10/01/2016
යෙන් සීයේ කඩ හෙවත් හ්‍යකු යෙන් ෂොප්
ලෝකයේ කුමන තරම් පොහොසත් ජන සමාජයක වුවද එදිනෙදා ජීවිතයට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය අඩු මිලකට ලබාගත හැකිනම් , අනිවාර්යයෙන් එම ස්ථාන කරා මහජනයා ඇදී යාම නිතැතින්ම
සිදුවන්නකි. මිළ මුදලින් කෙතරම් පොහොසතුන් සිටියද ජපානයටද එම ධර්මතාවය පොදු වේ . ජපානය පුරා ශාඛා ජාලයක් ලෙස විහිදී ඇති යෙන් සීයේ කඩ , දුප්පත් පොහොසත් , බාල මහලු සෑම අයෙකුගේම බොහෝ පාරිභෝගික අවශ්‍යතා සපුරාලන වෙළඳ ආයතන සමූහයකි.
1991 වසරේදී පළමු වෙළඳ සල විවෘත කරන ලද අතර මීට වසර කීපයකට පෙර වන තෙක් මේවා හැඳින්වූයේ "නයින්ටි නයින් ෂොප් " කියාය. අද වනවිට ජපානය පුරා යෙන් සීයේ කඩ 1300 ක් පිහිටා ඇත. මෙම වෙළඳ සල්වල ඇති භාණ්ඩවලින් 95% ක් යෙන්සීයක් පමණක් වන අතර ඉතිරිය යෙන් 210 ක් , 310 ක් හා 410 ක් වේ . මෙම මිළ ගණන්වලට 8% ක බදු මුදලද අයකෙරේ.
ඉඳි කටුවේ සිට ඇඳුම් පැළඳුම් දක්වාද , ටොෆී චොක්ලට් වල සිට නූඩ්ල්ස් පැකට්ටුව දක්වාද , මෙකී නොකී බොහෝ පාරිභෝගික භාණ්ඩ මේවායේ ඇති අතර ඒ ඒ නගරවල ඇති කඩවල ලොකු කුඩා ප්‍රමාණය අනුව භාණ්ඩ ද අඩු වැඩි වශයෙන් ඇත. තෝකියෝ නුවර ආසන්නයේ පිහිටි "හරජුකු " නගරයේ සහ "මචිදා" නගරයේ ඇත්තේ ජපානයේ විශාලතම යෙන් සීයේ කඩ දෙකය. පිලිවෙලින් ඒවා මහල් සතරකින් සහ මහල් පහකින් යුක්ත වේ .
ප්‍රධාන වශයෙන් චීනයෙන් සහ කොරියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ මේවායේ විකිණීමට ඇති අතර ජපානය තුලම නිෂ්පාදිත භාණ්ඩද විකිණීමට ඇත . එම රටවල් දෙකෙහි නිෂ්පාදනය කලද එම භාණ්ඩ නිපදවන්නේ , මෙම වෙළඳ සල් ජාලය මෙහෙයවන ජපාන සමාගම් දෙකක් වන
" දයිෂෝ සහ "දයි එයි " යන සමාගම්දෙක උදෙසාම නිසා ඒවායේ තත්වය උසස් මට්ටමකින් ඇති බව කිව හැක. අමතරව ඔවුන් විසින්ම තායිවානයේ සහ හොංකොං වලද යෙන් සීයේ කඩ පවත්වාගෙන යනු ලබයි. සාමාන්‍යයෙන් මුළුතැන් ගෙයි උපකරණ ආදිය ජපනුන් විසින් මාස 6 කට වරක් ඉවත් කර අලුතින් මිලදී ගැනීමක් සිදුකලත් , යෙන් සීයේ කඩවල ඇති එවන් භාණ්ඩද දිගු කලක් භාවිතා කලහැක.
මෙම වෙළඳ සල් ජපානයේ සිටින විදේශිකයන් අතර ඉතාම ජනප්‍රිය වන්නා සේම , දුප්පත් ජපනුන් හා හරි හරියට , බී.එම්.ඩබ්ලිව් . බෙන්ස් වැනි වාහන වලින් පැමිණෙන ඉහල පෙලේ ජපනුන් ද මේවාට භාණ්ඩ මිලදී ගැනීමට යනු දැකීම සුලබ දසුනකි . ඉතා වෙහෙස මහන්සිවී උපයාගන්නා මුදල් අරපරිස්සමින් පරිහරණය කිරීම සඳහා අප වැනි විදේශිකයන් හට මෙම යෙන් සීයේ කඩ
ඉමහත් පිටුවහලක් බව විශේෂයෙන් කිවයුතුමය.
Article By Chinthaka Ayya