21/06/2024
බැති ගී තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ අප දහම් පාසලේ කණ්ඩායම...❤❤
ශ්‍රී ධම්මපාල දහම් පාසල
ශ්‍රී බෞද්ධාලෝක මහා විහාරය කොළඹ 07
21/06/2024
බැති ගී තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ අප දහම් පාසලේ කණ්ඩායම...❤❤
මහා විසුද්ධාරාම අලිදෙන්නා විහාරස්ථානයේ සිරිධම්ම දහම් පාසල මඟින් සංවිධානය කරනු ලැබූ බැති ගී තරඟය සඳහා අප දහම් පාසලේ සිසුන් කල ඉදිරිපත් කිරීම...❤❤
21/06/2024
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා....
🏵️ පොසොන් පොහොය දිනයේ වැදගත්කම...🏵️
ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිසට ඇතුළත් වූහ.
අන්රටවලට වඩා ශ්‍රී ලංකාවට එවනලද දූත පිරිස සුවිශේෂත්වයක් ගත් බව පැහැදිලිය. මේ දූත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාව දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයකි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුතණුකෙනෙක් වූ අතර “සුමන” සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ “සංඝමිත්තා” නම් දියණියගේ පුත්‍රයා වූහ. මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වශයෙන් “භණ්ඩුක” උපාසකතුමා සඳහන් වේ.මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.
මිහිඳු මා හිමියන් ප්‍රධාන බෞද්ධ ධර්ම දූත පිරිස අනුරාධපුරයේ මිහින්තලා කඳු මුතට වැඩම වන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වූ දෙවනපෑතිස් රජතුමා පෙර සිරිත අනුව හතළිස් දහසක් පිරිස සමග පොසොන් සැණකෙළිය සඳහා මුව දඩයමේ යෙදෙමින් ඒ මිහින්තලා පර්වතය අසල කල්ගත කළේය. මිහිඳු මා හිමියෝ රජතුමා අමතා “අපි ධර්ම රාජ වූ බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු” යනුවෙන් ප්‍රකාශ කළහ.රජතුමාගේ තුටු පඬුරු ගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් තුණුරුවන් පිළිබඳ පණිවුඩය කලින් එවා තිබූ හෙයින් පැමිණි මේ දූත පිරිස පිළිබඳ සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස්ස රජතුමාට ලැබී තිබුණි. මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත.
ඇතිවූ සුහද සාකච්ඡාවකින් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්‍ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න මාලාව ඉතා වැදගත්ය.
ලංකාවේ පැවැත්වූ ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය වූ මෙයින් ලක් රජතුමා තුළ පැවැති උසස් ඥාන ශක්තිය ගැන පැහැදුනු මිහිඳු මාහිමියෝ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රය” මාතෘකා කොට මෙරටට වැඩම වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදීම ධර්මය දේශනා කළහ.තුණුරුවන් පිළිබඳවත් ශාසනයට අතුළත් වීමත් භික්‍ෂූන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබාගත හැකි අග්‍ර ඵලයත් යන වැදගත් කරුණු පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි අන්දමට මේ සූත්‍රය තෝරා ගැනීම අතිශයින් වැදගත්ය.මේ ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම මහත් ප්‍රසාදයට පත් රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වූහ.මේ පොහොය වඩාත් වැදගත්වීමට රටේ පාලකයා බෞද්ධයකුවීම හේතුවක් විය.
☸️. ලංකාවේ ප්‍රථම මහණ උපසම්පදාව
භණ්ඩුක කුමාරයාගේ මහණ උපසම්පදාව...
අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ ප්‍රධාන ධර්‍මදූත පිරිස සමග පැමිණි භණ්ඩුක කුමාරයා මිහිඳු මාහිමියන් ගේ මවු බිසොවුන්ගේ සහෝදරියගේ දුව ගේ පුත්‍රයා ය. මිහිඳු මාහිමියන් මවු බිසොවුන් හට දේශනා කළ ධර්මය අසා අනාගාමී ඵලයට පැමිණියේ තෙරුන් වහන්සේ වෙත ම වාසය කෙළේ ය. වේදිස ගිරියෙහි මාසයක් වැඩ සිටි මිහිඳු මාහිමියන්
වහන්සේ පොසොන් පුර පසළොස්වක් දිනයෙහි ධර්‍මදූත පිරිස සමග ලංකාවට වැඩිය හ. ඒ ධර්‍මදූත පිරිස සමග භණ්ඩුක නම් අනාගාමී කුමාරයා ද පැමිණියේ ය. පොසොන් පොහෝදා දෙවන පෑතිස් රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථි පදොපම සූත්‍රයෙන් ධර්‍ම දේශනා කොට තිසරණයෙහි පිහිටුවා පසුව අනාගාමි ඵලයට පත් ව සිටි භණ්ඩුක කුමාරයා පැවිදි කොට උපසම්පදා කළ සේක. උන්වහන්සේ එ කෙණෙහි ම රහත් වූහ. මේ ලංකාවේ සිදු වූ මුල් ම මහණ උපසම්පදාව යි.
බුද්ධ දේශනාව අනුව ඉන්දියාවේ මධ්‍යදේශයෙන් බැහැර කවර ස්ථානයක දී හෝ භික්‍ෂු නමක උපසම්පදා කිරීමට උපසපන් භික්‍ෂූන් පස්නමකගේ සහභාගිත්වය ප්‍රමාණවත් බව සම්බුදු රදුන්ගේ නියමයයි. මේ කරුණ මැනවින් දැන සිටි මිහිඳු මා හිමියන් තම ධර්ම දූත පිරිසට උපසම්පදා භික්‍ෂූන් පස්නමක් සම්බන්ධ කර ගැනීම උනවහන්සේ තුළ පැවති බුද්ධි මහිමය ප්‍රකට කරන සිදුවීමකි.
☸️. සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම...
මිහිඳු මහරහතන් වහන්සේ ගේ නියමය පරිදි සුමන සාමණේරයන් වහන්සේ “ධම්මස්සවණ කාලො අයං භදන්තා” යනාදී ගාථාවෙන් මුළු ලක්දිවට ම ඇසෙන සේ ධර්‍ම ශ්‍රවණයට කාල ඝොෂා කළ හ. සාමණේරයින් වහන්සේගේ හඬ අසා භූමා ටු දෙවියෝ ඝෝෂා කළහ. අනුක්‍රමයෙන් ඒ හඬ බ්‍රහ්මලෝකය දක්වා නැග්ගේ ය. එයින් අසංඛ්‍ය සංඛ්‍යාත දෙවියෝ එහි රැස් වූහ. මිහිඳු මාහිමියෝ ඔවුනට සමචිත්ත පරියාය සූත්‍රයෙන් ධර්‍ම දේශනා කළ සේක.
☸️. බුද්ධ චරිතය දෙස බලන කල්හි පොසොන් පෝදා එක් සිද්ධියක් සිදු වී ඇත.
සිවුවන සතිය රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්‍මය මෙනෙහි කරන බුදුරජාණන් වහනසේ ක්‍රමයෙන් අනන්ත නය සමන්විත සූවිසි ප්‍රත්‍යය ධර්‍මයන් සම්මර්ශනය කරන කල්හි බුදු සිරුරෙන් සවණක් ගණ බුදුරැස් මාලාවෝ විහි දෙන්නට වූහ. මෙලෙසින් බුද්ධ ශරීරයෙන් පිළිවෙළින් නීල පීත (රුවන්) ලොහිත (ලේවන්) ඔදාත (සුදු) මාංජෙෂ්ට (මදටවන්) ප්‍රභාස්වර යන සවණක් ගණ බුදුරැස් මාලාවන් විහිදුනේ පොසොන් පෝය දිනක ය.
දීර්ඝ කාලීනව බලනවිට පොසොන් පොහොයෙහි අගය වෙසක් පොහොය දිනයට පමණක් දෙවන වන ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් සැලකිය හැකිය.එදා දෙවනපෑතිස් රජතුමා බුදුදහම වැලඳ ගැනීමේ සිට මේ රටේ බලයට පත්වන සැම පාලකයෙකුම බෞද්ධයෙකු විය යුතුය යන ස්ථීර වූ සමාජ පිළිගැනීම අඛණ්ඩ මතයක් විය. මේ නිසා මෙරට පාලනය බලහත්කාරයෙන් ලබා ගත් එළාර රජතුමාටත් ධාතුසේන රජතුමාට පෙර රට අයත්කොට ගත් පණ්ඩු ආදී ද්‍රවිඩ පාලකයන්ටත් බෞද්ධ සම්ප්‍රදාය අනුව පාලනය කරන්නට සිදු වූයේ එහෙයිනි. එපමණක් නොව රාජ්‍ය ආගමද බුද්ධාගම බවට අනිවාර්යෙන්ම පත්වීමට මේ කරුණූ හේතු වූ බව පෙනේ.
මිහිඳු මා හිමියන් එදා ඉදිරිපත් කළ ධර්මය මේරටේ දී පැවිදි වූ භික්‍ෂූන් වහන්සේ රට තුළ ව්‍යාප්ත කළහ.උන්වහන්සේ රටේ පාලකයාගේ සිට මුළු මහත් ජනතාවගේ ම අනුශාසක වරයාණෝ වූහ.මේ නිසා පංචශීලය මැනවින් ආරක්‍ෂාකරන සමාජයක් ගොඩනැගීමට පහසුවිය.
බුදුරදුන් පෙන්වා දුන් ධර්ම නීතියත්,බෞද්ධ රජවරුන් ක්‍රියාත්මක කළ රාජ්‍ය නීතියක් එකට බැඳී ක්‍රියාත්මක කිරීම නිසා සාරධර්මයන්ගෙන් සපිරුණු සමාජයක් බිහි විය.
මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමන ගැන සඳහන් කරන ‘ලංකාවේ බුදුසමයේ ඉතිහාසය’ නම් ග්‍රන්ථයෙහි එක් තැනක මෙසේ සඳහන් වෙයි. ‘මහින්දාගමනය සැලකිය යුත්තේ සිංහල සභ්‍යත්වයේ ප්‍රභවය ලෙසය, උන්වහන්සේ ලංකාවට ගෙන ආවේ හුදෙක් අභිනව ආගමක් පමණක් නොවේ. එවකට මෞර්ය රාජ්‍යයේ උපරිම පෙත්තට නැග තිබූ මුළු ශිෂ්ටාචාරය ද ගෙන ආහ. අධ්‍යාපනය, සාහිත්‍යය , ගෘහ නිර්මාණ, කෘෂිකර්මාන්තය පමණක් නොව සාරධර්මයන්ගෙන් සපිරුණු පැවැත්ම ආදී සෑම අංශයකම ගුණාත්මක අභිවෘද්ධියක් ඇති කිරීමට පොසොන් පෝදාක ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමිපාණන්ට හැකිවූ බව මේ අනුව පැහැදිලිය.
29/05/2024
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන ශ්‍රී ධම්මපාල දහම් පාසල මඟින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ සීනි සම්බෝල බනිස් දන්සැල ඉකුත් පොහොය දින පැවැත්විය. ඒ සඳහා උදව් උපකාර කල දෙමව්පියන් ඇතුළු සියලුම දෙනාට ස්තූතිය පුද කර සිටිමු. ❤️❤️
23/05/2024
අද වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.....!
~ සිදුහත් කුමාරයාගේ ඉපදීම,සිදුහත් තාපසයන්ගෙ බුදුවීම සහ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයවයත්,ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයක් වීම.
~ කිසාගෝතමිය විසින් "නිබ්බුතා නූත සා මාතා" යන නිබ්බුත පද පැවසීම.
~ බුදු වීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමා මහ පෙළහර පෑම.
~ බුදු වීමෙන් පසු අටවන වර්ෂයේ මනි අක්කිත නා රදුන්ගේ ඇරයුමෙන් කැලණියට වැඩම කිරීම.
~එදවසම සුමන සමන් දෙවි රදුන්ගේ ආරාධනයෙන් සමනල පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටවා තෙවන වරටත් සිරිලක පුණ්‍ය භූමියක් බවට පත් කිරීම.
~ අනුරපුර මහමෙව්නා උයනේ රුවන්වැලි සෑ මහ රදුන් සෑදීමට විසා නැකතින් වැඩ ඇරඹීම.
~ ආනන්ද හිමියන් පිරිනිවන් පෑම හා මහා විහාරවංශික ස්වාමීන් වහන්සේලා වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථම වරට පැවැත්වීම.
ඔබ සැමට සුපින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා....
ශ්‍රී ධම්මපාල දහම් පාසල කොළඹ 07
30/04/2024
ශ්‍රී ධම්මපාල ධර්ම පාඨශාලයීය ආචාර්‍ය මණ්ඩලයේ මූලිකත්වයෙන් සහ සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කළ අවුරුදු උත්සවය, "දම් පියසට අවුරුදු 2024" ඉකුත් බක් මස 27 වන ශනි දින ඉතා සාර්ථක ලෙස පැවැත්විණ...
මේ සඳහා නන් අයුරින් උදවු උපකාර කළ සියලුම දෙනාට ස්තුතියි...
-------------******---------------------
කොවුල් නාදය මැකෙනු මත්තෙන්
දම් බිමේ තුටු සිනා ඉතිරුණි..
පුංචි සිත්වල නැගුණු සොම්නස
සිනා ගඟුලැල් බවට හැරවුණි..
ගත වෙහෙස නිදි වැරූ රැයවල්
ඒ සිනහාවෙන් අරුත් ගැන්වුණි..
හෙලූ ඩා බිඳු මතින් සුන්දර
දිනක අවසන මෙසේ ලියවුණි..❤❤
26/12/2023
උඳුවප් පුර පසළොස්වක පොහොය දින වැදගත්කම.....
🔸 උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ ඇති වැදගත්කම.
⊱⋅ ──────────────── ⋅⊰
▪️ සංඝමිත්තා තෙරණියගේ ලංකාගමනය.
▪️ ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කිරීම.
▪️ ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීම.
▪️ මුගලන් තෙරුන් පිරිනිවන් පෑම.
▪️ සිරිපා වන්දනා ආරම්භ කරන පොහොය වීම.
ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්‌වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්‌ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි.
ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දින පිහිටු වූ සේක. ඒ අවස්‌ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක් දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස් රජතුමාට අවවාද කරනු ලැබුවේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවයි.
තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම වඩාත්ම උචිත බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්‌ද වැඩමවාගෙන එන ලෙසද රජතුමාට උපදෙස් දී ඇත.
ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස් රජතුමා විසින් හසුනක් පිළියෙල කොට තෑගි බෝගද සමග දඹදිව ධර්මාශෝක මහ රජතුමා වෙත යවා මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය. ධර්මාශෝක රජුද මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝමිත්තා තෙරණියට, ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් සහ බෝධීන් වහන්සේගේ ආරක්‌ෂාවට ආරක්‌ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට එවන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලංකාවට එවීම සඳහා බුදුරජාණන් වහන්සේගේද අධිෂ්ඨානයක් තිබූ බව බෝධි වංශ කතා ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත.
අද ලෝකයේ තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත් ඉතාමත් පැරැණිතම වෘක්‌ෂය හැටියටත්, ලක්‌ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයටත් පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහ බෝ රජුන් ජීවමාන බුදුන් හා සමානකොට බෞද්ධයන් විසින් සලකනු ලැබේ. මේ බෝධීන් වහන්සේගේ මව් බෝධිය අද ඉන්දියාවේ දක්‌නට නැත.
ඒ නිසා අපගේ ජයශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයින් වැඩිය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත්ය. එපමණක් නොව උඳුවප් පොහොයේ සිට වෙසක් පුර පසළොස්වක පොහොය දක්‌වා උදාවන බුදුරජාණනන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද සිටය. ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැවිදි බව ලැබුණු නිසා උඳුවප් පොහොය අපගේ කාන්තා පක්‌ෂයට ද බෙහෙවින් වැදගත්ය.
පුද පූජා රැසක්
• ────── ✾ ────── •
මෙම ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එදා පටන් ඒ හා සම්බන්ධ ව විවිධාකාර වූ පුද පූජා රැසක් ආරම්භ වුණි. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) විශාල වියදමක් දරා අසිරිමත් මහා බෝධි පූජාවක් සිදු කළ බව මහාවංසයේ 28 වන පරිච්ඡේදයේ සඳහන් වේ. භාතිකාභය රජු බෙහෙවින් සිත්ගන්නා සුලු බෝධි පූජාවක් සිදු කොට තිබේ. මෙම පූජාව සඳහා බෝධි සිනාන පූජා” යන වචනය මහාවංසයෙහි යොදා තිබේ. එම වචනයෙහි අර්ථය අනුව මෙය බෝධිය නෑවීමක් හෝ බෝධියට ජලය ඉසීමක් විය හැකි ය.
ධාතුසේන රජු බෝ ගෙයක් තනවා දෙවනපෑතිස් රාජ්‍ය සමයේ සිදුකළ ආකාරයේ අසිරිමත් බෝධි පූජා පෙරහරක් ද, බෝධියට විශේෂ නානුමුර පූජාවක් ද සිදු කළේ ය. සිලාකාල රජු දිනපතා කඩ නොකොට බෝධිපූජා පැවැත්වී ය. 1 වන දප්පුල රජු මද කලක් රාජ්‍ය පාලනය කළ නමුදු අසිරිමත් බෝධි පූජා උත්සව කිහිපයක් ම පවත්වා තිබේ. අභාසලමෙවන් රජු ද දෙටුතිස් රජු ද තවත් එවැනි ම බෝධි පූජා කිහිපයක් ම පැවැත්වූහ. ඪම වන මහින්ද රජු බෝ ගෙයක් ඉදි කිරීමට ගිය අවස්ථාවක දී බෝ අත්තක් කැඩී යාම නිසා ද මහා බෝධි පූජාවක් සිදු කළේ ය. මිහින්තලයේ සිට මිහිඳු ප්‍රතිමාවක් අනුරාධපුරයට වැඩමවාගෙන ගොස් එය එක්තරා විශේෂ ගෘහයක් තුළ තැන්පත් කොට පසුව මහ බෝ මලුවට වැඩමවා ගෙන අවුත් තෙමසක් මුළුල්ලේ පුද පූජා හා උත්සව පැවැත්වීමේ සිරිතක් ද එකල පැවතුණි.
භික්ෂුණී සමාජය
• ────── ✾ ────── •
සිරිමහ බෝ සමිඳු සිරිලකට වැඩම කරවීම සේ ම සිරිලක මෙහෙණි සමාජය ඇරඹීම ද උඳුවප් පොහොය හා සම්බන්ධ ව ඉතා වැදගත් තැනක් ගනියි. සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිවට සැපත්වීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර ස්ත්‍රීහු භික්ෂුණී සමාජයෙහි පැවිද්ද ලැබුවෝ ය.
දීපවංසයෙහි සඳහන් පරිදි අනුලා දේවිය හා පැවිදි වූ පිරිස අතර හේමා, ධම්මපාලා, මහිලා, සණ්හා, කාලි, උත්තරාධම්මා සහ සෝභනා යන කාන්තාවෝ සිටියහ . දේවානම්පියතිස්ස රජු විසින් පෙර “උපාසිකා විහාරය” නමින් හැඳින්වුණු මෙහෙණ අසපුව පිළිසකර කරන ලදී. තවත් ගොඩනැඟිලි කිහිපයක් ද එයට එකතු කළ අතර “හත්ථාල්හක විහාරය” යනුවෙන් එය නම් කෙරිණි. එය භික්ෂුණීන් වහන්සේලා ගේ වාසස්ථානය වූවාක් සේ ම සංඝමිත්තා තෙරණිය ද එහි ම වාසය කළා ය.
මාර්ගඵල ලැබූ භික්ෂුණීන් වහන්සේ
• ────── ✾ ────── •
මෙසේ සිරිලක ඇරඹි භික්ෂුණී සමාජය කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය වු ආකාරයත්, කෙටි කාලයක් තුළ දී සිරිලක පුරාම එය පැතිරීගිය ආකාරයත්. ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වෙයි. එහෙත් උත්තිය රජු ගේ රාජ්‍ය පදවි ප්‍රාප්තියෙන් නව වන වසරේ දී සංඝමිත්තා තෙරණිය ගේ පරිනිර්වාණයත් සමඟම එහි පරිහාණියක් දක්නට ලැබෙයි. දුටුගැමුණු රාජ්‍ය සමය මෙරට භික්ෂුණී සමාජයේ දීප්තිමත් යුගයක් විය. මහාථූප පූජෝත්සවයට දඹදිවින් වැඩම වූ පියදස්සි නම් රහතන් වහන්සේ දේශනා කළ ධර්මය අසා මාර්ගඵල ලැබූවන් අතර භික්ෂුණීන් විශාල පිරිසක් සිටි බව මහාවංසය හෙළි කරයි.
ලාංකික භික්ෂුණීන් අධ්‍යාපනික කටයුතුවල සේ ම සමාජ සේවාවන් හි ද නිරත වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඔවුනගේ සේවාවන් මෙරටට පමණක් සීමා නොවී ය. 5 වන සියවසේ දී මහානාම රජ දවස චීනයේ භික්ෂුණී සමාජය පිහිටවූයේ ලංකාවෙන් චීනයට වැඩම වූ දේවසාර භික්ෂුණීය ප්‍රමුඛ දූත කණ්ඩායමයි. අනුරාධපුර යුගයේ මෙරට භික්ෂුණී සමාජය කෙතරම් දියුණුව පැවතියේ ද යන්න එමඟින් පැහැදිලි ය.
ධර්මාශෝක යුගයෙන් පසු දඹදිව භික්ෂුණී සමාජය පිරිහී ගිය ද ලක්දිව එය දිගින් දිගටම ව්‍යාප්ත වුණි. එහෙත් අනුරාධපුර යුගයේ පරිහාණියත් සමඟ ම අනුක්‍රමයෙන් භික්ෂුණි සමාජය ද පිරිහීමට පටන් ගත්තේ ය. පොළොන්නරු යුගයේ මුල් භාගය වන විට එය මුලුමනින්ම අභාවයට ගියේ ය. පෙර භික්ෂුණී සමාජය සිහිගන්වමින් දැනට ලංකාවේ පවත්නා “දසසිල් මාතා සංවිධානය” ක්‍රමානුකූලව සකස් කොට එය දියුණු කිරීමට පියවර ගැන්ම කාලීන වශයෙන් බෙහෙවින් ම යෝග්‍ය වන්නේ ය.
තෙරුවන් සරණයි ! 🙏
· · • • • ✤ • • • · ·
26/11/2023
ඔබ සැමට පින්බර ඉල් පුන් පොහොය දිනයක් වේවා.....
06/11/2023
කඨින පිංකම 2023
මෙවර කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දැරූ අප දහම් පාසලේ ශිෂ්‍ය සදෙව් සස්මිත පුතණුවන්ගේ දෙමව්පියන් වන ප්‍රභාත් පෙරේරා මහතා සහ සොනාලි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට අපගේ පුණ්‍යානුමෝදනාව හා ස්තූතිය පුද කරන අතර එමෙන්ම හැකි අයුරින් සහයෝගය දැක්වූ අප දහම් පාසලේ සියලුම දරුවන්ගේ දෙමව්පියන්ටත් ස්තූතිය හා පුණ්‍යානුමෝදනාව පුද කර සිටිමි.....❤❤
06/11/2023
ශ්‍රී බෞද්ධාලෝක මහා විහාරයේ වාර්ෂික කඨින මහා පින්කමට සමඟාමීව පැවැත්වූ අටවිසි බෝධි පූජා පින්කම ❤
02/11/2023
ශ්‍රී බෞද්ධාලෝක මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 04 හා 05 යන දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා විහාරස්ථානය එළිපෙහෙළි කිරීමේ කටයුතු වල නිරත වන ශ්‍රී ධම්මපාල දහම් පාසලේ සිසුන්....💙💙
10/10/2023
කොළඹ 07 ශ්‍රී බෞද්ධාලෝක මහා විහාරස්ථ ශ්‍රී ධම්මපාල දහම් පාසලේ, ලෝක ළමා දිනයට හා ලෝක ගුරු දිනයට සමඟාමීව සංවිධානය කරනු ලැබූ සැමරුම් උළෙල පසුගිය ඉරුදින විහාරස්ථානයේ පැවාත්විය.❤💛💙💜️💚
ශ්‍රී බෞද්ධාලෝක මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වටපාන ධර්මකීර්ති නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දහම් පාසලේ ප්‍රාධානාචාර්‍ය පූජ්‍ය උඩුහාවර ඉන්දසිරි ස්වාමීන් වහන්සේගේ, නියෝජ්‍ය ප්‍රාධානාචාර්‍ය පූජ්‍ය හුණුකැටිආරේ පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේගේ හා ආචාර්ය හඳගනාවේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ගේද සහයෝගයෙන් යුතුව පැවැතිණි.🌻🩵