15/10/2025
වසර ගණනාවකට පෙර මල්වාන පාරේ පොඩියට රෙදි කඩයක් කරගෙන හිටපු නිසාම්ගෙ මුළු ලෝකයම කඩා වැටුණෙ වැසි දවසක ගංවතුරින්.
එයාගෙ සිහින සේරම සැඩ පහරට ගහගෙන ගියා,අවුරුදු 2 ක් තිස්සෙ ගොඩනගපු ව්‍යාපාරය එක රැයකින් අසාර්ථක වුණා..එයාට ඉතිරිවුණේ ණය සහ බිය විතරයි. මාස ගණනක් ඔහු අලුත් දෙයක් පටන් ගන්න බය වුණේ, 'මම කොහොමත් අසාර්ථකයි' තව දෙයක් කරත් මෙච්චරයි කියන සිතුවිල්ල හින්දා...
ටික දවසක් ඉද්දි තවත් රෙදි තොග ව්‍යාපාරයක් සඳහා ලැබුණු ආයෝජන අවස්ථාවක් ගැන ඔහුට ආරංචි වුණා. නමුත් "මේකත් නැති වෙයි" කියන සැකය සහ කාංසාව ඔහුට ඉස්සරහට යන්න දුන්නේ නැහැ. ඔහු මේ ගැන ඔහුගේ ගෙදර අයට , නෑදෑ හිතවතුන්ට කිව්වත් එයාලගෙනුත් නිසාම්ට ලැබුණ එකම උපදෙස, තව පාරක් හිතලා බලලා කරන්න..නැත්නම් ආයෙ අමාරුවෙ වැටෙයි කියන එක විතරයි.
නිසාම් එයාගෙ ව්‍යාපාරික මිතුරෙක්ට මේ ගැන නිකමට කිව්වා..මොකද ඔහු ව්‍යාපාර ගැන ලොකු අත්දැකීමක් තියෙන කෙනෙක් සහ මේ වගේ අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්න කෙනෙක් කියලා නිසාම් කලින් ඉඳන්ම දන්න නිසා..
ඔහු දුන්න පිළිතුර ,
"නිසාම්, ඔයාගේ අතීතය කියන්නේ ඉවර වෙච්ච චිත්‍රපටයක්. ඔයාට පුළුවන් ඒකේ බිඳ වැටුණු තැන් නිතරම බලමින් දුක් වෙන්න, එහෙම නැත්නම් ඒ චිත්‍රපටයෙන් ඉගෙන ගත්ත පාඩම් ටික අරගෙන, ඊළඟ චිත්‍රපටය ඒ කියන්නෙ අනාගතය පට්ටම එකක් විදියට නිර්මාණය කරන්න."
එදා නිසාම් තීරණයක් ගත්තා... ඔහු අතීතයේ තිබූ බිය වෙනුවට ධෛර්යය ආදේශ කර ගත්තා. ඔහු අලුත් Textiles ව්‍යාපාරය ආරම්භ කළා.වැටුනම කරන්න තියෙන්නෙ නැගිටින එක කියලා නිසාම් තේරුම් ගත්තා...අද වන විට,නිසාම්ට ලංකාවේ පමණක් නොවේ විදේශයන්ට පවා ඔහුගේ ව්‍යාපාරය පුළුල් කරන්න හැකියාව ලැබී තිබෙනවා.එදා සැඩ පහරකට ගහගෙන ගිය පුංචි ව්‍යාපාරය අද කිසිවෙකුට බිඳහෙලන්න බැරි දැවැන්ත ව්‍යාපාර ජාලයක් වෙලා අවසන්.
ඔහුගේ මනසින් අසාර්ථකත්වය නැති වී ගිහින්, ඒ වෙනුවට විශ්වාසය සහ සතුට පිරී ගිහින්.
මතක තියාගන්න,
අතීතයට පුළුවන් ඔයාට පාඩමක් උගන්වන්න විතරයි,කවදාවත් ඔබව නවත්වන්න බැහැ.
අපේ සිත ඇතුළේ ඇති වන බිය (Fear), සැකය (Doubt), දුක (Sadness), වරදකාරිත්වය (Guilt), සහ කාංසාව (Anxiety) කියන මේ දරුණු සතුරන්, අපිට සාර්ථකත්වය කරා යන්න තියෙන ලොකුම බාධක. මේවා හටගන්නේ බොහෝ විට අතීතයේ සිදු වූ අසාර්ථකත්වයන් හා අපේ වැරදි තීරණ නිතරම සිහිපත් කිරීමෙන්.
අපේ මනස,පහල ඇති රූපයේ වගේ, මේ නිෂේධාත්මක හැඟීම්වලින් පිරී ගියාම, වර්තමාන මොහොතේ අපිට ලැබෙන වටිනා අවස්ථා අපිට පෙනෙන්නේ නැහැ. 'මම අසමත් වෙයි' කියන බය නිසා, ඔබ ඉදිරියට තියෙන අලුත් අභියෝගය භාරගැනීම මඟහරිනවා. 'මම කලින් වැරදි කළා' කියන වරදකාරිත්වය නිසා, ඔබට ඔබ ගැනම විශ්වාසයක් තියාගන්න බැරි වෙනවා.
නමුත් මතක තබා ගන්න: අතීතයේ ඔබ අසාර්ථක වූයේ උත්සාහ කළ නිසා මිස, ඔබ අසාර්ථක පුද්ගලයෙක් වූ නිසා නොවේ. ඒ අත්දැකීම් ඔබේ පාඩම් මිස, ඔබේ ගමනේ අවසානය නොවේ.
අනාගතයේ ඔබට ලැබීමට නියමිත විශිෂ්ට සාර්ථකත්වයේ අවස්ථාව අතපසු කර නොගැනීමට නම්, ඔබ කළ යුත්තේ එකම දෙයයි:
1. අතීතයේ දොර වසන්න: අතීතයේ වැරදි ගැන පසුතැවීම නවතා, එයින් ලැබූ පාඩම පමණක් ගෙන ඉදිරිය බලන්න.
2. වර්තමානයේ ජීවත් වන්න: අද ඔබට කළ හැකි දේ ගැන අවධානය යොමු කරන්න. කුඩා වුවත්, සෑම සාර්ථක පියවරක්ම අනාගතය ගොඩනඟනවා.
3. ධනාත්මකව සිතන්න: ඔබේ මනසින් බිය ඉවත් කර ඒ වෙනුවට ධෛර්යය, සැකය වෙනුවට විශ්වාසය, සහ කාංසාව වෙනුවට ශක්තිමත් බලාපොරොත්තුව පුරවන්න.
4. සෑමවිටකම සාර්ථක ගමනක් ගිය අත්දැකීම් ඇති අයගේ නිවරදි උපදෙස් වලට පමණක් සවන් දෙන්න.
අදම, මේ මොහොතේම, අලුතින් පටන් ගන්න! ඔබේ අනාගතය බැබළවීම සඳහා අතීත සෙවනැලි පන්නා දමන්න!