14/08/2026
කන්දෙ නුවර ශෛලවාහිනී සිරිවර්ධන පුරවරය සිසාරා ශ්‍රී දන්තධාතු අභිවන්දනීය අසිරිය විදහාපාන පෙළහර සමයයි මේ...🐘🔥
🎶දළදා මැදුරෙ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ...
මගේ රටට දළදා හිමි සෙවනයි
මගේ දැයට දළදා හිමි සරණයි...
බෞද්ධ දැහැමි සිසිල් පොදින් නැහැවී, හෙළබිම නම් නඳුන් උයනෙහි පීදුණු අමා දිය බිඳු වන් පුණ්‍ය දියෙන් නැවුම් වන ඇසළ මාසයේ (සමහර වසරවල නිකිණි මාසයේ), සිංහල අභිමානය දරමින් ඇසළ මහා පෙරහැර මංගල්‍යය සෙංකඩගල පුරවරයෙන් ඇරඹෙන්නේ හෙළ සංස්කෘතිය දේශ දේශාන්තරයන්ට විදහා පෙන්වමිනි. අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පින්බර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පෙරටු කොටගත් ඇසළ මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කරන්නේ සකල ලෝකවාසීන්ට සෙත් පැතීමත්, දළදා වහන්සේට උපහාර දැක්වීමත් යන පරමාර්ථ කැටි කොටගෙනයි. එවන් උතුම් හෙළ ප්‍රෞඪත්වයක් විදහාපාන උතුම් ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ එදා මෙදා තුර වතගොත මෙලෙස ඔබ අභිමුවට ගෙන එන්නෙමු.
අතීත වතගොත
උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආගමනයට පෙර, පුරාතන කාලවකවානුවේ ගොවිතැන ජීවනෝපාය කරගත් යුගයේ සෙංකඩගල ඇසළ පෙරහැරේ මූලාරම්භය සිදුවිය. එකල මෙරටට ඇති වූ අධික නියඟයෙන් අත්මිදීම පතා සිංහල ජනතාවත් අපගේ අභීත රජදරුවනුත් එක්වී, පොළොව සරු කරන වැසි ඉල්ලා නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව පතා පූජා පැවැත්වූහ.
කිරි ගසක අත්තක් ගෙන එය දේවාල භූමිය ඉදිරිපස සිටුවා, එය වටා බෙර වයමින් ඊට අනුරූපව සිහල තේජස විදහා පෙන්වන නර්තනයේ යෙදෙමින් වැසි උදෙසා දෙවියන්ට පැවැත්වූ මෙම පූජාව "ඇසළ පූජාව" නම් විය.
ක්‍රි.ව. 311 දී පමණ අනුරාධපුර යුගයේදී, ඉන්දියාවේ කාලිංග දේශයේ පැවති යුද්ධයකින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කරගැනීම පිණිස ගුහසීව රජුගේ දියණිය වන හේමමාලා කුමරිය හා දන්ත කුමරු බමුණු වෙසින් වෙස් වලාගෙන, කුමරියගේ කෙස් කළඹ ඇතුළත උතුම් දන්ත ධාතූන් වහන්සේ සඟවාගෙන මුහුදු මාර්ගයෙන් මේ උතුම් පින්බිමට වැඩම කරවූ සේක.
එවකට අනුරාධපුරයේ රාජ්‍යත්වය දැරූ කිත්සිරිමෙවන් රජු, මුළු පුරවරයම විචිත්‍රවත්ව සරසා දළදා සමිඳුන් මහත් හරසරින් පිළිගත්තේය. ඉන්පසු සෑම වසරකම දළදා වහන්සේ මහජනතාවට වැඳපුදා ගැනීම උදෙසා උත්කර්ෂවත් පෙරහැරකින් අභයගිරිය දක්වා වැඩමවිය යුතු බවට රජු විසින් රාජ ආඥාවක් පනවන ලදී. පසු කලෙක සිදුවූ යුධ ගැටුම් හේතුවෙන් රාජ්‍යධානි වෙනස් වීමත් සමඟ, අවසාන වශයෙන් කන්දෙ නුවර රාජධානි සමය වන විට දළදා වහන්සේ සෙංකඩගල පුරවරයට වැඩම කරවන ලදී.
සතර මහා දේවාල පෙරහැර හා සංකලනය
මුල්කාලීනව මහනුවර රාජධානිය තුළ වීදි සංචාරය වූයේ නාථ, විශ්ණු, කතරගම, පත්තිනි යන සතර මහා දේවාල පෙරටු කොටගත්, හින්දු හා ලෞකික මුහුණුවරක් ගත් ඇසළ පෙරහැරක් පමණි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ බාහිර ජනතාවට දැකගැනීම උදෙසා එකල වීදි සංචාරය නොවිණි. දළදා මැදුර තුළ පමණක් වන්දනාමාන සිදුවිය.
මේ කාලවකවානුව තුළ ලංකාවට පැමිණි උපාලි මහා තෙරුන් වහන්සේ ප්‍රමුඛ සියම් නිකායික භික්ෂූන් පිරිසක් මෙය දැක, මේ පිළිබඳව එවක සංඝරාජ තනතුරෙහිලා සිටි වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ට දැන්වූහ. මේ බව සැලකිල්ලට ගත් සරණංකර හිමියන්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමඟ සාකච්ඡා කොට උතුම් ශ්‍රී සම්බුදු රජාණන් වහන්සේටත්, බෞද්ධ රාජ්‍යත්වයේ සංකේතයක් වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේටත් මුල්තැන දී කටයුතු කළ යුතු බව පෙන්වා දුන්හ.
මේ බව වටහාගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු, එතෙක් වෙන වෙනම ගමන් කළ සතර මහා දේවාල පෙරහැර එක්කොට, ඒ සියල්ලටම ඉදිරියෙන් හස්ති රජු පිට විරාජමාන වන දන්ත ධාතූන් වහන්සේ රැගත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර ගමන් කරවීමට නියෝග පනවන ලදී. බුදුන් වහන්සේට මුල්තැන දෙමින් ගොඩනැඟුණු මේ උතුම් සංකලනය මඟින් හින්දු හා බෞද්ධ චාරිත්‍ර එකට මුසු විය.
නැකැත් වට්ටෝරුව
ඓතිහාසික සෙංකඩගලපුර අභිමානනීය ඇසළ මහා මංගල්‍යය අතීත සිංහල සිරිතට අනුව විවිධ චාරිත්‍ර ඔස්සේ ගලා යයි. එවන් උතුම් පෙරහැරකට මඟ පෙන්වන හෙළයේ අභිනන්දිත චාරිත්‍ර වංශය මෙසේය.
01. නැකැත් පත්‍රය සැකසීම හා භාර දීම
මහා ඇසළ මංගල්‍යයේ සමාරම්භයට මුල්ගල තබමින් ශ්‍රී දළදා මාලිගාවේ "නැකැත් මොහොට්ටාල" (රාජකීය ජ්‍යෝතිර්වේදියා) විසින් සමස්ත පෙරහැරේ එක් එක් අදියර සඳහා වෙන් වෙන් වශයෙන් ශුභ මුහුර්තයන් බලා නැකැත් වට්ටෝරුව සම්පාදනය කරන ලදී. ඉන්පසු එම නැකැත් වට්ටෝරුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාටත්, සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්ටත් නිල වශයෙන් භාර දී අනුමත කර ගැනීමේ කටයුතු සිදු කෙරේ.
02. කප කැපීමේ මංගල්‍යය
පෙරහැර ආරම්භ වීමට දින කිහිපයකට පෙර කප කැපීමේ මංගල්‍යය සිදු කරනු ලබයි. නියමිත ශුභ නැකතට අනුගතව අලුත්නුවර ශ්‍රී විශ්ණු දේවාල භූමියෙන් හෝ රජයේ අනුමැතිය ලත් වෙනත් පූජනීය වනයකින් තෝරාගත්, ඵලදාව නොගත් හිරිමල් කොස් ගසක් (කිරි ගසක්) අසල පූජාව පවත්වයි. ඉන්පසු එම ගස සුවඳ පැනින් දෝවනය කර කඳ කොටස සිව් අයුරකින් වෙන් කර ගනියි.
03. කප් සිටුවීමේ මංගල්‍යය
ඇසළ මාසයේ අමාවක පෝයට පසු උදාවන පුර පෑළවිය දින, ශුභ නැකැත් පෙරටු කොට ගනිමින් පෙරහැරේ නිල සමාරම්භය සනිටුහන් කරමින් කප් සිටුවීම සිදු කරයි. පසුව ඉහත සඳහන් කළ කඳන් සතර, සිව් මහා දේවාල භූමියන්හි එකවර සිටුවීම සිදු කෙරේ.
04. දේවාල ඇතුළත පෙරහැර
කප් සිටුවීමෙන් පසු එළඹෙන පංච දිනයන්හිදී පෙරහැර මහජනතාව සඳහා වීදි සංචාරය වීමක් සිදු නොවේ. එම දිනයන්හිදී සතර මහා දේවාල තුළදී පමණක් පූජා භාණ්ඩ හා දේවාලයේ ආභරණ වැඩමවමින් හේවිසි හඬ මධ්‍යයේ ඉතා සරල අන්දමින් දේවාලය වටා වට කිහිපයක් ගමන් කරයි. මෙහිදී සතර මහා දේවාල ඇතුළතදී රහසිගත චාරිත්‍ර බොහොමයක් ද සිදු කෙරේ.
05. කුඹල් පෙරහැර
ගත වූ දින පහෙන් පසුව එළඹෙන සයවැනි දින පෙරහැර පළමුවරට මහජනතාවට දැකබලා ගැනීම සඳහා වීදි සංචාරය කෙරේ. දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසින් ඇරඹී, දළදා මාලිගාවේ පෙරහැර පෙරටු කොට ගනිමින් සෙසු සතර මහා දේවාල පෙරහැරයන් අනුපිළිවෙළින් ඊට පසුපසින් එකතු වෙයි. පුරා දින 5ක් මුළුල්ලේ මෙය සෙංකඩගල වීදි පුරා සංචාරය කෙරෙයි.
06. රන්දෝලි පෙරහැර
කුඹල් පෙරහැර පංච දිනයන් මුළුල්ලේ සංචාරය කිරීමෙන් පසු එළඹෙන දිනයේදී අති උත්කර්ෂවත් අන්දමින් රන්දෝලි පෙරහැර පුරා පස් දිනයක් දක්වා වීදි සංචාරය ආරම්භ කරයි. මෙහිදී දේවාල සතරට හිමිකම් කියන පූජනීය සිව් දෝලාවන් පෙරහැරේ අවසානය තෙක්ම කරමතින් රැගෙන යති. අවසන් මහ රන්දෝලි පෙරහැර දිනය, සියලු හස්ති රාජයාණන් හා විවිධ ශෛලීන්ගේ නර්තන කණ්ඩායම් එකට එක්වන සෙංකඩගල මහා වෛභවයක් ගෙනෙන රාත්‍රියක් වේ. මේ අවසන් රාත්‍රියෙන් පසු පෙරහැර අවසන් වන්නේ ශ්‍රී දළදා වහන්සේ (ධාතු කරඬුව) අස්ගිරි මහා විහාරීය 'ආදාහන මළුව ගෙඩිගේ විහාරය' වෙත වැඩමවා එහි තැන්පත් කරවීමෙනි.
07. දිය කැපීමේ චාරිත්‍රය සහ දහවල් පෙරහැර
අවසන් රන්දෝලි පෙරහැර නිමා වී පසුව උදාවන දින අලුයම භාගයේදී, සතර මහා දේවාලයන්හි කපු මහත්වරුන් ඇතුළු පිරිස රන්දෝලි ද සමඟින් ගැටඹේ තොටින් මහවැලි ගඟ වෙතට පැමිණෙති. පසුව ගඟ මධ්‍යයේදී ශුභ නැකැත් බලා මඟුල් අසිපතෙන් දිය මතුපිට කපා නව පැන් දියෙන් කෙණ්ඩිය පුරවා ගනු ලැබේ. දිය කපා රැගෙන එන පිරිස ගෙඩිගේ විහාරයේ සිට පැමිණෙන දළදා මාලිගාවේ පෙරහැර සමඟ එක් වී දිවා භාගයේදී අවසන් වරට නුවර පුරා වීදි සංචාරය කෙරේ.
08. පෙරහැර සමාප්ත කිරීමේ නිල චාරිත්‍රය
දහවල් පෙරහැර නිමාවී කරඬුව නැවත දළදා මාලිගාව තුළ තැන්පත් කොට අවසන් නිල චාරිත්‍රය ඉටු කරයි. දියවඩන නිලමේතුමා හා බස්නායක නිලමේවරුන් සිව් දෙනා රාජ්‍ය නායකයා (ජනාධිපතිතුමා) හමුවෙයි. පුරාණ හෙළ සිරිතට අනුව 'මේ වසරේ ඇසළ පෙරහැර කටයුතු සාර්ථකව සිදු විය' යනුවෙන් සඳහන් නිල සන්දේශය හෙවත් පෙරහැර සංදේශය රාජ්‍ය නායකයා වෙත නිල වශයෙන් භාර දීම එහිදී සිදු වේ.
දීර්ඝ කතිකාවකින් පසු, සිංහල මහා ප්‍රෞඪත්වය විදහාපාමින් ශෛලවාහිනී කන්ද උඩරට සිරිවර්ධන පුරවරයම ඒකාලෝකමත් කරනා මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ වගතුග සොයා යාමේ පියාසරියට තිත පසෙකලා කොමාවකට ඉඩහසර විවර වී ඇත. මීළඟ කොටසින් හමුවන තුරු, සෙංකඩගල ඇසළ මහා මංගල්‍යයේ මහානුභාව බලයෙන් සකල ලෝ සතුන්ගේ තුන්බිය දුරු වී, රට පුරා පැතිරී යන ස්වාභාවික ව්‍යසනයන්ගෙන් රටට ඉක්මන් සහනය ලැබේවායි මිහිඳු සාහිත්‍යාවලියේ වනස්පතීන් සහ ප්‍රඥාවේ අසිපත ලෙස නම් දැරූ අපි එක්සිත්ව පතන්නෙමු. ✊🇱🇰
✍️ Article by - Thisathmi Thewulini
© හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය පුස්තකාල පාඨක සංගමය සහ සාමාන්‍ය දැනුම සංගමය.