23/05/2026
"සනත් එක්ක - ජීවිතයට ඉඩදෙන්න" රසවින්දනාත්මක සුයාමයේදී "ආනුභූතික ස්වාත්මීකරණය" සැබැවින්ම විඳගතිමි!
එවන් සුයාමයක දැහැන්ගත වන්නට එහි 300 වැන්න එළැඹෙන තුරුම සිටීම ගැන ම'හදටම දොස් පවරාගත් අවස්ථාවක් ද විය.. විශ්වාස කරන්න ප්‍රිය සහෘදයනි, එය එතරම්ම මනෝරම්‍ය සන්ධ්‍යාවකි!!
ජීවිතයේ ප්‍රථම වරට විරල ගණයේ සංගීතමය චිකිත්සාවකින් ම'හදට ලැබුණු විශ්‍රාන්ති සුවය අත්විඳිමි.. යළි යළිත් එහිම වෙලෙමි!
ප්‍රසංග බහුල සමාජයක, පඳුරකට පයින් ගසන්නා හේ ගීත වැඩසටහන් විසිවන කාලයක ආචාර්ය සනත් කේ. විමලසිරි නම් වන අප කෘතහස්ත කලාකරුවාණන්ගේ, අප පවුලේ ළබැඳි සහෝදරයාගේ "සනත් එක්ක ජීවිතයට ඉඩදෙන්න" රසවින්දනාත්මක සුයාමය - රැල්ලට නොයා උඩුගං බලා පීනනවාක් වැනි සමාජ පෙරළියකට මං තනන අපූරු වෑයමක් බව නොකියාම බැරිය.
මන්ද යත්, ගීතයක් අසා - අත්පොළසන් නගා - සිනා සී - දොඩා පැමිණෙනවාට වඩා, එම සුයාමයේ ප්‍රේක්ෂකාගාරයටම එක සේ ස්වකීය ආත්මය හා දොඩමළු වන්නට, ආනුභූතිය තමන්වෙත ආරෝපණය කර ගනිමින් "ආනුභූතික ස්වාත්මීකරණයක" වින්දනය ලබා ගන්නට මේ අපූරු රංගධරයා දැරූ ප්‍රයත්නය තුළින් අවකාශ හිමිවීම ම ලාංකේය සමාජ පෙරළියක් තුළින් අනාගත පරපුර වෙනුවෙන් කරන වත්මන් සාර ආයෝජනයක් බැවිනි.
"ආනුභූතික ස්වාත්මීකරණය" යන්න ආචාර්‍ය සනත් කේ. විමලසිරි රංගවේදියා විසින් සිය ආචාර්ය උපාධි පර්‍යේෂණය තුළින් සොයාගත් නව සංකල්පයක් බව ද මෙහි ලා සඳහන් කළ යුතුය.
බොහෝ දෙනා තම මල්ල තරකර ගැනීම වෙනුවෙන්ම කලාව භාවිතකරන සමයෙක, ලාභයට වඩා සහෘද මන සාර කරවීමටත්, ඒ ඔස්සේ සාර සමාජයක් බිහිකිරීමටත් යත්න දරන මා දුටු එකම මනෝරම්‍ය රසවින්දනාත්මක වැඩසටහන මෙයයි!!
හැල්මේ දුවන ජීවිතයට නිස්කාංසුවේ ගිමන්ලන්න ඉඩදෙන්න නම් මෙවන් සුයාමයක මිහිර ඔබ සැමට වෛද්‍ය නිර්දේශයක් ලද්දාක් සේ ලබාගත යුතුම බවට මම යෝජනා කරමි.
තාන්න - මාන්න - උස් මිටිකම් සියල්ල පසෙක හෙළා සැබැවින්ම පොළොවේ පය ගැසූ මනුෂ්‍යයින් සේ ස්වකීය ආත්මය තුළටම කිඳා බසිමින් ජීවිතයේ ප්‍රමුඛතා ලැයිස්තුව යළි පිරික්සා බලන්නටත්, ඊට අවැසි සුදුසු සංශෝධන කරන්නටත් මග පෙන්වන සංගීතමය චිකිත්සාවක ආහ්ලාදය ඔබත් විඳගත යුතුමය!
එය ඔබ, ඔබේ මෙන්ම ඔබේ ළබැඳි හිතෛෂීන්ගේ ජීවිතය කෙරෙහිත් කරන මාහැඟි ආයෝජනයක්ම වන බවට මා කැට තියා ප්‍රකාශ කරමි..
ඉතිං සහෘදය, මේ සිටින්නේ පෙරදා රැයේ සිටි මා නොවේ.. මේ අලුත් මිනිසෙකි! ජීවිත තරගය අතරතුර ඉන් මදකට බැස හති ලෑ, ඉදිරි ජීවිතය කෙසේ විය යුතුදැයි අලුතින් යළි සිතන්නට යොමු වූ තැනැත්තියකි! ලොවක තතු ඔබට කියන මහා වගකීම් බර ජනමාධ්‍යවේදිනියකගේ චරිතයෙන් මදක් එළියට විත් මේ ඔබ වෙනුවෙන් අකුරු අමුණන්නේ, මේ සුයාමයෙන් මා වෙත ලැබුණු ආලෝකය ඔබටත් ලැබෙනු දකින රිසියෙන්ම විනා අන් කිසිවක් නිසා නොවේ..
ඉතිං, ආචාර්ය සනත් කේ. විමලසිරි අපූර්ව කලාකරුවාණෙනි, අපේ පවුලේ ආදරණීය ළබැඳි සහෝදරයාණෙනි, මේ සා අදරින් ලියා එවන මේ තුති මල් කුසුම් පිළිගන්න!! ඔබෙන් ලද ඒ මනෝ චිකිත්සාවේ ප්‍රහර්ශය මෙසේ අකුරුකරන මොහොතේ මා ප්‍රාර්ථනය කරනුයේ, ජන මන නිවා සනසාලමින්, නුවණැස පුබුදු කරලමින්, කළ යුත්ත යළි සිහිගන්වමින් ඔබ මේ කරන සමාජ මෙහෙවරේ බෙලෙන් ඔබට නේකවර ආශිර්වාද වේවා! ඔබේ පියවරක් පියවරක් පාසා සියල් කටයුතු සාර්ථක වේවා!!
අවසාන ප්‍රේක්ෂකයාත් BMICH පරිශ්‍රයෙන් නික්මයන තුරුම හිඳ පිටත් වුණෙමි! නැවත පැමිණෙමි!! ඔබේම පවුලේ සහෝදර සහෝදරියන් සියල්ලෝම වෙනුවෙන් ආදර ගෞරවය මෙලෙස පිරිනමමි!!
Sanath Wimalasiri ❤️🤗
- දුෂාණි නානායක්කාර
2026.05.23