03/05/2026
අද වෙද්දී ලොකේ EV market එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වගේම සමස්ථ automobile industry එකම උඩු යටිකුරු කරන්න සමත් වුනු රථ වාහන නිශ්පාදන සමාගමක් විදිහට BYD හඳුන්වන්න පුළුවන්. සාපේක්ශව ඉතාමත් ලාභදායී සහ ඉහළ ගුණාත්මක බවකින් යුක්ත BEV(Battery Electric Vehicle) නිර්මාණය කරන BYD සමාගම අද ඊයේ අලුතින් පටන් ගත්තු එකක් නෙමෙයි. එහි ආරම්භය 1995 වර්ෂය දක්වා දිව යනවා. චීනයේ දැවැන්ත කාර්මික නඟරයක් වුනු Shenzhen හි හිටපු රසායන විද්‍යාඥයෙකු වුනු Wang Chuanfu විසින් තමයි මේ BYD සන්නාමය ආරම්භ කරන්නේ, ඒ ප්‍රතිආරෝපණය කලහැකි බැටරි (rechargeable batteries) නිර්මාණය කරන සමාගමක් විදිහට ආරම්භ වෙමින්. 2005 අවුරුද්දේදී Xi’an Qinchuan Automobile සමාගම මිලදි ගන්න BYD සමාගම ඔවුනගේ පළමුවන වාහනය වුනු BYD F3 කාර් රථය එළිදක්වනවා.
ඒ වගේම 2008 වර්ෂයේදී ඔවුනගේ පළමු plug-in hybrid රථය වුනු F3 DM රථයත්, 2009 වර්ෂයේදී all-electric e6 රථයත් හඳුන්වා දෙනවා. කොහොම වුනත් ඒ කාලේ EV market එකට ලොකු අවධානයක් හිමිවුනේ නැහැ. ඒ නිසා හැම අවුරුද්දකදීම BYD සමාගමට අලෙවි කරන්න පුලුවන් වුනේ රථ වාහන ලක්ශ 4-5ත් අතර අඟයක් පමණයි. හැබැයි හැමදේම අනිත් පැත්තට හැරුනේ 2021 අවුරුද්දෙන් පස්සේ ඇතිවුනු EV පෙරළියත් එක්කයි. ඔවුන් විසින් නිර්මාණය කරපු new energy vehicle (NEV) සංකල්පයට අයත් රථ වාහන චීනයේ විතරක් කොච්චර ජනප්‍රියත්වයක් හිමිකරගත්තද කිව්වොත් 5% ක තිබුනු market එක 27% දක්වා ඉහළ යනවා. ඒ 2022 වර්ෂයේ මැද වෙද්දී ලෝකයේ හොඳම plug-in electric රථ වාහන සැපයුම්කරුවා බවට BYD පත්වෙමින්.
2023 වර්ෂයේදී ඔවුන් battery electric vehicles 526,409ක් අලෙවි කරන්නේ Tesla සමාගමටත් වඩා රථ වාහන 40,000ක් පමණ අලෙවි කරමින්. 2023 වර්ෂයේදී හඳුන්වා දුන්නු ඔවුනගේ කුඩාම සහ මිලෙන් අඩුම ආසන 4ක, කාර් රථය වුනු Seagull කාර් රථයට හිමිවුනු ඉල්ලුම නිසා, මාස 7ක් ඇතුලත ඒ රථයෙන් ඒකක 200,000 නිර්මාණය වුනා. ඒ ලොව වටා කතා බහක් ඇති කරමින්. 2023 අවුරුද්දෙදී ඔවුනගේ මිලියන 5වන NEV රථය සැමරිමේ උත්සවයකට එක්වුනු BYD හි CEO විසින්, විදේශ රථ වාහන නිශ්පාදන සමාගම් වලට තරඟයක් වීම සඳහා සියළුම චීන රථ වාහන සමාගම් වලට එක්වන ලෙසට ආරාධනාවක්ද සිඳුකලා. 2024 අවුරුද්දේ විතරක් ලොව වටා BYD වාහන මිලියන 4.27ක් අලෙවි වුනා. ඒ 2023 වර්ෂයට සාපේක්ශව 41%ක විකුණුම් ඉහළ යාමකින්. 2024 අවුරුද්දේ විතරක් ඔවුනගේ සමස්ථ ආදායම ඇ.ඩොලර් බිලියන 115ක් පමණ වුනා. තවත් වැදගත් දෙයක් තමයි ලෝකයේ විශාලතම රථ වාහන ප්‍රවාහන නෞකාව වන BYD Shenzhen නෞකාව අයත් වෙන්නෙත් මෙම සමාගමටමයි, එයට එකවර වාහන 9,500ක් පමණ රැගෙන යාමේ හැකියාව තියෙනවා.
BYD රථ වාහන මෙච්චර සාර්ථකත්වයක් හිමිකරගන්න හේතු කිහිපයක්ම බලපෑවා. එයින් එකක් තමයි ඔවුනගේ cell-to-pack තාක්ශණයෙන් නිර්මාණය කරපු ඉහළ ආයුකාලයක් සහ ආරක්ශාවක් හිමි ලිතියම් Blade Battery එක. මේ තාක්ශණය Tesla සමාගමේ Supercharging තාක්ශණය අතික්‍රමණය කලේ විනාඩි 5ක් ඇතුලත 400 km ක දුරක් ගමන් කල හැකි තරමේ ආරෝපණයක් ලබාදෙමින්. ඒ වගේම futuristic look එකක් තියෙන කාර් රථ සහ SUV රථ පාරිභෝගිකයන් අතර වේගයෙන් ජනප්‍රිය වුනා. චීනයේ Shenzhen සහ Jinan නඟරයන් වල අලුත් නිශ්පාදන කර්මාන්තශාලාවන් වගේම සහ හන්ගේරියාව, තායිලන්තය, බ්‍රසීලය සහ තුර්කිය කියන රටවලත් නිශ්පාදන සමාගම් පිහිටුවන්නට ඔවුන් කටයුතු කරා. මේ නිසා 2024 අවුරුද්දේ එංගලන්තයේ විතරක් BYD වාහන වල විකුණුම 658%ක දැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ ගියා.
2025 වර්ෂයේ මුල් භාගයේදී විතරක් BYD වාහන 1,023,381ක් ලොව වටා අලෙවි වුනා. ඒ වගේම 2025 අවුරුද්දෙදී හදුන්වලා දුන්නු e-Platform 3.0 සහ e-Platform 3.0 Evo වර්ගයේ රථ වාහන වුනු BYD Dolphin, Atto 3, Denza D9 EV, Sealion 07, Seal 06 EV/GT, Qin L EV, Tang L EV සහ BYD shark 6 රථ වාහන ලොව වටා වේගයෙන් අලෙවි වුනා. මෙයින් සමහරක් ශ්‍රී ලංකාවටද ආනයනය කරා. සමස්ථයක් විදිහට ගත්තාම 2025 වර්ෂය තුළ ඔවුන් BYD වාහන මිලියන 4.6ක් ලොව වටා අලෙවි කරන්නට සමත්වුනා.
2025 වර්ෂයේ අන්තිම වෙද්දී ලෝකයේ විශාලතම BEV සැපයුම්කරුවා බවට පත්වෙන්න BYD වලට හැකියාවක් ලැබුනේ Tesla සමාගමේ 15.3% market share එක පසුකරයමින්. ඔවුනගේ වර්ධනය මේ විදිහට දිගටම තිබ්බොත්, ඔවුන් සිහින විතරක් නෙමෙයි, ගමනාගමනයේ අනාගතයම නිර්මාණය කරන්නන් වෙවී.
© Padaartha - පදාර්ථ