Cosmos Education

Cosmos Education

Share

Best Taste of Earth

04/12/2025

අපේ නෑදෑ වෙන කෙනෙක්ට වකුගඩු රෝගයක් හැදුනා. ඉතිං එයාගේ වකුගඩු දෙකම නරක් වෙලා අයින් කරන්න ඕනි වෙලා තිබ්බේ. ඔය කියන කට්ටිය එහෙම සල්ලි නැති කට්ටියකුත් නෙවේ. ගෙවල් පවා හොඳට හදාගෙන, වාහන පවා අරන් තිබ්බා.

හැබැයි ඉතිං ඔයවගේ අසනීපයක් උනාම කාටත් මුදල් අමාරුකම් එනවනේ. දුප්පත් පොහොසත් හැමෝටම. ඉතිං ඒ හින්දා අපිත් ඇතුළුව හැමෝම ඒ අයට මුදල් දුන්නා පුලු පුලුවන් හැටියට. අපි ගිහිල්ලා බලලත් ආවා. අනිත් උදවු පුලු පුලුවන් හැටියට කළා.

කොහොමහරි ටික දවසකින් එක දවසක් ඔයවගේ මගේ නෑදෑ වන තවත් ආච්චි කෙනෙක් (ඇය වෛද්‍යවරියක්) මෙයාලට කෝල් එකක් දීලා තිබ්බා කොහොමද බලන්න. ඇයත් මේ පුද්ගලයන්ට තමන්ට පුලුවන් මට්ටමින් උදවු කරපු කෙනෙක් නිසා. කෝල් එක දුන්නා විතරයි මේ ලෙඩේට ගොදුරු උන නෑදෑ කෙනාගේ මහත්තයා මේ ආච්චිට නොසෑහෙන්න බැනලා. " අපිට නිකම්වත් කීයක්වත් දුන්නෙත් නෑ. අපිට මෙච්චර සල්ලි යනවා. ඔයාලා මෙච්චරයි අපිට සල්ලි දුන්නේ කියලා "

ඉතිං ඔයාලා හිතන්නකෝ මෙයාලට මේ වෙච්ච කරදරේට අනිත් මිනිස්සු පලිද? ඇරත් අපි හැමෝම පුලු පුලුවන් හැටියට උදවු කල බව ඇත්ත. හැබැයි මෙයාලා හිතාගෙන හිටියා අපි හැමෝම මෙයාලට උදවු කරන්න බැඳිලා ඉන්නවා කියලා.

ඔබ දන්නවාද?

1. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් අප රටට එරෙහිව මානව හිමිකම් චෝදනා ගොනු කරද්දී 2006 සිට පිට පිටම ලංකාවට පක්ෂව රුසියාව සහයෝගය දැක්වූවා. මෙවරත් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රුසියාව ශ්‍රී ලංකාවට පක්ෂව සහයෝගය දැක්වූවා ඔබට මතක ඇති.

2. අප රටේ යුද්ධය පැවති සමයේ අපේ හමුදා සොල්දාදුවන් අවශ්‍ය යුධමය දැනුම හා පුහුණුව ලබාදුන්නේ රුසියාව විසින්. ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් ඇතුලු අනෙක් උපාංග පවා ඔවුන් ලබාදුන්නා. (තවත් රටවල් සිටී)

3. සෑම වසරකම රුසියානු රජය විසින් ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට Medicine, Engineering, Aviation වැනි ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරනවා.

4. ලංකාවෙ ප්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන්නේ රුසියාවයි. ඒ වගේම අපේ රටේ පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, වැනි දේද රුසියාව මිලදී ගන්නවා.

5. අප රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර, ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් නිෂ්පාදන හා තිරිඟු පිටි ආනයනය කරන්නේ රුසියාවෙන්.

6. Covid - 19 පැවති සමයේ අප රටේ සංචාරක කර්මාන්තය කඩා වැටී තිබෙන විට සංචාරකයන් පැමිණියේ රුසියාවෙන්. (යුක්‍රේන සංචාරකයන්ද පැමිණියා)

7. 2022 අපි ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳිද්දී පවා රුසියාව අපෙන් නොනවත්වා තේ මිලදී ගත්තා.

8. ඒ වගේම එම කාලයේ ඔවුන්ගේ තෙල් පවා සහන මිලට ලබාදීමට ඉදිරිපත් උනා. (ඉරානයත් එය කලා)
ඔය කොටසක් විතරයි. තව බොහෝ දේ තියනවා.

9. 2025 ලෝක ආහාර වැඩසටහන යටතේ (WFP) රුසියාව ලංකාවට ඇ. ඩො. මිලියන 1.5 සූරියකාන්ත තෙල් ප්‍රදානයක් සිදු කලා.

10. 2024 දි පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මෙටික් ටොන් 55,000 ක් මානුෂීය ආධාර ලෙස ලබාදුන්නා.

11. මීට පෙර (වර්ෂය අමතකයි) ඇ. ඩො. මිලියන 55 ග්‍රාමීය දරුවන්ගේ පෝෂණය නඟා සිටුවීම වෙනුවෙන් ලබාදුන්නා.

තවත් බොහෝ දේ තියනවා. ඔය පැවසුවේ කොටසක් පමණයි.

ඔබ රුසියාව ගැන, පූටින් ගැන මොන මතවාදය දැරුවත් (මොකද සමහරු කියනවනේ පූටින් බලයට කෑදරයි, යුද්ධ කරනවා, හරමයි, මෙහෙමයි කියලා. ) ඔය තියෙන්නේ රුසියාව ලංකාව වෙනුවෙන් කළ දේ.

ඒ නිසා Monetization හම්බෙච්චි පලියට මේ වගේ පෝස්ට් දාන අය කරුණාකරලා කියපු දේ තේරුම් ගන්න Please.......

- කෂ්මි -

12/10/2025

අපේ රටේ මම දකින ප්‍රධානම අවුල තමා අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන එක.

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ වෙන්න ඕනි හරිය වෙලා ඉවරනේ.

2004 සුනාමි ඇවිල්ලා මිනිස් ජීවිත දාස් ගාණක් මුහුදට බිලි උනාට පස්සේ තමා අපේ රටේ බලධාරියො අනතුරු ඇඟවීමේ කුළුණු හැදුවේ. ඒ වගේ තත්ත්ව ගැන මිනිස්සු දැනුවත් කළේ.
දැන් කියන්න එපා අනේ අපේ රටට කවදාවත් සුනාමි ඇවිත් තිබ්බේ නෑනේ. අපේ මිනිස්සු ඕක අහලා තිබ්බේ නෑනේ කියලා.

1883 ඉන්දුනීසියාවට සුනාමි ආපු ඉතිහාසයක් තියෙද්දී අපේ රටේ කාලගුණ බලධාරියො නිකන් වත් හිතුවේ නෑ දූපත් රාජ්‍යක් වෙච්ච අපේ රටටත් සුනාමි, භූමිකම්පා අවදානම් තියනවා කියලා. අදටත් අර පැරෑලියේ දුම්රිය අනතුරෙන් මියගිය මිනිස්සු ප්‍රමාණය ගැන හරිහමන් Estimate එකක් වත් නෑ.

කැලි කසල වෙන්කරන්න, කසල ප්‍රතිචක්‍රිකරණය කරන්න, දිරන පොලිතීන් නිෂ්පාදනය කරන්න මිනිස්සුන්ගෙ අවදානය යොමු උනේ අර මිනිස්සු දාස් ගාණක් යට කරන් මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනට පස්සේ.

රිය අනතුරු ගැන, අලුත් රථවාහන නීති ගේන්න ගත්තේ රිය අනතුරු වෙලා අහිංසක මිනිස්සුන්ගෙ ජීවිතේ නැති උනාට පස්සේ.

Driving License දෙන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් ඕනි කියලා කතාඋනේ පෝය දවසේ ගෑනු කෙනෙක් අහිංසක උපාසිකාවෝ තුන් දෙනෙක් හප්පන් ගියාට පස්සේ.

පාසල්වල ක්‍රීඩා උපකරණ ගබඩා කරන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් ගැන අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛ නිකුත් කළේ ඉස්කෝලේක ස්පෝට්ස් මීට් එකක පොඩි එකෙක් ගල් රෝදෙකට යටවෙලා මලාට පස්සේ.

මේ ළඟදී අර උසාවියේ සිද්ධියෙන් පස්සේ තමා පොලීසියට තේරිලා තියෙන්නේ Body cam එකක වටිනාකම. ඇයි පිටරටවල පොලීසිය Body cam පාවිච්චි කරන්නේ කියලා.

ඕන් දැන් තමා උන්දැලාට හෝර්ටන් තැන්නට වෙන්න යන විනාසේ තේරිලා ඒක නවත්තන්න ක්‍රියාමාර්ග ගන්නේ.

ඔහොම්ම මේ මාසෙත් බලලා ලබන මාසෙම ඕකට Action ගන්න තිබ්බේ හැබැයි. අපරාදේ !!!!!

- කෂ්මි -

08/10/2025

📚 මේ දවස්වල මුකුත් පෝස්ට් කළේ නැත්තේ මම Exam එකකට ලෑස්ති වෙන නිසා. Exam ඉවර වෙනකම් තාවකාලිකව මුහුණු පොතෙන් ඈත්වෙලා ඉන්න හිතුවා. හැබැයි මේ පෝස්ටුව දැක්කම යමක් නොලියා ඉන්න බැරි උනා.

📚 මේ පෝස්ට් එකට අනුව මේක ලියපු පුද්ගලයා කියලා තියනවා ඔය පින්තූරෙ පෙන්නලා තියන විදියෙ පොත් වැඩිපුර අලෙවි වෙන්නේ ලංකාවෙ මිනිස්සුන්ගෙ විචාර බුද්ධිය අඩුකම නිසා කියලා. ඊටවඩා අර සුජීව ප්‍රසන්නාරච්චිගේ පොත් හොඳයි කියලා.

📚 මම උසස් පෙළ කරන කාලේ මට මතකයි මගේ ඉස්කෝලේ යාළුවො ඔය සුජීව ප්‍රසන්නාරච්චිගේ, යෞවන සමීන්ද්‍ර රත්නායකගේ පොත් කියවනවා. මට කවදත් ඒ පොත් ඇල්ලුවේ නෑ. ඉතිං මම එයාලට හිනා උනා මොනාද ඔය කියවන විකාර පොත්, ඕවායේ තියෙන්නේ බහුබූතනේ කියලා.

📚 ඒත් මම පස්සේ දවසක කල්පනා කලා මොකක්ද මට එහෙම කියන්න තියන අයිතිය, එයාලා ඒවා කියවන්නේ එයාලගේ රුචිකත්වය නිසානේ, මම සුජීව ප්‍රසන්නාරච්චිට, යෞවන සමීන්ද්‍ර රත්නායකට අකමැති උනාය කියලා එයාලත් එහෙම අකමැති වෙන්න ඕනිද කියලා.

📚 ඔය පෝස්ට් එකේ ඔය පුද්ගලයා ලියපු දේ ගත්තොත් මම ඉස්සෙල්ලාම කියන්න කැමතියි මේ පෝස්ට් එක හොයාගෙන කියවන්න. මොකද මේ පෝස්ට් එකේ මේ කෙනා ලියපු හැමදේම බොරු නෙවේ.

📚 හැබැයි මම දැකපු අවුල, මේ පුද්ගලයා මොහාන් රාජ් මඩවලට කැමති නෑ. මේකට Comment කරපු පිරිසෙන් ඇතැම් අයත් මඩවලට කැමති නෑ. ඉතිං මේ පුද්ගලයා හිතාගෙන ඉන්නවා මම මේ ලේඛකයට කැමති නෑ, ඒ නිසා ලංකාවෙ ඉන්න හැම එකාම මඩවලට අකමැති වෙයං කියලා.

📚 තමන් ඒ ලේඛකයාට අකමැති නම් ඒ ලේඛකයාගේ පොත් නොගෙන ඉන්න එක, එයාගේ නවකතා විවේචනය කරන එක වරදක් නෑ. ලෝක ප්‍රසිද්ධ Stephen King, ඉසබෙල් අයියන්දේ කියන ලේඛකයන්ගේ පොත්වලට පවා විවේචන තියනවා. කොටින්ම හැරී පොටර් ලියපු රෝලිං ගේ අත්පිටපත පවා පොත් ප්‍රකාශකයො 12 දෙනෙක් ප්‍රතික්ෂේප කරාය කියන එක අපි අහලා තියනවා. නමුත් මේ ලෝකේ හැම මනුස්සයාම ඔය ලේඛකයාට අකමැති වෙන්න ඕනය කියලා හිතන එක????

📚 ඕක විවිධාකාර ක්ෂේත්‍රවල මේ රටේ තියන දෙයක්. දේශපාලනය ගත්තත් මේ රටේ අති බහුතරයක් හිතාගෙන ඉන්නවනේ අපි දරන දේශපාලන මතය තමා හැමෝටම තියෙන්න ඕනේ, ඊට ප්‍රතිවිරුද්ධ මත දරන අය වහල්ලු නැත්නම් ඩෝබිලා කියලා. ඕක තමා හැම තැනකම තියෙන්නේ.

📚 පොත් ගැන කතා කරත් මිනිස්සුන්ගෙ විවිධ විවිධ රුචිකත්වයන් තියනවා. සමහර ලේඛකයො ඉන්නවා මටත් පේන්න බැරි. කොටින්ම ඔය මොහාන් රාජ් මඩවලගේ මාගම් සෝලිය කියන පොත මට පේන්න බෑ. හැබැයි ඒ පොත හොඳයි, විශිෂ්ඨයි කියන මිනිස්සු ඉන්නවා. මම ඒ මිනිස්සුන්ට අඩු බුද්ධියක් තියන මිනිස්සු ගණයට හෝ මෝඩ මිනිස්සු ගණයට දාන්නේ නෑ.

📚 ඒ උනාට පස්සේ මම ලොවීනා කියවලා හොයන්න පෙළඹුනා අපේ රටේ රොඩී මිනිස්සු ගැන. රැජිණ කියවලා අනුලා බිසව ගැන හෙව්වා. ඒ වගේම ඕකේ තියන අනුලා බිසවගෙයි, ක්ලියෝපැට්‍රා රැජිනගෙයි Relationship එක ඇත්තද හෙව්වා. ඒක ඇත්ත උනා නැතුවා මඩවල ඒ සිද්ධි දාමය ලස්සනට ගලපලා තියන හැටි, සමහර දේවල් ඇතුලේ එයා මතුකරන Points මාරයි.

📚 හැබැයි මේ පෝස්ට් එක කියවන පිරිසක් කියන්න පුලුවන් නෑ නෑ ඒ පොත් උනත් ඒ බහුබූත තමා, නිකන් කඩදාසි නාස්තිය විතරයි කියලා මම කීයටවත් හිතන්නේ නෑ ඒ මිනිස්සුත් විචාර බුද්ධිය අඩු මෝඩයෝ පිරිසක් කියලා.

📚 පොත් කියවීම, චිත්‍රපට බැලීම Depend වෙන්නේ තමන්ගේ රුචිකත්වය මත. ඔයා ආස ඉන්දියන් චිත්‍රපටි බලන්න වෙන්න පුලුවන්. එහෙනම් ඔයාගේ යාළුවො Netfilx බලනවා කියලා ඔයත් අමාරුවෙන් Netflix බලන්න එපා. ඔයා ආස ශකීරාට නම් යාලුවා ආස ලයනල් රිචීගේ සින්දු අහන්න එපා.

📚 කොටින්ම පොත් ගැන කියන්න තියෙන්නෙත් ඒක. Book fair කාලෙට Facebook එන මිනිස්සුන්ගෙ උපදෙස් වලට පොත් ගන්න එපා. පොත් ගන්න සල්ලි තමන්ගේ නම්, කියවන්නෙත් තමන් නම් තමන් කැමති පොත් ගන්න. මොකද පිරිසක් ඉන්නවා කොච්චර වැඩිහිටියො උනත් තාම පොඩි ළමයි කියවපු පොත් කියවන්න කැමති. ඒ මිනිස්සු එහෙම කරන්නෙ එයාලා මෝඩයො හින්දා නෙවි.

- කෂ්මි-

11/09/2025
11/09/2025

📚 ඔයාලා දන්නවද ළමයි, අප්‍රිකාවේ Zulu Reed Dance කියලා චාරිත්‍රයක් තියේලු. ඒකෙදී තරුණ කන්‍යාවියො උඩුකය නිරුවත්ව නර්තනයේ යෙදෙනවා. ඒකේ අරමුණ තමා එයාලට ගැලපෙන අනාගත සහකාරුවන් සොයා ගැනීම. ඉතිං මේ ගෑනු ළමයි නර්තනයේ යෙදෙද්දී මෙයාලට කැමති පිරිමි අය එවෙලේම මෙයාලා උස්සගෙන යනවලු.

📚 අපි අප්‍රිකාවේ සංචාරයකට ගිහින් හිටියනම් ඔය චාරිත්‍රය තියන දවස්වල සමහර විට අපිත් ගිහින් ඕක පාඩුවේ නරඹාවි. මොකද අපිට කියන්න අයිතියක් නෑනේ ඒයි මොකක්ද ඔය නටන විදිය, ඇඟ වහගෙන නටපන් කියලා. මොකද ඒක එයාලගේ සංස්කෘතිය. එයාලගේ ජීවිතය. අනුන්ගේ රටකට ගිහින් ඒ මිනිස්සුන්ට නටන හැටි කියන්න අපි කවුද?

📚 හැබැයි දැන් ඔයාලා මෙහෙම හිතන්නකෝ....
ඔය චාරිත්‍රෙ කරන අප්‍රිකාවේ සෙට් එක සංක්‍රමණිකයො විදියට ලංකාවට එනවා. මොකක් හරි හේතුවක් නිසා එයාලට මේ රටේ පුරවැසිභාවය හෝ දේශපාලන රැකවරණය හම්බෙනවා. ඉතිං මේ සෙට් එක අපේ ලංකාවෙ පදිංචි වෙලා ඔය චාරිත්‍රෙ මෙහේ කරන්න ගන්නවා.

📚 එතකොට අපිට මොකක්ද හිතෙන්නේ. අපේ රටේ සංස්කෘතියට මොකද වෙන්නේ. අපි ආරක්ෂා කරපු වටිනාකම්වලට මොකද වෙන්නේ. අපි කැමති වෙනවද වෙන රටකින් ආපු සෙට් එකක් තමන්ගේ සංස්කෘතිය මේ රටේ පතුරනවට??? කීයටවත් නෑ නේද? එසේ විය යුතුත් නෑ.

📚 ඒ වගේම ඔයාලා මෙහෙමත් හිතන්නකෝ.....
ඔයාලා වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර යනවා. ඔයා බස් එකේ හෝ ඔයාගේ Private vehicle එකක, ඉන්නේ ගෙදර යන්නේ කොයි වෙලේද බල බල. ඒ අතරේ පාරේ Traffic. ලංකාවෙ පාරවල්වල Traffic තියන එක සාමාන්‍ය දෙයක් උනත් කලින් මෙච්චර Traffic තිබිලා නෑ. බැලින්නම් පාරක් වහලා. ඉන්දියාවෙන් මේ රටට බලෙන් ආපු සංක්‍රමණිකයො ටිකක් එයාලගේ වේල් පෙරහැරක් තියනවා. (London වල දැනටමත් වෙන දෙයක් ඔය කියන්නේ. ) ඒ පිලිමෙ ඊටපස්සේ කැළණි ගඟට අතහරිනවා.

📚 පාරේ ට්‍රැෆික් තියෙන්නේ අපේ රටේ පන්සලක පෙරහැරක් නම්, අපේ රටේ සුළු ජාතීන්ගේ මොකක් හරි සංස්කෘතික දෙයක් හින්දනම් අපි ටිකක් හරී හිත හදාගන්නවා ඔන්න අපේ මිනිස්සුනේ, අපේ මිනිස්සු මේ රටේ මේ පාරේ නැතුව ඉතියෝපියාවේ, සෝමාලියාවේ ගිහින් ඔය පෙරහැර, මංගල්ලේ තියන්නද කියලා. ඒ වගේම දැන් බහුතරයක් අපේ රටේ ආගමික නායකයෝ ඔය වගේ දේවල් වලට සංවේදී. කිහිප දෙනෙක් හැරෙන්න.

📚 හැබැයි මේ වෙන රටකින් ආපු පිරිසක් තමන්ගේ රට වගේ අපේ රටේ පාරවල් එයාලගේ පාරවල් වගේ වහගෙන පෙරහැරවල් තියෙද්දී... ??????

📚 ඉන්දියාවට එන සංචාරකයො බොහොමයක් ලංකාවට ඇවිත් කියන්නේ ලංකාවෙ හරීම Peaceful, calm environment එකක් තියනවා කියලා. මොකද ඉන්දියාවේ ජනගහනය වැඩී. පොඩි ගමක උනත් පොඩී පාරක යද්දී මිනිස්සු ඇගේ හැපෙන තරම් තදබදය. නමුත් ලංකාවෙ එහෙම නෑ.

📚 ඉතිං අපි කැමතිද ලෝකේ හතරවටේ සරණාගතයො ටිකක් මේකට ඇවිල්ලා මේ සාමකාමී පරිසරය විනාස කරනවට, මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් කොහොවත් ඉන්න පිරිසකට දීමනා දෙනවට..... මේක කියවන මේ රටේ සුළු ජාතියකට අයිති කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ, ඔයාලා කැමතිද මේ කොහොන්වත් ආපු මිනිස්සු ටිකක් නිසා ඔයාලගේ අයිතිවාසිකම් නැති වෙනවට, අපේ සමගිය නැති වෙනවට???????

📚 ඉතිං එහෙම උනාම අපිට හිතෙන එකම මේ වෙලාවේ යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, ජපානේ මිනිස්සුන්ටත් හිතෙනවා. එයාලා විරෝධය දක්වන්නේ ඒකයි.

📚 ගොඩක් අය කියනවා මේ වෙලාවේ යුරෝපය නෙලා ගන්නේ ඒ කාලේ එයාලා ආසියාවට ඇවිත් කරපු දේවල් කියලා. වෙන්නත් පුලුවන්. හැබැයි එහෙම කිය කිය ඒක සාධාරණීකරනය කරන එක හරිද? මොකද ඒ කාලේ ආසියාව අල්ල ගන්න යුරෝපෙන් ආපු මිනිස්සු දැන් මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා. (ඇරත් ජපානෙයි, ඕස්ට්‍රේලියාවයි තියෙන්නේ යුරෝපයේ නෙවේ. )

📚 ඒ වගේම ඔයා යුරෝපයේ හෝ මොකක් හරි රටකට ගියේ Work කරන්න නම් මම කියන්නේ දෙයියන්ගේ නාමෙට තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන හම්බ කරගන්න. මේ රටේ කරන ඒවා ඔය රටවල කරන්න එපා. ඔයා වෙන රටක PR ගත්තා නම් ඔයා එහෙම කරේ ඔයාට ලංකාවෙ තවදුරටත් ජීවත් වෙන්න ඕනි නැති හින්දා. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා ඔය රටේ විදියට ඉන්න. මේ රටේ තියන සංස්කෘති ඔය රටවල පතුරන්නයි, ඔයාලගේ ආගමික ස්තාන ඔය රටවල හදන්නයි, මේ රටේ සංස්කෘතික උත්සව ඔය රටවල තියන්නයි, තමන්ගේ ආගමික හෝ සංස්කෘතික මත ඒ රටවල මිනිස්සුන්ට බලෙන් ඔබන්නයි ගියාම ඒ මිනිස්සුන්ටත් අර කලින් ඔයාලට හිතෙන එකම හිතෙනවා. ඔයාට මේ රටේ සංස්කෘතියෙ විදියට ඉන්න ඕන නම් ඇයි ඔයා රට ගියේ??? එහෙනම් මේ රටේම ඉන්න තිබුනා.

📚 කරුණාකරලා ඒ රටවල මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගෙ පාඩුවේ ඉන්න දෙන්න. මොකද මම මෙහෙම කියන්නේ කාලයක් මේ රටේ සුළු ජාතීන්ගේ සමුළුවක් තිබ්බා කියලා අපේ රටේ මිනිස්සු සෑහෙන්න එක එක ඒවා කිව්වා. ඒ මිනිස්සුන්ගෙ ආගමට ජාතියට අපහාස කලා. හැබැයි ඒ කියපු අයම වෙන රටවල ගිහින් අවුරුදු උත්සව තියන එක OK??

📚 මේ දවස්වල යුරෝපයේ ඇතිවෙලා තියන තත්ත්වයෙන් අපේ රටටත් ගත යුතු පාඩම් බොහොමයි. මොකද අපේ රටටත් අනවසර විදියට සංක්‍රමණිකයො එන බව නිල නොලත් ආරංචි තියන හින්දා. සමහරු සංචාරකයො විදියට ඇවිත් මේ රටේ විවිධ ව්‍යාපාර කරන බවට ආරංචි තියන හින්දා. ඒවාට නීතිය පවා ක්‍රියාත්මක වෙන්නේ මන්දගාමී ස්වරූපයෙන් හින්දා.

📚 අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වෙන රටකට ගියානම් ඒ මිනිස්සුන්ගෙ සංස්කෘතියට ගරු කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්න. ඒ රටේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න. තමන්ගේ සංස්කෘතියේ ජීවත් වෙන්න ඕනිනම් මේ රටේ ඉන්න. ( මේ රටට එන අයට කියන්න තියෙන්නෙත් එච්චරයි. )

ඔය දෙවනියට තියෙන්නේ ලන්ඩන් වල තේම්ස් නදියේ ඉන්දියාවේ අය කරන එයාලගේ උත්සවයක්. ඉතිං හිතන්න ඒ මිනිස්සුන්ට තරහා යන හේතුව.

- කෂ්මි -

28/08/2025

📚 මේ ලඟදී Facebook එකේ උඩට පල්ලෙහාට යද්දී මම දකිනවා මැද පෙරදිග රටක වැඩ කරන ලංකාවෙ කෙනෙක් ටික් ටොක් වීඩියෝ එකක් කරලා තියනවා. මම දැක්කා එයා ඒකේ එයා වැඩ කරන ඒ ගෙදර, එයා බලාගන්න දරුවා ඒ සේරම පෙන්නනවා.

📚 ඒ වෙලාවේ මමත් ඇතුළු බහුතරයක් පිරිස එයාට කිව්වා ඔයා ඔය කරන්නේ අවදානම් වැඩක්, ගෙවල් ඇතුල වීඩියෝ කරන එක, ඒ ළමයින්ව පෙන්නන එක කරන්න එපා කියලා. (අපි උනත් කැමති නෑ නේ අපේ ගෙදරක වැඩට එන කෙනෙක් අපේ ගෙවල් ඇතුල, අපේ දරුවෝ වගේ ඒවා වීඩියෝ කරනවට, කරලා සමාජ මාධ්‍ය වල දානවට)

📚 නමුත් අපි අරක කිව්වා විතරයි තවත් ඔය මැද පෙරදිග රටවල්වල වැඩ කරන පිරිසක් අපිට බැනලා තිබ්බා " උඹලා කාලා ඇදලා ඉන්නේ අපි මේ රටවල වැඩ කරන නිසා, අපි එවන සල්ලි නිසා, එයා ඒ Stress එකට tiktok කරනවා ඇත්තේ. කියලා.

📚 මැදපෙරදිග රටවල ගිහින් දහදුක් විඳින ශ්‍රමිකයො එවන සල්ලි වලින් අපි හැමෝම බොහෝ අවස්තාවල ප්‍රතිලාභ ලබනවා. ඒකට ඒ මිනිස්සුන්ට Respect. ඒ වගේම ගෘහ සේවිකාවක් (House maid) කියන්නෙත් වෘත්තියක්. ඒක මම හෝ අපි බහුතරය පහත් කොට සලකන්නේ නෑ. ඒ වගේම ඕන මනුස්සයෙක් Stress එකට ටික් ටොක් එකක් කරන එක, ඒ හරහා තමන්ගේ අත්දැකීම් බෙදාගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි.

📚 හැබැයි පිරිසක් ඉන්නවා ගිය වැඩේ අමතක කරලා වෙන වැඩක් කරන. මොකද මම සමාජ ජාලවල පහුගිය ටිකේ තව වීඩියෝ එකක් දැක්කා. ඒ වීඩියෝ එකේ මැදපෙරදිග ලංකාවෙ ගෘහ සේවිකාවක් ලෙස ඉන්න සහෝදරියක් කියනවා තවත් නිවසක වැඩ කරන ලාංකිකයෙකුට ටික්ටොක් කරන්න ගිහින් වෙච්ච වින්නැහියක්. මම මේක ඒ සහෝදරියගේ වචන වලින්ම කියන්න උත්සහා කරන්නම්. ඔබ මේ වීඩියෝව දකින්නත් ඇති සමහරවිට.

📚 මේ සහෝදරිය මේක කියන්නේ මෙන්න මෙහෙමයි. මම මේ පුලුවන් තරම් කෙටියෙන් කියන්නේ. " අපේ ඒජන්සියෙන් තවත් ගෙදරක වැඩ කරන්න ගෑනු කෙනෙක් ආවා. එයා අකුරුවත් දන්නේ නෑ. කොටින්ම එයාට එයාගේ නම වත් ලියාගන්න බෑ. මම ඒක කියන්නේ එයාව හෑල්ලු කරන්න නෙවේ. කොහොමහරි එයාට හොඳ ගෙදරක් හම්බුනා. ඒ ගෙදර බාබා යි මාමායි ත් ( Sir / madam) ප්‍රශ්නයක් නැහැ.

📚 කොහොමහරි මෙයා ටික දවසකින් ෆෝන් එකක් ගත්තා. අරන් ඒකෙන් ටික්ටොක් හදාගෙන රෑට රෑට ටික්ටොක් කරන්න ගත්තා. පස්සේ පස්සේ මෙයා ටික්ටොක් වල මෙයාගේ ඇඟ පෙන්නන්නත් පටන් ගත්තා. එක දවසක් මේ ගෙදර මාමා ( Madam ) මෙයාට තමන්ගේ අවුරුදු 2 ක් වයස දරුවාව නිදි කරවන්න කියලා දීලා තිබුනා. ඒ දරුවා ගෑනු දරුවෙක්. ඉතිං මෙයා ඔය දරුවා නිදි කරවලා ඔය අතරේ අර දරුවා ඇදේ ඉද්දිම ටික්ටොක් කරන්න ගිහින්. එවෙලේ අර දරුවා ඇඳුම් නැතුව ඉදලා තියෙන්නේ.

📚 ටික්ටොක් එකේ මෙයා ඇග පෙන්න පෙන්න වීඩියෝ දාන එක මට ප්‍රශ්නයක් නෙවේ. මොකද මෙයාගේ ඇඟනේ මෙයා පෙන්නන්නේ. හැබැයි අර පොඩි දරුවවත් මෙයා දාපු එක.....
කොහොමහරි ඔය වීඩියෝව ගෙදර මමා දැකලා මාමා මේ ගෑනිට හොඳටම ගහලා. හොඳ වෙලාවට ඕක මාමා බාබා ට කියලා නෑ. ඒ මනුස්සයා මෙයාව ටිකට් අරන් ලංකාවට යවලා. බැරිවෙලාවත් බාබාට කිවවනම් මෙයාගේ කෑලි වත් හොයන්න හම්බෙන්නේ නෑ. මිනී පෙට්ටියේ තමා ලංකාවට යන්න වෙන්නේ. "

📚 ඕක තමා ඒ සොහොයුරිය කියපු කතාවේ සාරාංශය. සමහරවිට මේක කියවන ඔබත් මැද පෙරදිග වැඩ කරනවා ඇති. මාත් පහුගිය ටිකේම ඔය මැද පෙරදිග වැඩ කරන අයගේ වීඩියෝස් බැලුවා. සමහර ගෑනු අය අර ගෙදර මිනිස්සුන්ට බනිනවා. ඒ මිනිස්සුන්ගෙන්ම කකා ඒ මිනිස්සුන්ටම බනිනවා. ඔයාලා හිතාගෙන ඉන්නවා ඔයාලා සිංහලෙන් කියන නිසා ඔය වීඩියෝ ඒ මිනිස්සු දැක්කත් එයාලට තේරෙන්නේ නෑ කියලා. අනේ නෑ දැන් තාක්ෂණය දියුණුයි. Google Translater වලින් ඒ මිනිස්සු හොයාගන්නවා කියන්නේ මොනවද කියලා.

📚 මේ ගෘහ සේවිකාවෝ යවන ඒජන්සි කරන අය පොඩ්ඩක් මේ යවන මිනිස්සු ගැන සැලකිලිමත් වෙන්න. මොකද මෙයාලා මේ වගේ වැඩ කරාම නැතිවෙන්නේ හොඳට වැඩ කරන මිනිස්සුන්ගෙ තැන. දැන් අර කලින් මම කියපු සිදුවීමෙදී ඒ ගෙදර මිනිස්සු තවත් ලංකාවෙ අය වැඩට ගනීද? ඒ ගෙදර වැඩ කර කර හිටපු ලංකාවෙ අනිත් අය දිහා දැන් එයාලා බලන්නේ කොහොමද? ඕකෙන් වෙන්නේ ලංකාවෙ අය හරාමී කියලා බෝඩ් එක වදින එක. (මේක ඒ සහෝදරිය කිව්වේ. )

📚 තව පිරිසක් ඉන්නවා ඔය ගෙවල්වල හොරකම් කරන. මේ ලඟදීත් ලංකාවෙ කෙනෙක් ඔහොම මැද පෙරදිග ගෙදරක හොරකම් කරලා අහුවෙන වීඩියෝවක් මම දැක්කා.
පුතෝ ඔය රටවල් බොහොමයක අරාබි නීති තියෙන්නේ. මේ රටේ ලොකු හොරකම් කරලා මගේ පපුවේ හිලක්, අක්මාවේ පෙනහැල්ලක්, උණ්ඩුක පුච්චේ වකුගඩුවක් කියලා ඇප ගන්න පුලුවන් උනාට ඔය රටවල ගෙදරක පොඩි චොකලට් එකක් හොරකම් කලත් එන්න වෙන්නේ අත නැතුව.
මොකද ඔය රටවල්වල අනී පවූවූ නැති කමටනේ ගන්න ඇත්තේ කියලා හොරු සාධාරණීකරනය කරන මිනිස්සු නෑ.

- කෂ්මි -

31/07/2025

මේ සම්බන්ධව ඇත්ත දැනගෙන හිටියද?

📚 Technology ගැන කතාකරන යූ ටියුබර් කෙනෙක් Starlink කියන අන්තර්ජාල සේවාවේ වැරදි කියමින් ලංකාවෙ පවතින වෙනත් අන්තර්ජාල සබදතාවක් Promote කිරීම සම්බන්ධව මේ වෙනකොට සෑහෙන ලොකු විරෝධයක් එල්ල වෙලා තියනවා.

📚 ඒකෙන් මට එක අතකට සතුටක් දැනුනේ අපේ මිනිස්සු Technology ගැන මාර විදියට update වීම ගැන. Starlink සේවාව හොඳද නරකද කියා මා දන්නෙ නෑ. නමුත් ඒ යූ ටියුබර් කරන්න හදපු ප්‍රෝඩාව ගැන මිනිස්සු දැනගත්ත එක ලොකු දෙයක්.

📚 ඔය හා සමගාමීව ම තමයි ඔය පල්ලෙහා තියන News එකත් ඇත්තද කියලා මම හොයලා බැලුවේ. මොකද මම සාමාන්‍යයෙන් සිංහල චැනල් වල යන news පවා එකපාර පිළිගන්න මැලිකමක් දක්වන නිසාත් ලංකාවෙ දැන් මීඩියා කියන්නේ එක්තරා විදියක මාෆියාවක් වීම නිසාත්.

📚 නමුත් ඇත්ත කතාව මෙහෙම වාර්තා කරලා තියෙන්නේ එක්තරා වෙබ් අඩවියක් පමණයි. වෙබ් අඩවියකට ඕනම දෙයක් කියන්න පුලුවන්. කොටින්ම ඒක Depend වෙන්නේ ඕක ලියන කෙනාගේ Choice එක මත. කොටින්ම මම වෙබ් අඩවියකට ලෝකේ තියන හොඳම දූපත් 10 ගැන Article ලියනවා නම් අනිවාර්යයෙන් ඔය අස්සට කොහොමහරි ලංකාව දානවා. මොකද මාත් ආසයි එහෙම හරි ලෝකේ මිනිස්සු ලංකාව ගැන දැනගන්නවානම්.

📚 මේක කියන්න කලින් මම කියන්න ඕනි මේ news එක කියන තරම් ඇත්තක් උනානම් මාත් හරියට සතුටු වෙනවා. මොකද මාත් මේ රටේ ඉපදුනේ, මේ රටේ හැදුනේ වැඩුනේ, මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙන ගත්තේ. අදටත් ෆිල්ම් එකක උනත් අපේ රටේ නම ඇහෙද්දී අභිමානයක් දැනෙනවා. මමත් හරි කැමතියි ලංකාව කියන තරම් හොඳ රටක් වෙනවනම්, අනිත් රටවල මිනිස්සුන්ට තියන පහසුකම් ලංකාවෙ අපිටත් තියේනම්, අපේ ඉතිහාසය ගැන, අතීත තාක්ෂණය ගැන, අපේ සංස්කෘතිය ගැන මේ ලෝකේ මිනිස්සු කතා වෙනවනම්. ඒ වගේම පකිස්තානය ලාහෝර්, ඉන්දියාවේ දිල්ලි ජීවත් වෙන්න නුසුදුසු නගර කියලා නම් කරද්දී දකුණු ආසියාවේ අපි ඔය තැනට වැටිලා නෑ. ඒ ගැනත් සතුටු වෙනවා.

📚 ඒ වගේම මේ වෙබ් අඩවියේ විතරක් නෙවේ. තව වෙබ් අඩවිවල ලෝකේ සුන්දරම දූපත් අතර ලංකාව තියනවා. එක ඉතිං Depend වෙන්නේ ඒක ලියන Writer ගේ choice එක මත. හැබැයි අපි ඇත්තට මුහුණ දෙන්න ඕනි. යථාර්ථය දැනගන්න ඕනි. ඔය තියෙන්නේ ඇත්ත Ranking

10. අයිස්ලන්තය
9. Mauritius
8. සැන්ටෝරිනී
7. බාලි
6. පලවාන්
5. නවසීලන්තය
4. බෝරා බෝරා
3. ෆිජි
2. සීෂෙල්ස්
1. මාලදිවයින
ලංකාව නැත.

මූලාශ්‍රය : 👉 National Geographic Travel
👉 UNESCO World Heritage Sites
👉 CNN Travel & BBC Travel Features

📚 සමහරවිට අපේ රටේ මිනිස්සු මේ රට පිරිසිදුව තියාගත්තනම්, තැන තැන කුණු නොදා, බුලත් කෙල නොගහා හිටියනම් මේ Ranking අතර අපිත් ඉන්න තිබ්බා. මොකද මේක නරක රටක් නෙවේ.

- Kashmira Rathnayaka -

20/07/2025

කෂ් ගේ කතා - 04
පුතා සනා සහ රට අන්කල්
✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️

" Ladies and gentlemen, as we begin our descent into London Heathrow, please ensure your seatbelt is fastened,.......
ගුවන් යානයේදී නිවේදනය කළා. ඉතිං යසිරුත් ආසන පටි තද කරගෙන ලෑස්ති උනේ කොළඹ කටුනායක ඉදන් පැය ගාණක් ආපු මේ ගුවන් ගමනෙ ඉවරයක් දකින්න.

යසිරු කියන්නේ පවුලේ එකම පිරිමි දරුවා. යසිරුට තව අක්කලා දෙන්නෙක් හිටියත් අම්මයි තාත්තයි වැඩිපුරම ආදරේ කලේ යසිරුට. ඇයි පවුලේ එකම පිරිමි දරුවනේ. අක්කලා දෙන්නගේ ආදරෙන් යසිරුට නොමදව ලැබුනා.

යසිරුගේ පවුල සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක්. හැබැයි යසිරුගේ අම්මයි තාත්තයි දරුවො තුන් දෙනාට කොහොමහරි ඉගැන්නුවා. ඒ අනුව ලොකු අක්කා දැන් ගුරුවරියක් විදියට වැඩ කරනවා. දෙවනි අක්කා ඉගෙන ගන්න දස්ස නැතත් පොඩියට කේක් බිස්නස් එකක් කරනවා. පොඩියට පටන් ගත්තට දැන් ඒක දියුණු යි. මේ ළඟදී තව ළමයි දෙන්නෙක් වැඩටත් ගත්තා.

යසිරු ඉතිං කාගෙත් සුරතලා නේ. යසිරු ඉගෙන ගන්න අදක්ෂ නැතත් ඒ හැටි මහන්සි වෙලා පාඩම් කරන්න, මහන්සි වෙලා වැඩක් කරන්න කැමැත්තක් දැක්කුවේ නෑ. මොකද යසිරුට පොඩි කාලේ ඉදන් අම්මායි අක්කලයි අතට පයට සේරම කරලා දුන්නා. අක්කලා යට ඇඳුමේ ඉදලා රෙදි ටික සෝදලා දුන්නා. හැමදාම තුන් වේලම යසිරුට බත් කැවුවේ අම්මා.

ඉතිං ඒ නිසා යසිරුත් කිසි දේකට ලොකුවට මහන්සි උනේ නෑ. මේ පාර උසස් පෙළ යසිරු සමත් වෙලා තිබ්බත් විශ්වවිද්‍යාලෙක යන්න තරම් හොඳ මට්ටමක ලකුණු තිබ්බේ නෑ. දෙවනි පාර උසස් පෙළ කරන්නත් යසිරුට බෑ කිව්වා. පෞද්ගලික විශ්වවිද්‍යාලෙකට යවන්න තරම් යසිරුගේ අම්මටයි තාත්තටයි සල්ලි තිබ්බේ නෑ. දුවලා දෙන්නට සල්ලිය භාගෙ තිබ්බත් ඒ දෙන්නගෙන් ඒවට සල්ලි ඉල්ලන්නත් යසිරුගෙ අම්මටයි තාත්තටයි හිත දුන්නේ නෑ. මොකද ඒ ළමයි මහන්සියෙන් හම්බ කරන සල්ලි ඒ ළමයින්ගේ අනාගතයට තියෙන්න එපාය.

ඉතිං ඔය අතරේ යසිරුගේ අම්මා ඉන්ග්ලන්ඩ් වල ඉන්න තමන්ගේ මල්ලිට කෝල් කළා. බ්‍රෙන්ඩන් මාමාත් යසිරුට ගොඩක් ආදරෙයි. බ්‍රෙන්ඩන් මාමා නිවාඩුවට ලංකාවට එද්දි අනිවාර්යයෙන් යසිරුට බඩු ලිස්ට් එකක් තියනවා බ්‍රෙන්ඩන් මාමාට කියලා ගෙන්න ගන්න. වයලට් නැන්දයි බ්‍රෙන්ඩන් මාමාගේ පුතාලා දෙන්නා වෙච්චි ඩේවිඩ්, තෝමස් කියන අයියලා දෙන්නත් යසිරුට බොහොම හිතවත්. ඒ හැමෝම ලංකාවට එන්නේ යසිරුලාගේ පවුලේ කට්ටියටම අත පිරෙන්න තෑගි බෝග අරගෙන.

කොහොමහරි බ්‍රෙන්ඩන් මාමා නම් කිව්වේ අක්කේ, යසිරු සනාව ඉන්ග්ලන්ඩ් වල යුනි එහෙකට දාමු. මම ඉන්නවනේ බලාගන්න කියලා. මෙහේ පාර්ට් ටයිම් ජොබ් කරන ගමන් ඉගෙන ගන්න පුලුවන්නේ කියලා බ්‍රෙන්ඩන් මාමා කිව්වා.

ඒ අදහසට යසිරු නම් එක පයින් කැමති. ඒත් පාර්ට් ටයිම් ජොබ්ස් කියද්දී යසිරුගේ අම්මගේ මූණ ඇඹුල් උනා.

" කොහොමද බ්‍රෙන්ඩන් මල්ලී මගේ කොල්ලා ලවුවා ඔය කොෆී ෂොප් වල පිඟන් හෝදන එවුවයි, ක්ලීනින් රස්සායි කරවන්නේ, අපි කොච්චර නම්බුකාර මිනිස්සුද? ඇරත් මගේ කොල්ලාට බත් බෙදලා දෙන්නෙත් මම. එහෙම එකේ මගේ කොල්ලට ඕවා ඔරොත්තු දෙන්නේ නැති වෙයි. "

" පාර්ට් ටයිම් ජොබ්ස් කරන එක මෙහේ සාමාන්‍ය දෙයක් අක්කේ. මෙහේ රස්සාවල් උස් පහත් කියලා වෙන් කරන්නේ නෑ. දැන් මම සේල්ස් ඒජන්ට් කෙනෙක් උනත් සති අන්තෙ ක්ලීනින් ජොබ් එකක් කරනවා. වයලට් බලන්නකෝ, ගුරුවරියක් වෙලත් වීකෙන්ඩ් එකේ සුපර්මාර්කට් එහෙක වැඩ. ඩේවිඩ්, තෝමස් දෙන්නම කොෆී ෂොප් එකක වැඩ කරන ගමන් එයාලගේ යුනි එකේ ෆී එක ගෙවනවා."

" අනේ මගේ කොලුවා කොහොමද මල්ලියේ ඒ වැඩ කරන්නේ මම ඌව ඇහැක් වගේ හැදුවේ, ඇරත් ඕකට සීතල අල්ලන්නෙ නෑ, මතකනේ නුවරඑලියේ ගිය වෙලාවක වමනේ කළා. "

" ක්ලයිමේට් එකට නම් අපිටත් ආපු මුල් දවස්වල හුරු වෙන්න අමාරු උනා. අක්කා වොරි වෙන්න එපා, සනාව එවන්නකෝ, මට පුලුවන්නේ ඉතිං සනාගේ වියදම් බලාගන්න. "

ඉතිං ඔය විදියට තමා යසිරුගේ ඉන්ග්ලන්ඩ් ගමන සිද්ධ උනේ. කොහොමහරි යසිරු ෆ්ලයිට් එකේ ඉදන් බැහැලා එයාර්පෝර්ට් එකේ බ්‍රෙන්ඩන් මාමා ඇවිත් ඉන්නවා දැක්කා. " මේ දවස්වල ක්ලයිමේට් එක චුට්ටක් හාෂ් සනා. මම මේ ගෙනාපු ජැකට් එකත් ඇඳගත්තනම් හරි." බ්‍රෙන්ඩන් මාමා යසිරු ගැන දන්න නිසාම තවත් ජැකට් එකක් ගෙනල්ලා තිබුනා.

කොහොමින් කොහොම හරි යසිරුට ලන්ඩන් වල යුනි එකකට යන්න අවස්ථාව ලැබුවා. ඉතිං ඒ යුනි එකේ සෙමෙස්ටර් එකක් සඳහා ලොකු ගාණක් ගෙවන්න වෙනවා. ඒ වියදම් බ්‍රෙන්ඩන් මාමා ගෙව්වා. බ්‍රෙන්ඩන් මාමායි, වයලට් නැන්දයි ගොඩක් වෙලාවට ගෙදර ඉන්නේ ඉරිදට. අනිත් හැම වෙලාවෙම වැඩ වලට එළියට ගිහින්. වයලට් නැන්දා නම් ගුරුවරියක් නිසා ගෙදර හිටියත් බිසී.

යසිරුලගෙ ගෙදර ගොඩක් වෙලාවට උයන පිහන කටයුතු කලේ අම්මා නැත්නම් අක්කලා. තාත්තවත්, යසිරුවත් කුස්සිය පැත්ත පළාතේ ගියේ නෑ. ඒත් මෙහේ සමහර විට බ්‍රෙන්ඩන් මාමාත් උයනවා. තෝමස්, ඩේවිඩ් අයියලා දෙන්නත් උයන පිහන වැඩ කරනවා. ඒ දෙන්නා නිවාඩු දවසේ වත්තේ වැඩ, ගෙදර වැඩ එහෙමත් කරනවා. වත්තේ පැත්තකට වෙන්න දාපු ස්ට්‍රෝබරි පාත්තිය දැම්මේ ඩේවිඩ්. කොච්චර වැඩ තිබුණත් ඒවාට සාත්තු සප්පායම් කරන්න ඩේවිඩ් අමතක කළේ නෑ. ස්ට්‍රෝබරි හැදුනම එයා ඒවා අහල පහල ගෙවල් වලටත් දෙනවා.

ඒ වගේම යසිරුගේ යුනි එකේ ඉන්ග්ලන්ඩ් වල යාලුවො වගේම වෙන රටවල්වලින් ආපු යාලුවොත් බහුතරය පාර්ට් ටයිම් ජොබ්ස් කලා. ඒ අතරෙ ලංකාවෙ කිහිප දෙනෙකුත් හිටියා. ඒ හිටපු ලංකාවෙ අයගෙන් සමහරක් යසිරුලාට තරම්වත් යමක් කමක් ඇති අය නෙවේ. හැබැයි ඒ අය පාර්ට් ටයිම් කලා, පීසා ඩිලිවරි කලා, ක්ලීනින් කලා, හොටෙල්වල පාර්ට් ටයිම් වැඩ කලා, පාඩම් වැඩත් කලා. ඒ කරලා එයාලගේ වියදම හොයාගෙන, බෝඩිං ෆීස් ගෙවාගෙන ගෙවල් වලටත් යැව්වා. යසිරුටනම් මේ සීතලේ පාර්ට් ටයිම් කරනවා කියද්දිත් ඇඟ හිරි වැටෙනවා.

කොහොමත් යසිරුගෙ අම්මා තමන්ගේ මල්ලිට කලින්ම කොල්ලා පාර්ට් ටයිම් වැඩවලට දක්වපු අකමැත්ත ගැනයි, ගෙදර හැදුනු විදියයි කියලා තිබ්බ නිසා බ්‍රෙන්ඩන් මාමා යසිරුට යහමින් වියදම් කළා. ඉතිං ඒ නිසා යසිරු ඔය කියන පාර්ට් ටයිම් ජොබ්ස් කළේ නෑ. කොටින්ම ගෙදර වැඩක් පවා යසිරු කළේ නෑ. ගෙදර වැඩ කරන්න ඉතිං යසිරු ගෙදර වැඩ දැනගෙන හිටියෙත් නෑනේ. යුනි එකේ ඉඳපු කාලේ ඇරෙන්න අනිත් මුලු කාලෙම යසිරු ගෙව්වේ එක්කෝ ගෙදර එයාගේ කාමරේ. නැත්නම් ඩිස්කෝ වල.

කොහොමින් කොහොම හරි එක දවසක් බ්‍රෙන්ඩන් මාමාට පපුවේ අමාරුවක් හැදුනා. අවසානේ පපුවෙ අමාරුව උත්සන්න වෙලා බ්‍රෙන්ඩන් මාමා මිය ගියා.

බ්‍රෙන්ඩන් මාමා හැරෙන්න මේ පවුලේ කිසි කෙනෙක් යසිරුගේ කල් ක්‍රියාව ගැන සතුටකින් නෙවේ හිටියේ. ඔව්, ඉතිං ඒකට පුදුම වෙන්න දේකුත් නෑනේ. ඒ අතරේ තෝමස් අයියට ඇමරිකාවේ ශිෂ්‍යත්වයක් ලැබුනා. ඉතිං ඒ විදියට මෙයාලා මුළු පවුලම ඇමරිකාවට සංක්‍රමණය වෙන්න තීරණය කළත් යසිරුව හලන්න සිද්ධ උනා. ඇත්තටම ඒකෙදි උනේ යසිරුගේ වීසා රිජෙක්ට් වෙච්ච එක.

ඉතිං වයලට් නැන්දලා කොහොමහරි ගෙවල් විකුණපු නිසා යසිරුට යුනි එක ගාව බෝර්ඩ් වෙන්න උනා. ඒ අපාර්ට්මන්ට් එකේ කෑම උයාගෙන කන්න තිබ්බේ තනියම. යසිරු උයන්න දන්නෙ නැති නිසා මුල් ටිකේ එළියෙන් කෑවත් ඒකට ලොකු වියදමක් ගියා. පාර්ට් ටයිම් ජොබ් එකක්වත් හොයාගන්න උවමනාවක් නොතිබ්බ යසිරුට ඊලඟ සෙමෙස්ටර් එකේ ෆී එක ගෙවන්න බැරි වෙච්ච හින්දා යුනිවර්සිටි එකෙන් එලියට දැම්මා.

ගෙදරින් සල්ලි ඉල්ලුවට ගෙදර මිනිස්සුන්ට දෙන්න සල්ලි තිබ්බෙත් නෑ. අන්තිමට යසිරු පටන් ගත්ත උපාධිය පවා ඉවර නොකර හිස් අතින් ලංකාවට එන්න යසිරුට සිදු උනා.

Moral : - 1. අනුන් මත රඳා පවතින දේවල් නොකරන්න. තමා මත රඳා පවතින දේ පමණක් කරන්න.

2. මිනිස්සුන් වෙනස් වීමට ගත වන්නේ ක්ෂණයකි.

3. කුක්කු බබාලා රට එවීමෙන් වළකින්න.

🖊️ Kashmira Rathnayaka

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

E/3, Wadulu Sewana, Orugodawatta
Colombo
10600