Uva Provincial Department Of Education

Uva Provincial Department Of Education

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva Provincial Department Of Education, Badulla.

28/08/2019

සුහුරු යුගයක ඇරඹුම හෙවත් 4 වැනි කාර්මික විප්ලවය
=============================

අද ලෝකයේ පවතින තාක්ෂණ රටාවේ කි‍්‍රයාදාමය කුමක්ද? එය අපි හඳුන්වන්නේ 4 වෙනි කාර්මික විප්ලවය කියලා. අපි දන්නා තරමින් 1760 දී ලෝකයේ පළවෙනි කාර්මික විප්ලවය ආරම්භ වුණා. ඒකට අපි කිව්වා යන්ත‍්‍ර යුගය කියලා. එය අවුරුදු 100 ක් ගියා. ඒක 1860 දක්වා ලෝකයේ විශාල පරිවර්තනයක් සිදු කළා. 1860 න් පසුව තෙල්, ගල් අඟුරු, ගෑස් ආවා. ඒකත් සමග අලූත් යුගයක් ආවා. ඒ යුගයට කිව්වා පොසිල ඉන්ධන යුගය කියලා. ඊට පසුව 1960 දී අර්ධ සන්නායක යුගය, ඉලෙක්ට්‍රොනික යුගය සහ චන්ද්‍රිකා යුගය ආරම්භ උනා. ඒකත් සමග තොරතුරු තාක්ෂණ යුගය ආවා. දැන් මේ 2010 ඉඳන් අපේ ලෝකයේ තිබෙන්නේ සුහුරු යුගය එහෙම නැත්නම් Smart Age මොනවද ඒකේ වෙන්නේ? අලූත් තාක්ෂණ දහරාවන් ගණනාවක් විසින් ලෝකය විප්ලවකාරී විදිහට පරිවර්තනය කරන එක. ඒ තමයි නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, අනුක ජීව විද්‍යා තාක්ෂණය ඒ වගේම ආහාර, හරිත, රොබෝ, චන්ද්‍රිකා තාක්ෂණය ආදී වශයෙන් එකිනොක හා ගැටගැහිච්ච, අන්තර්ජාලය සමග ගැටගැහිච්ච කි‍්‍රයාදාමයන් ගණනාවක් ඇති වෙනවා.

කලින් කල විවිධාකාරයේ රැලිවල පහස නොඅඩුව ලබන අපට මතුපිටින් පමණක් බලා ඒවා වැලඳ ගැනීමේ ආදීනව ලැබෙන්නේ අද නොව මතුවට ය. කඩවසම් බව, කඩිසර බව, දක්ෂබව හා බුද්ධිමත් බව යනාදී විවිධ අරුත් SMART යන්නට තිබේ. වර්තමානයේ ස්මාර්ට් දුරකතන, ස්මාර්ට් රූපවාහිනී, ස්මාර්ට් පංති කාමර මෙන්ම ස්මාර්ට් නගර හා නිවෙස් ද ලොව පුරා පැතිර යයි. කොටින්ම කියතහොත් ස්මාර්ට් උන්මාදයකි.

උපකරණ හා උපාංග සඳහා භාවිත කරන SMART යන සංකල්පය සෑදී ඇත්තේ වචන පහකිනි. "Self-Monitoring Analysis and Reporting Technology." The main purpose of SMART is to keep your hard drive running smoothly and prevent it from crashing. ඉතා සරලව කිවහොත් ස්මාර්ට් තාක්ෂණය යනු ඉතා බුද්ධිමත්ව හැසිරෙන තාක්ෂණයකි.

SMART සංකල්පය ප්‍රායෝගික කරවන උපකරණ සමුදායක් නූතන ලෝකයේ ඉතා ශීඝ්‍රව රෝගයක් සේ පැතිර යමින් පවතී. ලෝවැසි සියලු දෙනාම ස්මාර්ට් (දක්ෂ) වේ නම් ඉතා සුදුසු ය. කය ස්මාර්ට් වීමට වඩා වැදගත්වන්නේ මනස ස්මාර්ට් කර ගැනීමයි. ස්මාර්ට් උපකරණ මිලදී ගෙන ස්මාර්ට් බව පෙන්වීමට වඩා වැදගත් වන්නේ ස්මාර්ට් ලෙස වැඩ කිරීම ය. නිදහස ලැබී වසර 70 ඉක්ම ගිය ද අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින්නේ දේශපාලකයන් ඇතුළු බොහෝ දෙනා ස්මාර්ට් නොවීම නිසා යැයි සිතේ. උපකරණ ස්මාර්ට් වූවත් ඒවායින් ස්මාර්ට් ලෙස වැඩගන්නේ කීයෙන් කී දෙනෙක් ද?

සිල්ලර විනෝදය

සන්නිවේදනය සඳහා පැමිණි ජංගම දුරකතනය දැන් අප බොහෝ විට යොදා ගන්නේ ස්මාර්ට් ලෙස ද? ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ ඕපාදූප සමාජ (Gossip society) මදි නොකියන්නට ව්‍යාප්ත වී ඇත. සම්ඵප්ඵලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමී” ලෙස තථාගතයන්වහන්සේගේ උතුම් දර්ශනයේ ඇතත් බෞද්ධකම ශරීර අංගයක් බවට පත් කර ගත් සමාජයක වෙසෙන්නෝ බුදු වදනට පිටුනොපා අද සම්ඵප්ඵලාප නොදොඩති. ඒ වෙනුවට සම්ඵප්ඵලාප ලියති. කියවති. මනසින් රස විඳිති. එසේ වන්නේ ෆේස්බුකිය හරහා ය. අප ස්මාර්ට් වී ඇත්තේ එලෙසිනි.

ස්මාර්ට් ජංගම දුරකතනය, විශ්වවිද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන අවස්ථා සහ පාසල් අධ්‍යාපන අවස්ථා සඳහා හොඳ සහායකයෙක් වුවද අද එය කරුමයක් සේ උරුම කරගෙන ඇත. ඒ අවබෝධයේ අඩුකම නිසා ද නැතහොත් වෙනත් හේතූන් නිසාදැයි සෙවීම ස්මාර්ට් පර්යේෂකයන්ට බාරය. සෙල්ෆි, ගොසිප්, චැට් වැනි දේ සඳහා ස්මාර්ට් දුරකතන බහුලව යොදා ගන්නා විද්‍යාර්ථීන් නාස්ති කරන්නේ ද අධ්‍යාපනයට යොදා ගත හැකි රන් හා සමාන කාලය ය. වෙනත් රටවල නම් විවිධ පර්යේෂණ, විද්‍යුත් තැපෑල, නිබන්ධන කටයුතු, පැවරුම් , අධ්‍යාපනික තොරතුරු සෙවීමට වැනි විවිධ අධ්‍යාපනික ඉසව් සඳහා ස්මාර්ට් ජංගම දුරකතනය යොදා ගනී. අප රටේ බහුතරයක් මෙය යොදා ගන්නේ සිල්ලර විනෝදයක් සඳහා ය.

ලොවක කුණු සාලයට

ලොවක කුණු ගෙදර සාලයට ගෙනවිත්, නිවැසියන් අන්දමන්ද කරවා, පොකට් එකට තට්ටු කරන, දුක්ඛදෝමනස්ස සියල්ල මනස තුළ පුරවනු ලබන, ස්මාර්ට් රූපවාහිනියෙන් අපට නොදෙන්නේ මොනවාද? ආනන්දයෙන් ප්‍රඥාවට යාම කෙසේ වෙතත් රූපවාහිනිය තුළින් වත්මන් යුගයට ගැලපෙන සේ ආනන්දය පමණක් බෙදනු ලබයි. නැණස පෑදීමට විවිධාකාර වැඩසටහන් ලබා දීමේ පිරිවැය දරා ගැනීම සඳහා පමණක් සාධාරණ ලෙස වෙළෙඳ දැන්වීම් එකල යොදාගත්ත ද මෙකල වෙළෙඳ දැන්වීම් ලබා ගැනීම සඳහා විවිධ වැඩසටහන් යොදා ගැනේ. වැඩසටහන් හා වෙළෙඳ දැන්වීම් වෙන් කර හඳුනා ගැනීමද අපහසු වී ඇති මෙකල දෙන දෙයක් කා වෙන දෙයක් බලා ගෙන සිටින්නට අපි පුරුදු වී සිටින්නෙමු.

රූපවාහිනිය තුළින් ආලින්දයට ගෙනෙනා විවිධාකාර විලාසිතා, කෑම බීම. ගෘහභාණ්ඩ, වාහන ආදියට සිත අලවාලයි. අඹු දරුවන්ගේ මනස තුළ නවාතැන් ගන්නා මේ විසූකදස්සන ඇස පිනවා නතර නොවී ප්‍රායෝගික තලයට ගෙන ඒමට මහා පෙළඹවීමක් කරයි. මේ පෙළඹවීමට නතුවන අපේ ඇත්තන් කෙසේ හෝ මෙකී දෑ මිලට ගන්නට ගොස් අවසානයේ දුක් කරදර රැසක් තුරුළු කරගන්නේ ගෘහ ආර්ථිකයේ අය වැය පරතරය උපරිම කොට අප ණයකරුවන් ද කරමින් ය. අප කන්නේ බොන්නේ, අඳින්නේ පළඳින්නේ, නිවෙස් අලංකාර කරන්නේ, නරඹන්නේ අපට අවශ්‍ය දේ නොව අපම තනාගත් ව්‍යාජ සිහින සමාජයකට අවැසි දේය.

මිනිස් මූලික අවශ්‍යතා ලෙස සලකනු ලබන්නේ වාතය, ජලය, ආහාර ය. අනෙකුත් අවශ්‍යතා ද්වීතීක අවශ්‍යතා ලෙස සැලකේ. අවශ්‍යතා සපුරා ගැනීමේ දී ගුණාත්මක බව තදින් සැලකූ සමාජය වඳවෙමින් සමාජය ස්මාට්කරණිය වෙමින් පවතී. මෙහිදී ජනමාධ්‍ය ජනතාවගේ මොළ ශෝධනය කරමින් නිතර නිතර ස්මාර්ට් අවශ්‍යතා සිහිපත් කරවන අතර ඒවා ඉටු කර දීම සඳහා ලීසීං හා බැංකු ඉටු දෙවිවරුන් අප කෙරෙහි උපන් ළෙහි කරුණාවෙන්ම කරඋර දෙයි. අද ජනතාවට නිදහසේ භාණ්ඩයක් මිලට ගැනීමට නැවතිල්ලේ සිතා බැලීමට ඉඩක් නැත්තේ වෙළෙඳ ප්‍රජාව විසින් අප වෙනුවෙන් සියල්ල සිතා බලන නිසා ය. අපට ඇත්තේ ගෙවීමට පමණි.

දැන ගියොත් කතරගම

ඉතා වැදගත් සංකල්ප අවබෝධ කොටගෙන ඒවාට වහල් නොවී නිවහල් ලෙස අවැසි පරිදි භාවිතය සුදුසු වුවත් දැන් වන්නේ භාවිතයට වඩා අවභාවිතයයි. සමාජයේ ප්‍රගමනයට වඩා අවගමනයයි. අඩු මුදලට ගත හැකි කුඩා ජංගම දුරකතන අද ඇත්තේම නැති තරම් ය. අතීතයේ උගත්කමට හා උගතුන්ට තිබූ ඉහළ පිළිගැනීම නිසා බොහෝ දෙනා උගතුන් වීමට සිහින මැව්වා සේ නූතන මානවක මානවිකාවන් සිහින මවන්නේ වටිනා ස්මාර්ට් ජංගම දුරකතනයක් ගෙන ස්මාර්ට් වීමට ය. මේ නරි නාටක සඳහා කෙතරම් අනවශ්‍ය බරපැණක් වැය වේද?

ස්මාර්ට් දුරකතන ඇත්තෙන්ම ඵලදායීව යොදාගත නොහැකි ද? රාජකාරී ලේඛන හුවමාරු කිරීම, විද්‍යුත් තැපෑල, අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගැනීම, වචනවල තේරුම හා නිවැරදි උච්ඡාරණය දැන ගැනීම, දේශන පටිගත කර ගැනීම, වීඩියෝ කර ගැනීම, ඡායාරූප ගැනීම, රවුටරයක් සේ යොදා ගනිමින් පරිගණකයෙන් අන්තර්ජාල පහසුව ලබා ගැනීම, සන්නිවේදනය, ඊ බුක් කියවීම, ස්කෑන් කිරීමට, පිටපත් ගැනීම වැනි විවිධ ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා ස්මාර්ට් දුරකතන යොදා ගැනීමට විද්‍යාර්ථීන්ට හැකිය. ගුරුවරුන්ට මෙය අමතර ඉගැන්වීමේ මෙවලමක් ලෙස ද යොදාගත හැකිය.

අධ්‍යාපන බලධාරීන්, නිලධාරීන්, ගුරුවරු හා සිසුන් ස්මාර්ට් නොවී උපකරණ ස්වල්පයකින් පමණක් ස්මාර්ට් වීමට අර අඳින අපේ සුහුරු පන්ති කාමර සංකල්පය ප්‍රායෝගික තලයේ තැනින් තැන දැන් දකින්නට ලැබේ. කිලෝ 10 ක් පමණ බරැති පොත් මල්ලක් සමඟ ඔට්ටු වන අපේ දරුවන්ගේ මෙතෙක් නැමී තිබූ කොඳු නාරටි කෙළින් වීමට නම් මෙකී සංකල්පය ප්‍රායෝගික වීම අති වැදගත් ය. සුහුරු පන්තිවල යොදාගත හැකි ටැබ් මඟින් පෙළපොත් ඊ බුක් ලෙස යොදා ගැනීම ඔස්සේ අධි බර පොත් මලුවලින් මිදිය හැකිය.

පරිගණක විද්‍යාගාර පාසල්වලට ලැබී බොහෝ කලක් ගත වී ඇත. ‍එහෙත් ඉතා ඵලදායී පරිගණක සාක්ෂරතාවයක් ලබා ගැනීමට බොහෝ පාසල්වලින් ලැබෙන පිටිවහල ඉතා අඩු බව පෙනේ. මෙහි සත්‍ය-අසත්‍යතාව පිළිබඳ පර්යේෂණ මඟින් අනාවරණය කරගත හැකි වනු ඇත. පරිගණක හා බහුමාධ්‍යය ප්‍රක්ෂේපන යන්ත්‍රයක් ඇසුරින් සියලු විෂයයන් සඳහා ඉතා පහසුවෙන් ඇතැම් ඉගෙනුම් අත්දැකීම් ලබාදිය හැකි බව ප්‍රත්‍යක්ෂය.

මේ සඳහා පරිගණකයක් හැසිරවීමේ පළපුරුද්ද පමණක් ප්‍රමාණවත් නොවන අතර විෂයානුබද්ධ දැනුම, විෂය නිර්දේශය හා ගුරු අත්පොත පිළිබඳ මනා අවබෝධය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම ශිල්ප පිළිබඳ දැනුවත් බව යනාදී කරුණු කාරණා දැන සිටීම වැදගත් වේ. අපේ ගුරු පුහුණුවීම්වල වැඩි බරක් මේ සඳහා වෙන්විය යුතුය. දිවයිනේ පාසල් ගුරුවරුන්ගෙන් 10% පමණවත් තම විෂය ඉගැන්වීමේ දී පරිගණක යොදා නොගන්නා බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. එසේ වීමට විවිධ හේතු බලපා ඇත. පරිගණකයක් තමන් සතු නොවීම, නිසි පරිගණක පුහුණුවක් නොලැබීම, ඉංග්‍රීසි බසෙහි මූලිකාංග නොදැනීම, පාසලේ පරිගණක මඟින් ඉගැන්වීමට පහසුකම් නොතිබීම, පරිගණක ඔස්සේ පාඩම් සැකසීමට පුහුණුවක් නොමැති කම, ආශාවක් නොමැතිවීම, සූදානම් වීමට සාධාරණ කාලයක් නොමැති වීම වැනි විවිධ හේතු මේ සඳහා බලපෑ හැකිය.

නමුත් මේ සියල්ල කන්නන්ගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය කරළියට ගෙන ඒම වැනි විප්ලවයකින් ඉතා පහසුවෙන් ජය ගත හැකි වනු ඇත. රජය මඟින් පරිගණක පුහුණුව හොඳින් පරීක්ෂා කර බලා ගුරුභවතුන්ට නොමිලේ ලැප්ටොප් හෝ ටැබ් ලබා දීමෙන් හා නිරන්තර පසු අධීක්ෂණයෙන් අපේක්ෂිත ඉලක්ක කරා යා හැකි වනු ඇත. ඇතැම් විට පරිගණක උදෙසා භාවිත කරන ආගන්තුක සිංහල වචන ද පරිගණක තාක්ෂණය ඉගෙනීමේදී එය නීරස කිරීමට බලපා ඇත.

අන්තර්ජාල සාක්ෂරතාව

ස්මාර්ට් පංති කාමරයක් සඳහා ලැප්ටොප්, ටැබ්, Interactive white board, Internet facilities, multimedia projectors වැනි ස්මාර්ට් උපාංග යොදා ගනී. දැනට ඇතැම් විද්‍යාපීඨ හා පාසල් කීපයක ස්මාර්ට් පංති කාමර දැකිය හැකි අතර අන්තර්ගත ස්මාර්ට් උපාංගවල ද අඩුපාඩු තිබේ. බොහෝ අවස්ථාවල Interactive white board භාවිත කරන්නේ power point presentation ඉදිරිපත් කරනු ලබන තිරයක් ලෙස පමණි. Power point presentation සඳහා පරිගණකයක්, multimedia projector හා තිරයක් පමණක් සෑහේ. ඇඟිලි තුඩුවලින් හැසිරවීමට තරම් සංවේදී එක්තරා ආකාරයක විශාල පරිගණකයක් වන ඉතා වටිනා Interactive white board යේ හැකියාවන් නොදැන එය තිරයක් ලෙස පමණක් භාවිතය මුදල් අපතේ යැවීමකි. මෙසේ වන්නේ මේ පිළිබඳ මනා පුහුණුවක් නොලැබීම නිසා ය. අලුත් සංකල්ප හා උපකරණ පද්ධතියට හඳුන්වා දීමේදී ඉතාමත් සැළකිලිමත් විය යුතුය.

සාධාරණ කාලයක් ගෙන හොඳ පුහුණුවක් ලබාදිය යුතුය. මනාව සැලසුම් කරන ලද පාඩම් හා ක්‍රියාකාරකම් මුළු පන්තියටම එකවර සහභාගී විය හැකි ලෙස ඉදිරිපත් කළ හැකි අතර මනා ලෙස පුහුණු වූ ගුරුවරයකුට ඉගෙනුම් ඉගැන්වීම් අත්දැකීම් සාර්ථකව හා වඩා ආකර්ශනීය ලෙස ලබා දීමටත් Interactive white board උපයෝගී කරගත හැක. multimedia projectors ඇතිව හෝ නැතිව Interactive white board භාවිත කළ හැකි ය. මේ සඳහා ස්මාර්ට් ලෑල්ල පිළිබඳ පමණක් නොව එය ඇසුරු කොටගෙන ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය පලදායී කර ගැනීමට අත්‍යවශ්‍ය විවිධ ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ මෙන්ම පරිගණක සාක්ෂරතාව හා අන්තර්ජාල සාක්ෂරතාව ද හොඳින් දැන සිටීම අත්‍යාවශ්‍ය වේ. නැතහොත් මෙවැනි වටිනා උපකරණ නිසිලෙස භාවිත නොවීම පමණක් නොව ජාතික ධනය අපතේ යැවීමක් ද වනු ඇත.

යුග විහිළු

පෙරදී ගුරු කේන්ද්‍රීය ලෙස පැවති අපේ පාසල් අධ්‍යාපනය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ශිෂ්‍ය කේන්ද්‍රීය කළා යැයි උදම් ඇනුවද තවමත් ප්‍රායෝගිකව දැකිය හැකි වෙනසක් නම් නොදැනේ. තවමත් බොහෝ දුරට සිසුන් අක්‍රිය අසන්නන් වී ඇති අතර ගුරු කේන්ද්‍රීය බවම පෙනී යයි. බොහෝ ගුරුවරු සිසුන්ව තර්කානූකූල ලෙස ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීමට යොමු කිරීමක් නොකරන අතර දේශන හා සටහන් මතම රැඳී සිටී.

නව යුගයේ ලොකුම විහිළුව නම් සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය යටතේ එන ආචාර පෙළපාලි, පා සරඹ, වොලිබෝල්, ෆුට් බෝල් වැනි ප්‍රායෝගිකව අත්විඳ, සතුටින්, උද්යෝගයෙන්, අත්දැකීම් ලෙස ජීවීත අත්පොතට එකතු කරගත යුතු දෑ දේශන හා සටහන් මාර්ගයෙන් ඉගෙනීමටත් වනපොත් කර විභාගයේදී වැමෑරීමටත් සිදු වීමයි. මේ නිසා ආවේදන හා මනෝචාලක ක්ෂේත්‍ර දුර්වලවීම පමණක් නොව එකී ඉසව් දරුවන්ට එපාවී නීරස වී යාමක් ද සිදු විය හැක. ස්මාර්ට් පුවරු යොදාගෙන කරනු ලබන කටයුතුවලදී ද දැනටත් සිදුවන දැනුම ගොඩනැගීම මුල් කරගත් අධ්‍යාපනය, තාක්ෂණය දවටා පෙරටත් වඩා පුළුල්ව දීම වළකනු නොහැක.

ඉගෙනුම් අත්දැකීම් ලබාදීමේ දී දැනුම ලෙස අප තුළ රඳවා ප්‍රයෝජනයට ගත යුතු දෑ, ආකල්ප ලෙස හදවතේ රැඳී ප්‍රදර්ශනය විය යුතු ගුණ, යම් දෙයක් හොඳින් සාර්ථකව කිරීමට අවශ්‍ය කුසලතා යන කොටස් සිසුන්ට අත්පත්වන සේ පාඩම් සකසා ගත යුතු අතර සියලු දේ පරිගණක හෝ ස්මාර්ට් උපාංග යොදාගෙන වාඩි වී, ඇහුම්කන් දී, උගෙන ගත නොහැක. ඇතැම් අත්දැකීම් ඒ ඒ ක්ෂේත්‍රයට ගොස් සජීවීව ලබා ගත යුතුය. දැන් සිදුවන්නේ වනාන්තරයක අසිරිය පවා පරිගණක තිරයෙන් දැක පොතේ ලියා ගැනීමයි. පංචේන්ද්‍රියයන්ම යොදාගෙන ලබාගත යුතු අධ්‍යාපනය, ස්මාර්ට් වීම නිසා ඇසට කනට පමණක් ලැබෙන තත්ත්වයට පැමිණිම කෙතරම් ඛේදජනක ද?

තවත් කෙනෙකුට දැන ගන්න මතක් කරල ශෙයා කරන්න

Want your school to be the top-listed School/college in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Badulla