලය මතුපිටට නොපැමිණ හුස්ම ගැනීමට හැකි වුනා. ශරීරය ක්‍රමයෙන් දිගටි හැඩයක් ගත් අතර, එය ජලයේ වේගයෙන් පිහිනීමට පහසුවක් වුනා.. වලිගය වඩාත් ශක්තිමත් ව අවල්පතක හැඩයකට සකස් වූ අතර, එය ඔවුන්ට ජලයේ ඉදිරියට ගමන් කිරීමට උපකාරී වුනා.
මේ පරිණාමීය වෙනස්කම් සමඟ, නූතන තල්මසුන් සාගරයේ ජීවත් වීමට ඉතා හොඳින් අනුවර්තනය වී තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ශරීරය ජලයේ වේගයෙන් පිහිනීමට, ගැඹුරු මුහුදේ කිමිදීමට සහ දිගු කාලයක් හුස්ම නොගෙන සිටීමට ද හැකියාව ලබා දී තිබෙනවා. ඒ අනුව නූතන .තල්මසුන් කියන්නෙ සම්පූර්ණයෙන්ම ජලජ, සමුද්‍ර ක්ෂීරපායින්ගේ පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති, සහ විශාල විවිධත්වයක් සහිත කණ්ඩායමක්. ඔවුන්ගේ සමීපතම ජීවමාන ඥාතීන් වන්නේ හිපපොටේමස්. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, තල්මසුන් සහ හිපපොටේමස් යන දෙදෙනාම එකම පොදු මුතුන් මිත්තෙකුගෙන් පරිණාමය වී ඇති බව සොයාගෙන තිබෙනවා.
ඒ අනුව තල්මසුන්ගේ පරිණාමය කියන්නෙ ස්වභාවික වරණය සහ අනුවර්තනය මගින් ජීවීන්ගේ ශරීරයේ සිදුවන පුදුමාකාර වෙනස්කම් වලට හොඳම නිදසුනක්.
- Copied -
Follow us ❤️